දේශපාලන බැල්මට යටනොවූ ඉඩම් ලොක්කා ගෙදර යයි

1600

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම මත ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ඊයේ (08 දා) ඉවත් කර ඇත.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දෙපාර්ශ්වයක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලක් විභාග කර සාධාරණය ඉටුකිරීමට යාම නිසා ඉඩම් කොමසාරිස්වරයා ප‍්‍රබල දේශපාලනඥයාගේ උදහසට ලක්වී ඉල්ලා අස්වී ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ඉඩම් ආරවුලට හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම්වරයා විසඳුමක් ලබාදී තිබියදී ඉඩම් කොමසාරිස්වරයා මැදිහත් වී විසඳුම් ලබාදුන්නේ කෙසේදැයි ප‍්‍රබල දේශපාලනඥයා දැනගැනීමෙන් පසු ඔහු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉඩම් කොමසාරිස්වරයා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතාගෙන් දිවයින කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ හම්බන්තොට දෙපාර්ශ්වයක් අතර පැවැති ගැටලූවක් පිළිබඳව තමාට පැමිණිලි ලැබීමෙන් පසු එය විසඳා සාධාරණ තීන්දුවක් ලබාදීමට කටයුතු කළ බවය.

තමා ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්වී මාස 15ක් පමණ වන බවත් එම කාලයේ ජනතාව වෙනුවෙන් කළ හැකි සේවය සාධාරණව ඉටු කළ බවත් ඔහු කීය. තමා ඉවත් කළ බවට ලිපියක් ලැබී ඇතත් එය ඊයේ (08 දා) සවස් වන තෙක් අතට නොලැබුණු බව ද එය ලැබුණහොත් රාජ්‍ය සේවයට ආයුබෝවන් කියමින් නිවසට ගොස් විශ‍්‍රාම වැටුපෙන් ජීවත් විය හැකි බව ද ගමගේ මහතා කියා සිටියේය.

තමා ඉවත් කිරීමට ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ සම්බන්ධයක් නොමැති බව කී ගමගේ මහතා තමාට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවා නම් එයට මුහුණදීමට සූදානමින් සිටින බව ද වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment