දේශපාලන මල් වෙඩි

201

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයකුගේ බිරිඳක් පොදු ජනතාව පැය ගණන් අව්වේ සිටගෙන සිටි පෝලිම කඩාගෙන ගොස් එන්නත ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ. මේ අවස්ථාවේ ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී. දේශපාලන බිරිඳ පෝලිම කඩාගෙන ඉදිරියට යන්නේ සිය සැමියාට ආණ්ඩුවෙන් ලබා දී ඇති ප‍්‍රභූ ආරක්ෂකයකුගේ ආරක්ෂාව යටතේ ය.

පැතිර ඇති ආරංචිවලට අනුව ඒ කාන්තාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී. අලවතුවල ගේ බිරිඳය. එහෙත් අපි එම කතාව විශ්වාස නොකරමු. ජේ.සී. අලවතුවල යනු සජිත් පේ‍්‍රමදාසගේ උපරිම විනය පාලනය යටතේ හැදී වැඩෙන මන්ත‍්‍රීවරයෙකි. එබඳු මන්ත‍්‍රීවරයකුට මෙබඳු මෝඩ බිරිඳක් සිටීමට නොහැක. එබැවින් අලවතුවල මැතිනිය එළදෙනක සේ පෝලිම කඩාගෙන ගිය බව නිෂ්ප‍්‍රභ කෙරේ. මෙහිදී අප වඩාත් කෝප වන්නේ පෝලිම නොතකා එන්නත ලබාගත් කාන්තාව හෝ ඇගේ ආරක්ෂකයා ගැන නොව පෝලිමේ තපිමින් සිටි සෙසු එළහරක් රැල ගැනය.

දුප්පත් අසරණ මහලූ කාන්තාවක හැරමිට්ටක් ගසමින් පැමිණ පෝලිම නොතකා එන්නත ගසාගෙන යන්නට තැත් කළේ නම් පෝලිමේ සිටි හරක් රැල උම්බෑ ගාමින් ඒ මහලූ කාන්තාවට අනින එක අනිනවාමය. එහෙත් ප‍්‍රභූ ආරක්ෂක නිල ඇඳුමටත් මන්ත‍්‍රී බිරිඳටත් ඔවුන් බිය වූ බව පෙනේ. ඔවුන් විසින් කළ යුතුව තිබුණේ අල ද බතල ද නොබලා මන්ත‍්‍රී බිරිඳ පලවා හැරීම ය. එහෙත් ප‍්‍රභූ ආරක්ෂකයාට අත තැබීම භයානකය. ඒකා පොලිසියේ රාළහාමි කෙනකු බැවින් රජයේ සේවකයෙකි. රජයේ සේවකයකුට ඩියුටි වෙලාවේ දී අත තැබුවොත් මොරටු නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දුට උනාක් මෙන් ඇප නැතිවම ඇතුළට යෑමට සිදුවේ. සමන් ලාල් ප‍්‍රනාන්දු ඇතුළට යන්නේ ටෝකන් ක‍්‍රමයට කොවිඞ් එන්නත දෙන්නැයි නියම කළ නිසා නොවේ. එතැන සිටි වෛද්‍යවරියට තර්ජනය කළ නිසාය. එය ඇගේ රාජකාරියට බාධා කිරීමකි. ටෝකන් ක‍්‍රමයට වැක්සීන් දීම නීති විරෝධී යැයි අප කල්පනා කළාට එහි එවැනි ප‍්‍රශ්නයක් නැති බව සියලූ දෙනා දැනගත යුතුය. ටෝකන් ක‍්‍රමයට වැක්සීන් දීමේ ක‍්‍රමවේදය අනුමත කරන කැබිනට් පත‍්‍රිකාවක් ද තිබෙන බව දැනගන්නට තිබේ. අනෙක එය මිනිසුන් රස්තියාදු නොකරන, විධිමත් ක‍්‍රමයක් නම් එහි කිසිදු තාක්ෂණික ගැටලූවක් මතු නොවේ.
 
 දේශපාලනඥයා ඉතා හොඳ විනයවත් කෙනකු වුවද බිරිඳ මල් වෙඩිල්ලක් බවට පත්වූ විට වැඬේ අල වෙයි. ආණ්ඩුවේ ඇමැති කෙනකුගේ බිරිඳ කිසිදු ආරක්ෂකයකු නැතිව කොවිඞ් එන්නත් පෝලිමේ සිටින අයුරු පසුගිය දිනක අපි දැන ගතිමු. ඇය මාස්ක් එක පැළඳ සිටියේ තමා හඳුනා ගැනීමට පවා නොහැකි ආකාරයටය. රජයේ සේවිකාවක වන ඇය බස් එකේ සහ කෝච්චියේ වැඩට යන කාන්තාවකි. එයට හේතුව ඇය සිය ස්වාමියාගේ වේදිකාවේ පත්තුවන දේශපාලන මල් වෙඩිල්ලක් නොවීමය.

ජේ.ආර්. ජයවර්ධනගේ බිරිඳ වූ එලීනා ජයවර්ධන කිසි කලෙකත් දේශපාලන මල් වෙඩිල්ලක් වූ කාන්තාවක නොවූවාය. ඉතා සරල වූ ඇය තම සැමියාගේ දේශපාලන ගමන් මාර්ගයට ඇඟිල්ල නොගැසුව ද අවශ්‍ය අවස්ථාවලදී මානුෂීය මැදිහත්වීම් කළාය. ජේ.ආර්. ජයවර්ධන ස්වකීය ධුර කාලයේ දෙවනි කොටසේ අවසන් භාගය ගත කරමින් සිටියදී තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවශ්‍යතාවයෙන් පෙළින. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ බහුතර දේශපාලන බලයක් ද ඔහුට තිබිණ. එහෙත් ජේ.ආර්. ජයවර්ධන බලයට එන කාලයේ සිටම ප‍්‍රකාශ කර තිබුණේ තමන් දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවය. ඔහුගේ ධුර කාලයේ දෙවැනි කොටසේ අවසන් භාගයේ දවසක රාත‍්‍රියේදී තමා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ජේ. ආර්. සිය බිරියට කීවේය. ඇය කීවේ මෙපමණකි. ”මිනිස්සු අපට හිනා වෙයි නේද?” ජේ.ආර්. ජයවර්ධන වචනයක්වත් කතා කළේ නැත. පසුදා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගිය ඔහු ”ඊළඟ සැරේ මම ජනාධිපතිවරණයට එනවට මගේ මැතිනිය කැමති නැහැ” කියමින් ඒ පිළිබඳ ෆයිල් එක වසා දැමීය.
 
 එලීනා ජයවර්ධන වැනි නිහතමානී සහ ප‍්‍රතිපත්තිගරුක කාන්තාවන් කිහිපදෙනෙක් අදටත් මේ රටේ සිටිති. ඔවුන්ගේ නම් කීම අවශ්‍ය නැත. ඔවුන්ගේ චර්යාව ඔවුන්ගේ ගුණ සුවඳයි. එන්නත් නැතිව මැරුණත් පෝලිම් කඩාගෙන යන කුණු සිරිත ඔවුන්ට නැත.
 

advertistmentadvertistment
advertistmentadvertistment