දේශපාලන වුවමනාවට ප්‍රා. ලේකම්ලා 40 ක් මාරු කිරීමේ තැතක්

149

දේශපාලන අවශ්‍යතා මත ප්‍රාදේශීය ලේකම්වරුන් 40 ක් පමණ මාරු කිරීමේ උත්සාහයක් පවතින බවත් එය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉල්ලා සිටී.

ප්‍රාදේශීය ලේකම්වරුන් 367 දෙනකු අතරින් 40 ක් පමණ මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන විෂය භාර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කිරීමට දිනයක් සහ වේලාවක් ඉල්ලා ඇති බවත් එම සංගමයේ සභාපති විදුල රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා සහ රාජ්‍ය සේවා කොමිසම දැනුවත් කර ඇතැයි ද ඒ මහතා කීය. පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන නිර්දේශ ලබා නොදීම නිසා ප්‍රා. සභා සභාපතිවරුන් ඇතුළු ඉහළ දේශපාලන නියෝජිතයන් ඔවුන් මාරු කිරීමේ උත්සාහයක නිරත වන බව රෝහණ මහතා කියා සිටියේය.

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට අභූත චෝදනා එල්ල කර එම චෝදනා විභාග කරන තෙක් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමේ උත්සාහයක් පවතින බවත්, එවැනි ස්ථාන මාරුවීම් සඳහා කොමිසමට ඉල්ලීමක් ලැබුණහොත් නිසි සොයා බැලීමකින් තොරව ඒ සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටි බවත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment