දේශපාලන වුවමනාවන් මත අසීමාන්තිකව සහනාධාර දීමෙන් රට බංකොළොත් වුණා –  ඇමැති මනුෂ නානායක්කාර

171

සෘජු බදු සියයට විස්සක් වෙද්දී වක්‍ර බදු සියයට 80ක්: සියලු ව්‍යාපාර කඩා වැටිලා බදු පනවා වැඩක් නැහැ – විජිත හේරත් (ජාජබ)

තවත් බදු පැනවීමෙන් ජනතාවට ජීවත්වෙන්න බැරිවේවි – හර්ෂණ රාජකරුණා (සජබ)

ආණ්ඩුව කන්න නැති ජනතාවට සමාජ  ආරක්ෂණ බදු ගහද්දී රාජ්‍ය ඇමැතිවරු පත්කරලා – ආචාර්ය හර්ෂද සිල්වා (සජබ)

සංවේදීව කටයුතු නොකළොත් අපේ රට සෝමාලියාවක් වේවි – අනුර ප්‍රියදර්ශන යාපා (ශ්‍රීලපොපෙ)

සල්ලි අච්චු ගැසීමෙන්  භාණ්ඩ මිල ඉහළ ගියා – පාඨලී චම්පික රණවක (සජබ)

බදු වැඩි කිරීමෙන් භාණ්ඩ මිල වැඩිවෙනවා – නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ)



රට මෙතරම් බංකොළොත් වූයේ දේශපාලන වුවමනාවන් මත අසීමාන්තිකව සහනාධාරදීම නිසා බව, සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක් වෙමින් කම්කරු හා විදේශ

රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවැසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමේන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (08 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව දිනට නියමිත වූ විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා :

කොරෝනා ව්‍යවසනය වෙලාවේ රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී, රැකියා අහිමි වුණත්, ව්‍යවසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ආර්ථික ශක්තියක් හෝ ආරක්ෂිත දැලක් නොතිබුණු නිසා, පැලැස්තර මිස ස්ථිර විසදුම් දෙන්න නොහැකි වුණා. ලෝකයේ සමාජ ආරක්ෂණ ක්‍රමවේද තිබුණු රටවල් මීට වඩා වෙනස් ආකාරයට කටයුතු කළා. ඇමරිකාව 2020 මාර්තු සිට එක් පුද්ගලයකුට ඩොලර් 1200 බැගිනුත්, අවුරුදු 17ට අඩු දරුවෙක්ට ඩොලර් 600 බැගිනුත් දුන්නා. එංගලන්තය සුළු ව්‍යාපාර නගා සිටුවීමට පවුම් 25,000ක් දුන්නා. ඒ ඔවුන්ට ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් තිබුණු නිසයි. ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම යනු සමාජ සාධාරණත්වය ඉටු වීමයි. අපි පෙනී සිටින්නේත් ක්‍රියා කරන්නේත් ඒ සමාජ සාධාරණත්වය ඉටුකර දීමටයි.

ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඇති රටවල් ජනතාවගේ ආදායම මත, සෘජු බදු මගින් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ශක්තිමත් කරනවා. හැබැයි

ලංකාවේ සෘජු බදුවලට වඩා වක්‍ර බදු ප්‍රතිශතය වැඩියි. අධික වක්‍ර බදු නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා.

මේක දුප්පත් මිනිස්සුන්ට දරාගන්න බැරි දෙයක්. අපේ රටේ ධනවතාත්, අන්ත දුප්පත් ජනතාවත් ගෙවන්නේ එකම බද්දක්. ඒත් ඇමරිකාව වගේ රටවල් සෘජු බදු අය කරන්නේ ආදායම අනුව. සමාජයේ බහුතරයක් හිතන්නේ රජය කියන්නේ නැනී කෙනෙක්, ළමයි

බලාගන්න ඉන්න නැනී කෙනෙක් කියලයි. අපි තේරුම් ගත යුතු යථාර්ථය තමයි ආණ්ඩුවක් කියන්නේ නැනී කෙනෙක් නොවන බව.

හැමෝම මහන්සිවෙලා ඉගෙන ගන්න, මහන්සිවෙලා රස්සාවක් කරන්න ඕනෑ. ආණ්ඩුව රස්සා දෙනකම් බලා නොසිටිය යුතුයි. අපි හැමෝම තනි තනි පුද්ගලයන් ලෙස වගකීම ගන්න ඕනෑ. ඒත් දැන් හැම එකකටම බනින්නේ රජයට. තවදුරටත් රජය නැනී කෙනෙක් විදියට පවත්වාගෙන යන්න බැහැ. ඒක නිසා තමයි භාණ්ඩාගාරය බංකොළොත් වෙලා තියෙන්නේ. භාණ්ඩාගාරය බංකොළොත් වුණේ දූෂණ වංචා නිසා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි දූෂණ වංචාවලට පාර කපන්න අතිශය  බරපතළ විදියට සහනාධාර දීමත් හේතු වෙලා තියෙනවා. හැමදේම කරන්නේ රට වෙනුවෙන් කියලා දූෂණ වංචාවලට ඉඩ දුන්නා. සමෘද්ධියෙන්, සිල් රෙද්දෙන් පවා ගසා  කෑවා.

මේ සුබසාධනවාදී ප්‍රතිපත්ති නිසා ඡන්දේ ගන්න ලේසියි. ඕනෑ කුපාඩියෙකුට අදට වඩා හෙට වැඩියෙන් දෙන්නම් කියලා ඡන්දේ ගන්න පුළුවන්. එහෙම ආවාම තමයි හොරමැරකම්, වංචා දූෂණ සිද්ධ වෙන්නේ. ලෝකයේ දියුණු රටවල සෘජු බදු වැඩියි, වක්‍ර බදු අඩුයි. ඒ නිසා බඩු මිල අඩුයි. ලංකාවේ සෘජු බදු අඩුයි, වක්‍ර බදු වැඩියි. මේ නිසා වෙළෙඳ පොලේ මිල නිරූපණය වෙන්නේ නෑ.

විවෘත ආර්ථිකයේ මිල යාන්ත්‍රණයට, ඉල්ලුම සැපයුමට අනිසි බලපෑමක් එල්ල කරලා. මේ සියල්ල හමුවේ පාඩු ලබන රාජ්‍ය ආයතන තොගයක් ඉතිරි වෙලා, උද්ධමනය වැඩි වෙලා, බදු ගෙවන්නන්ගේ ප්‍රතිශතය අඩු වෙලා. පාරිභෝජන භාණ්ඩ මිල වැඩි වෙලා. භූමි තෙල් සහනාධාරයෙන් තෙල් සංස්ථාව බිලියන දහයක් ණයයි. මාසෙකට ගෙවන පොළිය බිලියන දහයයි. හේතුව රජයේ සහනාධාර. තෙල් සංස්ථාව කඩාගෙන වැටීම අහන්න දෙයක් නෑ.

රාජ්‍ය ආයතන රාශියක් කඩා වැටීමට හේතුව මේ සහනාධාර දීමයි. එසේ ම ලංකාවේ වක්‍ර බදු වැඩි කරන ගමන් ඇතැම් භාණ්ඩවල මිල අඩු කරනවා. එවිට වැඩි මිලක් ගෙවිය හැකි කෙනාට වැඩියෙන් පාරිභෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසයි ඉන්ධන සඳහාත් පවතින නියම මිල ඉදිරිපත් කරලා, ඒ මිලට ඉන්ධන ගන්න බැරි ජනතාවට පමණක් සහන ක්‍රමවේදයක් හදන්න ඕනෑ. ඒත් ඒ වෙනුවට කෙරෙන්නේ හැමෝටම සහන දෙන එක.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

සමාජ ආරක්‍ෂණය වැදගත්. යම් ගාස්තුවක් පනවනවිට හැමෝටම එක ගානට දෙනවාට සුදුසු අයට සහන දෙනවාට ගැටලුවක් නැහැ.

එකතු කරන බදු සමාජ ආරක්‍ෂණයට යොදවනවා කියා  පනතේ නැහැ. විශේෂ බද්දක් නම් එය ඒ දේ සඳහා පමණක් පාවිච්චි කරන බවට පොරොන්දුවක් අවශ්‍යයි. බදු පැනවීමේදී හංගලා

ගහන්න අවශ්‍ය නැහැ. කලින් වැට් බදු යටතේ අනෙක් බදු තිබුණා. වෙන වෙනම බදු පැනවීමේදී බදු එකතු කිරීම ගැටලුවක්. සියලු බදු එක බද්දක් ලෙස හිමිවිය යුතුයි.

මේ බදු පැනවීම අප්‍රේල් මාසයේ සිට සිදුවන බවට බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා එදා කිව්වත් දැන් ක්‍රියාත්මක වන්නේ මේ මාසයේදී. කාලය ගිහින් ප්‍රමාදයි. 2019 දී බදු සහන දීම මුදල් අමාත්‍යාංශයවත් දන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ජනාධිපති කාර්යාලයෙන් සිදුව ඇත්තේ. රටට විශාල හානියක් ඉන්වුණා.

පාර්ලිමේන්තුවේ සමාජ ආරක්‍ෂණ බදු ජනතාවට පනවලා. අනික් පැත්තෙන් රාජ්‍ය ඇමැතිවරු 37ක් පත් කරලා. ජනතාවට කන්න නැතිවෙලාවේ රාජ්‍ය ඇමැතිවරු පත්කිරීම සදාචාර විරෝධී නැද්ද. වියදම අඩුකිරීමයි කළයුත්තේ. ඇමැතිවරු පත්කිරීම නොවෙයි කළයුත්තේ. ජනතාව මේවා පිළිගන්නේ නැහැ.

රුපියල් බිලියන 75ක් පාරවල් හදන්න බිල් තියෙනවාලු. අධ්‍යාපනයට ගෙවන්න තියෙන්නෙ එක බිලියනයයි. දුප්පත් මිනිස්සුන්ට බදු ගහනවා නම් වියදම් අඩුකළ යුතුයි. අයි. එම්. එෆ්. එක කියනවා හොරා කාපු මුදල් සොයාගන්න කියලා. රට හා ආර්ථිකය වැටෙන්න හේතුව මූල්‍ය වංචා බවට මානව හිමිකම් කොමිසමටත් ගිහින්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ – අපේ රාජ්‍ය ඇමැතිවරුන්ට වරප්‍රසාද නැහැ. මන්ත්‍රී වැටුප් පමණයි ලබන්නේ. ඒ පිළිබඳව වැරදි මත ඇති කරන්න එපා.

අපේ රටේ බදු ගෙවන්නේ තිස්දාහයි. කිසිම නියාමනයක් වන්නේ නැහැ. අධික ලාභ ලබන පුද්ගලයන් බදු ගෙවන්නේ නැහැ. ලංකාවේ ලොකුම වී මෝල් හිමියා බදු ගෙවන්නේ නැහැ. කැසිනෝ බලපත්‍ර ගාස්තු ගෙව්වත් සතපහක් බදු ගෙවන්නේ නැහැ. වැඩිම ඇඟලුම් අපනයනකරුවා මිලියනයක බදු විතරයි ගෙවන්නේ. ඉතිරිය වෙනත් අයගේ නමින් අපනයනය කරන්නේ. වැඩිම සුපර්ම මාකට් ජාලය තියෙන කෙනා 2020 සතපහක් බදු ගෙවා නැහැ. නිමි ඇඳුම් ආනයනය කරන ප්‍රධාන කිසිවෙකු බදු ගෙවා නැහැ. සුපිරි නිවාස “හදන හිමිකරුවන්’ කිසිවෙක් ආදායම් බදු ගෙවා නැහැ.

නැවත බදු ගහලා වැඩක් නැහැ. ගහපු බදු නිවැරදිව අයකර ගත්තානම් හොඳටම ඇති. ආදායම් බදු නියාමනයක් අවශ්‍යයි. අවශ්‍ය නිලධාරීන් 50කට පුළුවන් මේ ගැටලුව ලිහන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුව නියාමනයක් අත්‍යවශ්‍යයි. බදු රැසක් වෙනුවට එක බද්දක් පමණක් අයකරගත යුතුයි.

ආදායම් බදු නිලධාරීන් මොනවාද කරන්නේ. මෙහෙම බදු පැහැර හරිනවානම් නිලධාරීන් වැඩක් නැහැ. රාජ්‍ය බදු ආදායම නැතිව රටක් ගෙනයන්න බැහැ.

ඔක්කොටම ඇස් ඇරී තියෙන්නේ අරගලය නිසයි. දැන්වත් නිවැරදිව කටයුතු කරන්න. පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඇතුළුව හැමෝටම බදු ෆයිල් එකක් අරින්න. හරියට බදු අයකරගත්තොත් පිට රටින් ණය ගන්න අවශ්‍ය නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ)

බදු ප්‍රතිශතය 2015 ආණ්ඩුවත් වැඩිකළා. සමාජ ආරක්‍ෂණ බද්දෙනුත් හානිය වන්නේ ජනතාවටයි. අවසානයේ භාණ්ඩ මිල වැඩිවීමයි සිදුවන්නේ. රටේ ව්‍යාපාරවලින් සියයට 75ක් මේ වෙලාවේ දැඩි දුෂ්කරතාවයක සිටින්නේ. වියදම වැඩියි. ව්‍යාපාර කරගෙන යන්න බැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බදු ගහල විනාශ නොකළ යුතුයි.

ණය ගන්නවා හැර ආණ්ඩුවට විකල්පයක් නෑ. මූල්‍ය අරමුදලේ ණය එන්න අවුරුදු 4ක් යනවා. අපිට ණය ගෙවන්න ඩොලර් බිලියන ගණන් ගොඩ ගැහිලා. ස්වෛරී බැඳුම්කර පමණක් ඩොලර් බිලියන 11ක් මේ වනවිට ගෙවිය යුතුයි. ඒ නිසා ණය ගැනීම විතරක් නොවෙයි ආදායම වැඩිකිරීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

අපේ රටේ නිසි බදු ක්‍රමවේදයක් නැහැ. නොගෙවූ බදු අය කරගන්න මේ ආණ්ඩුවට ඕන තරම් කල් තිබුණා. නමුත් වුණේ නැහැ. බදු අයකර නොගැනීම නිසා රටට ලැබෙන ආදායම නැතිවුණා. පසුබසින ආර්ථිකය යටතේ බදු අයකිරීම කෙසේ විය යුතුද යන්න ප්‍රශ්නයක්. රේගු බදු වැඩිකිරීම සෘජු බදු වැඩිකිරීම ආදී විශාල වැඩකොටසක් කළයුතුව තිබෙනවා.

පොලී අනුපාතය වැඩිවීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැවැන්ත ගැටලුවකට මැදිවෙලා. සෑම අංශයම භාණ්ඩ මිලත් වැඩිවෙලා. විදුලි, ජල, ඉන්ධන මිල වැඩි වෙලා. සාමාන්‍ය ජනයාටත් බරපතළ ගැටලු.

අපේ රට තියෙන්නේ භයංකාර තැනක. අපේ රටේ සියලු දෙනා එක තීරණයක සිටිය යුතුයි. ජනතාව පැත්තෙන් සිට සංවේදීව කටයුතු නොකළහොත් සෝමාලියාව වැනි දරුණු තැනකට රට පත්වේවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ)

ආණ්ඩුවේ විවිධ චෝදනා ලබපු අය රාජ්‍ය ඇමැතිවරු ලෙස දිවුරුම් දීලා. ශ්‍රී ලනිපයේ 6ක් රාජ්‍ය ඇමැතිවරු වෙලා. රාජ්‍ය ඇමැතිවරු වැටුප නොගත්තාට වාහන දීමනා, කාර්යාල කාර්ය මණ්ඩල ගන්නවා. ජනාධිපති දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කරන අයට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වේවි. කිසිම වැඩකට නැති ව්‍යාපෘතිවලට ගත්ත ණය නිසයි රට බංකොලොත් වුණේ. රටට වූ විනාශයට ගෝඨාභය වගකිවයුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් – අද සියලු ව්‍යාපාරිකයන් කඩාවැටිලා. ඒ නිසා බදු පනවා වැඩක් නෑ. බදු සරල විය යුතුයි. මේක වක්‍ර බද්දක්. අද වක්‍ර බද්ද සියයට 80යි. සෘජු බදු සියයට 20යි. එහි සමාජ සාධාරණත්වයක් නෑ. වැට් බද්දයි මේ බදුයි එකතුවූ විට වක්‍ර බද්ද සියයට 20කට වැඩි වෙනවා බදු මත බදු පනවීමත් සිදුවෙනවා.

ජනතාව හාමතේ වැටිලා ඉන්න වෙලාවේ තවත් බදු පනවනවා. මේ බර ජනතාව මත පටවලා. නිෂ්පාදන වැඩිකර ජනතාවගේ ආදායම වැඩිකර පසුව බදු පැනවිය යුතු වුවත් සෘජුවම ජනතාවගෙන් බදු ගහනවා. ධීවරයෝ හැමදාම අරගලයේ. භූමිතෙල් මිල අධිකයි. ඔවුන් අසරණයි. වතුකරයේ දිනක වැටුප 1000ක් කරනවා කිව්වත් තවම නැහැ. පිටි, භූමිතෙල් ගත්විට ඒ මුදල ඉවරයි. මෙවැනි අවස්ථාවක තවත් බදු පනවලා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි (ශ්‍රීලපොපෙ)

චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා. වී මිලදී ගන්න විදිහක් නෑ කියලා ඇමැති කියනවා. මේ මොහොතේ හරි අමාරුවෙන් වගාකළ ගොවියා තවත් අසරණ වෙලා. වී මිලදී ගැනීමක් වන්නේ නෑ. ආණ්ඩුව හරිමග යනවානම් උදව් කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව යන්නෙ වෙනම පාරක. රාජ්‍ය ඇමැතිවරු 37ක් පත්කරලා. අද රෙදි ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ (ශ්‍රීලපොපෙ)

ආදායම් බදු නිලධාරීන් සියල්ලටම දොස් කියන එක වැරදියි. නිවැරදිව සේවය කරන අය අතරේ සියයට 5ක් විතර තමයි වැරදි වැඩකරන අය ඉන්නේ. ඒවා නිවැරදි කරන්න ආණ්ඩු ක්‍රියාකළ යුතුයි.

බදු නිවැරදි ලෙස අයකිරීමේ ක්‍රමවේදය හැදිය යුතුයි. දෙපාර්තමේන්තුව කාර්යක්‍ෂම කළයුතුයි. පරිගණක පද්ධතිය හදලා තියෙන්නේ සේවකයාට අවශ්‍ය විදිහටයි. ආයතනය කඩා වැටෙන්නත් හේතුව මේ පරිගණක පද්ධතියයි. තොරතුරු ලබා ගැනීමට

සිංගප්පූරු සමාගමකට ඩොලර් ගෙවිය යුතුයි. අපි කිව්වා මේ සමාගමට කොන්ත්‍රාත්තුව දෙන්න එපා කියලා.

බදු අලුතෙන් පනවන්නෙ නැතිව බදු නොගෙවන අයගෙන් රුපියල් බිලියන 500කට වඩා අයකර ගත හැකියි. එසේ නොකරන්නෙ ඇයි?

මන්ත්‍රීවරු ලෙස අපි ඉදිරිපත් කරන කිසිම යෝජනාවකට මේ වනතෙක් ආණ්ඩු ඇහුම්කන් දුන්නේ නැහැ. ඇහුම්කන් දුන්නා නම් රට මීට වඩා දියුණු වෙනවා.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

මෙම බද්ද අප්‍රේල් 01 වැනිදා සිට  ගේන්න හිටියත් දැන් තමයි ක්‍රියාත්මක වන්නේ. පිරිවැය මත බද්දක් වැට් එකට පරිවර්තනය කළොත් තව සියයට 20ක් පමණ වෙනවා. සිල්ලර හා තොග වෙළෙඳාමට එය බලපානවා.

අද ආහාර උද්ධමනය ඉහළයි. මේ බදු පැනවීමෙන් උද්ධමනය තව ඉහළට යනවා. එක ක්‍රමයකට බදු පැනවිය යුතුයි. මූල්‍ය අරමුදල් ගිවිසුම ප්‍රසිද්ධ කළනොහැකියි. නමුත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. අවම වශයෙන් මුදල් කොමිටියට හෝ ඉදිරිපත් කළ යුතුයි. බදු නොගෙවන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් වැරදියි. හැමෝම බදු ගෙවිය යුතුයි. ඇමැතිවරු පත්කිරීමේදී විiාත්මක පදනමක් තිබිය යුතුයි. විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘති කිරීමට ඡන්දයකට යා යුතුමයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

බදු වැඩි කිරීම සිදුවිය යුතුයි. අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. නමුත් බදු ප්‍රතිපත්තිය නිවැරදි නැහැ. බදු දැලෙන් රිංගලා යනවා. පාර්ලිමේන්තුව ජනතාවට වගකීම ඉටුකර නැහැ. අපනයනය ගැන හරියට සැලකිලිමත් වන්නේ නැහැ. ඇඟලුම් ආදායම පමණයි හරියට ලැබෙන්නේ. අවශ්‍ය ඉලක්කයට ගියේ නැහැ. අපනයන වර්ධනයකට  ගියොත් තමයි අපට ස්ථිර විසදුමකට යා හැකි වන්නේ.

විදුලි බල ඇමැති කාංචන විජේසේකර

ඉන්ධන ආනයනය විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුට දීලා ප්‍රසම්පාදන කමිටුවක් පත් කරන්න කියලා ඉල්ලුවා. තවම සිදුවී නෑ. චෝදනා එල්ල කිරීම පිටුපස කුමන්ත්‍රණ තියෙනවා. සමාගම්වලට වාසි අත්වන මාර්ග සැකසීමයි සිදුවන්නේ.

හැම අවුරුද්දෙම ගල් අඟුරු ගත්තේ ටෙන්ඩර් මගින් ප්‍රසම්පාදන කමිටුවක් හරහායි. අමාත්‍යාංශ නිලධාරීන් එහි ඉන්නෙ. සියල්ල සිදුව ඇත්තේ ටෙන්ඩර් පටිපාටිය තුළයි. ටෙන්ඩරයක් වැසූ පසුව අඩු ගානක් ඉදිරිපත් කළ අයෙක්ගේ මිලක් නිසයි මේ ගැටලුව ඇතිව තියෙන්නේ.

නිලධාරීන් සියල්ල ටෙන්ඩර් කටයුතු වලට අවංකව ක්‍රියාකළා. තෙල්, ගල් අඟුරු අඩුගානට අරන් දෙන්න පුළුවන්නම් ඉදිරිපත් වෙන්න. ගල් අඟුරු සැපයුමට දැඩි බාධාවක් එල්ල වෙලා. එය නැති වුණත් කවුද වග කියන්නේ. ඔක්තෝබර් මාසය දක්වා පමණයි ගල් අඟුරු තියෙන්නේ. මෙය නැවත ව්‍යවසනයක් දක්වා ගිය හැකියි. විදුලිය කැපීම පැය 7, 8 දක්වා යා හැකියි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

අභියෝගයට මුහුණදී ජයග්‍රහණය කිරීම තමයි කළ යුත්තේ. ගල් අඟුරු  ගැටලුව ඇවිත් විදුලි කප්පාදුවක් නැවත ආවොත් කර්මාන්ත ක්‍ෂේත්‍රය යළි කඩාවැටීමකට ලක් වේවි. මේ වගේ බරපතළ ප්‍රශ්නවලදී සියලුදෙනා එක්ව ක්‍රියාකරමු. වංචාවක් වෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාකළ යුතුයි. එසේ නැතිව වැඩකටයුතු කඩාකප්පල් කිරීම රටකට සුදුසු නෑ.

කොරියාව, ජපානය එදා කඩා වැටුණු වෙලාවේ ඔවුන් එකමුතුව නැගිට්ටා. අද ඔවුන් ලොව ඉහළම තැනට ඇවිත්.

යුද්ධය අවසන් වූ අවස්ථාවේදී උතුරත් දකුණත් එකතුවී රට ගොඩනැගීමට තිබුණා. ඒ අවස්ථාව නැතිවුණා. අද යළිත් රටේ ආර්ථික ගැටලු ඇවිත් අන්තයටම වැටී තියෙන වෙලාවේ පක්‍ෂ ගැන නොසිතා එක්ව ක්‍රියාකළොත් රටට හොඳ කලක් යාවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ)

ගල් අඟුරු ගැටලුව විගණකාධිපති වෙත යොමුකර තිබෙනවා. ගල් අඟුරු ටෙන්ඩරයට මගදී සම්බන්ධ වූ ටෙන්ඩර්කරුවකු නිසයි මේ ගැටලුව මතුවී තියෙන්නේ.

මේ බදු නිසා අතිරේක බදු ප්‍රතිශතයක් ජනතාවට එකතුවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බද්ද නිසා අවාසි වෙනවා. ආදායම් බදු ක්‍රම පවතිද්දී වක්‍ර බද්දක් තව පැනවීම සුදුසු නැහැ. සෘජු බදු වැඩිකරන්න තවම ආණ්ඩුව ක්‍රියාකර නැහැ. ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව පේනවා. සියයට 60 කට වඩා උද්ධමනයක් රටේ පවතිනවා. සල්ලි අච්චු ගැහුවා යැයි සැකකළ හැකි ප්‍රමාණය රුපියල් බිලියන තුන්දාහක් වෙනවා. එහෙත් රටේ හුවමාරු වුණේ රුපියල් බිලියන 1500 යි. මේ වසර දෙකහමාරට භාණ්ඩ මිල ඉහළ යෑමට එය බලපෑවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

පසුගිය කාලසීමාව තුළ ජනතාවට ජීවත්වෙන්න බැරි තරමට ආර්ථිකය පත්කළා. තවත් බදු පැනවීමෙන් තත්ත්වය තවත් බරපතළ වෙනවා. කැබිනට් ඇමැතිවරු 21ක් සිටියදී රාජ්‍ය ඇමැතිවරු 37ක් පත්කළා. ජනතාව ජීවන බරින් මුදවා ගන්නවාට වඩා ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමයි ආණ්ඩුවට අවශ්‍ය වුණේ. මේ වෙලාවේ රාජ්‍ය ඇමැතිවරු අවශ්‍ය නෑ.

පාර්ලිමේන්තුව යළි අද (09) පෙරවරු 9.30ට යළි රැස්වේ.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත වැඩි ඡන්ද 81කින් සම්මතයි

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්‍ෂව මන්ත්‍රීවරු 91 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව මන්ත්‍රීවරු 10 දෙනකු ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු 123 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගැබේ රැඳී නොසිටියේය.

විවාදය අවසානයේදී පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියැවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජා.ජ.බ) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පනත සංශෝධන සහිතව සම්මත විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment