දේශපාලන OIC

1556

වසර 2021 ජනවාරි මස පළවෙනිදා සිට නොවැම්බර් 3 දක්වා පොලිස් ස්ථානාධිපති ධුර ලබා දුන් 184 න් 182 දෙනකුම පොලිස්පතිගේ නිර්දේශවලින් තොරව OIC තනතුරු ලබාගත් බව පොලිස්පති විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම් දී තිබේ. තවත් වැදගත් කාරණා දෙකක් මේ ලියමනෙන් ඉස්මතු කර ඇත. ඉන් පළමුවැන්න සම්මුඛ පරීක්ෂණ නැතිව OIC ලා 126 කට උසස්වීම් ලබා දී ඇති බවය. දෙවැන්න මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග පොලිසියේ නිලධාරීන් 130 ක් හවුල්ව කටයුතු කරන බවය. නිදහස දුන් 1948 න් පසු ගතවූ 74 අවුරුද්ද පුරාම ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් කුණු විය. පොලිසියට කෙළින්ම යන මන්ත්‍රීතුමා ලොකප් එකේ සිටින කුඩුකාරයන්, ගංජාකාරයන්, අයිස්කාරයන් සහ දාමරිකයන් එළියට ගැනීම 1977 න් පසු නිතර සිදුවිය. සමහරවිට මේ අමනයන් එලියට ගැනීමේදී මන්ත්‍රීතුමා OIC ට තර්ජනය කළේය.

නිදහස ලබා එලියට එන අමනයෝ දිගින් දිගටම OIC ට තර්ජනය කළහ. 1977 න් පසු ඕනෑම දෙයක් පගාවට යට විය. වැලිකඩ හිර ගෙදර පරිහානිදායක යුගය පටන් ගන්නේ 77 න් පසුය. මේ වනවිට මේ හිරගෙදර තුළ අභ්‍යන්තර ආර්ථිකයක් තිබේ. සිරගතව සිටින හොරුද, මිනී මරුවෝද, කෝටිපති කුඩු ව්‍යාපාරිකයෝද මේ ආර්ථිකය පවත්වාගෙන යති. එතැන පදනමද පගාවය. යහපාලන ආණ්ඩුවට පෙර පැවති පොදු පෙරමුණු ආණ්ඩුවේ අවසාන කාලය දූෂණ, පගා, කොමිස් යනාදියෙන් ගහන වූ අන්තිම කැත කාලයකි. ඒ දෑවැද්ද යහපාලන ආණ්ඩුවටද ඒ විදිහටම ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක ජන වරමක් ලබාගෙන මේ රටේ ජනාධිපති තනතුර භාරගන්නේ මුළු මහත් රාජ්‍ය සේවයම ලොන්ඩරියේ දමා ඩ්‍රයික්ලීනුත් කර ප්‍රශස්ත මට්ටමෙන් සුවපත් කරන බව ප්‍රකාශ කරමිනි. එහෙත් ගෝඨාභය දැන හෝ නොදැන වැඩේ අලවී තිබේ. 2021 අවුරුද්දේ පළවෙනි මාස 10 ඇතුළත පොලිසිය තවදුරටත් කුණුවී තිබේ. මේ තත්ත්වයට ජනාධිපතිතුමාද, පොලිසිය භාර ඇමැත්තයාව සිටි සරත් වීරසේකර ශූරීහුද වගකිව යුත්තාහ. දැනට තියෙන ආරංචියේ හැටියට මේ ආණ්ඩුවේ පත්වීම් ලැබූ පොලිස් OIC ලාගෙන් 99% ක්ම දේශපාලන ගොට්ටෝ වෙති. OIC පත්කිරීම සඳහා පළාතේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී විසින් ලියුම් කරදාසියක් නිකුත් කරනු ලැබේ. මේ පත්වීම් රුපියල් 5000 හේ පත්වීම් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇති නමුත් එහි තේරුම කුමක් දැයි අප දන්නේ නැත.

OIC ට නිර්දේශ ලියුම දීම සඳහා මන්ත්‍රීතුමා රුපියල් 5000 ක් අය කරනවා ද නැත්නම් OIC රුපියල් 5000 ක් අය කරනවාද යන කාරණය මෙයින් පැහැදිලි වන්නේ නැත. කෙසේ හෝ වේවා පෙර කී කාලය තුළ කරන ලද OIC පත්වීම් 184 න් 182 ක්ම දේශපාලනඥයන්ගේ වුවමනාව මත සිදුවී නම් එතැන 5000 ට වැඩි ගනුදෙනු හුවමාරු වූ බවට සැකකළ හැකිය. පසුගියදා රඹුක්කන පෙට්‍රල් ෂෙඩ් එකකදී හටගත් පොලිස් වෙඩි තැබීම්වලට අණ දීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අරක්කු පීප්පයක් වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාද හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ශරීර ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චිගේ ආවරණය ලබන මූලික සුදුසුකම් කිසිවක් නැති අයකු බව කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් සතු බලය ඔවුන්ගේ ආරක්ෂකයන් විසින් ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය සිරිතය. දේශපාලනඥයාට මෙන්ම පත්වීම් දීමටත් ඉන්ටඩික් කිරීමටත් දඬුවම් මාරු දීමටත් ආරක්ෂකයාටද හැකිය. මෙය අතුරු කතාවක් නමුදු සඳහන් කළ යුතු තොරතුරකි.

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් 130 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුලේ වැඩ කරන බව පොලිස්පතිගේ ලිපියේ සඳහන් වීමත් සමගම සිවිල් පුරවැසියාගේ ඇඟ මවිල් ඉස්මවිල් වීම නොවැළැක්විය හැකිය. සාමාන්‍ය සිරිත වන්නේ පොලිස්කාරයා එනවිට කුඩ්ඩා පැන දිවීමය. මෙතැනදී සිදුව ඇත්තේ පොලිස්කාරයාත් කුඩ්ඩාත් යන දෙදෙනාම එකම මැරතන් එකට සහභාගි වීමය. පොලිස්කාරයා විසින් කුඩ්ඩාට බැටන් එක දෙනු ලැබේ. කුඩ්ඩා විසින් පොලිස්කාරයාට බැටන් එක දෙනු ලැබේ. අන්තිමේදී මේවාට විරුද්ධව පෙළ ගැහෙන සිවිල් පුරවැසියන්ට පොලිසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කරනු ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වීමෙන් පසු රජයේ උසස් තනතුරු දැරීම සඳහා කට්ටිය තේරීමට මණ්ඩලයක් ද පත්කළේය. මේ මණ්ඩලය සමන්විත වුණේ ගෝඨාභය රාජපක්ෂගේ ශාස්ත්‍රීය අංශය වූ වියත් මගේ සාමාජිකයන් ගෙනි.

මෙතනින් ෆිල්ටර් වී උසස් තනතුරු ලැබූ කිහිපදෙනකුම පල් හොරුන් බව පසුකාලයේදී හෙළිවිය. ඒ අනුව අප තේරුම් ගත යුත්තේ මේ රටේ පාලන මොඩලය ගෝඨාභය රාජපක්ෂ හඳුන්වා දුන් පාලන මොඩලයට වඩා බෙහෙවින් වෙනස්විය යුතු බවයි. ගෝල්ෆේස් සිද්ධියේදී ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධ පාදඩ මැරයන් විසින් නිරායුධ විරෝධතාකරුවන්ට පහරදුන් බවට සාක්ෂි තිබේ. දැනටමත් පොහොට්ටු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කූඩුවට ගොස් සිටින අතර එවැනිම දේශපාලනඥයන් පහළොවක් හෝ විස්සක් ඒ ආකාරයෙන් ඇතුළට යෑමට නියමිතය. ගෝල්ෆේස් සිද්ධිය සම්පූර්ණයෙන්ම අල කළේ දේශපාලනඥයන් විසිනි. එතනදී ඔවුන් වෙනුවෙන් පාවිච්චි වීමට පොලිසියට සිදුවිය. විශේෂයෙන්ම දේශපාලන OIC ලා මෙවැනි අවස්ථාවලදී දේශපාලනඥයන් වෙනුවෙන් පාවිච්චි වීම සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරියට දිව එති. මේ තත්ත්වය නැවැත්විය යුතු බවක් අප අමුතුවෙන් ආණ්ඩුවට යෝජනා කරන්නේ නැත. අප කියන්නේ එය නොනැවතුනොත් ආණ්ඩුවට තවදුරටත් කෙළැවෙන බව පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment