දේශබන්දුට උසාවි එන්න කියූ සිතාසි අත්හිටුවයි

147

එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂ පනස් දහසක මුදල සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබල දීමේ චෝදනාව එල්ල වී ඇති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (16 දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝගය ලබන 28 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (15 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පසුගිය 26 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නිකුත් කර තිබූ එම සිතාසි නියෝගය අභියෝගයට ලක්කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගෙනුකර තිබූ අභියාචනාව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ, නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට ද නියෝග කළේය.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ජනවාරි 13 වැනිදා ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සිතාසි නියෝගය නිකුත් කර තිබිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, ටිරාන් ඇන්ටෙල් ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment