දේශබන්දුට එරෙහි නඩුව කැඳවීම වළක්වන තහනම් නියෝගය දික් කරයි

132

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති පෞද්ගලික නඩුව කැඳවීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 20 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28 දා) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළේය.

අරගලකරුවන් විසින් පසුගිය ජූලි 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ කාමරයක තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක මුදලක්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කර ඇති නියෝගය මගින් එම මුදල සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබල දීමේ වරද කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පැමිණිල්ලක් කර තිබිණි. එම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පසුගිය 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා දේශබන්දු තෙන්නකෝන් මහතාට සිතාසි නිකුත් කර තිබිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment