දේශබන්දුට එරෙහි නඩුව වළක්වන අතුරු තහනම මැයි 19 ට දික් කරයි

84

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති පෞද්ගලික නඩුව කැඳවීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන මැයි 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28දා) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවිණි.

අරගලකරුවන් විසින් පසුගිය ජූලි 09 වැනිදා කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කළ කාමරයක තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට කර ඇති නියෝගය මගින් එම මුදල සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබලදීමේ වරද කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පැමිණිල්ලක් කර තිබිණි. එම පෞද්ගලික පැමිණිල්ල සළකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබිණි.

පෙත්සමේ පළමුවන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටි අතර නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment