දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න ජනපතිගේ අනුමැතිය

1120

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

සිය අනුමැතිය පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දීමට ජනාධිපතිවරයා ඉකුත් 16 වැනිදා කටයුතු කළ බව ද එම ආරංචිමාර්ග කියා සිටියේය.

මීළඟ පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ කැමැත්ත විමසීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුගේ නම් ඊට යොමු කිරීමට නියමිතව ඇත.

වර්තමාන පොලිස්පතිවරයා සී. වී. වික්‍රමරත්න මහතා ලබන 25 වැනිදා සිය සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතය. එම විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව පොලිස් ආරංචිමාර්ග කියා සිටියේය.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතා 1998 වර්ෂයේ පෙබරවාරි 23 වැනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූයේය.

එතැන සිට විවිධ නිලතල දරමින් රටේ විවිධ ප්‍රදේශවල වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට වසර 3යි මාස 03ක කාලයක් තිස්සේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියි.

එල් .ටී. ටී. ඊ. ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ කොළඹ ආරක්‍ෂාව සඳහා සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනය සඳහා ආරක්‍ෂක ‘security eye’
නමැති සංකල්පය හඳුන්වාදෙනු ලැබුවේ තෙන්නකෝන් මහතා විසින්ය.

එමෙන්ම පතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් මර්දනය කිරීම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්දනය කිරීමේලා මහඟු සේවයක් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා මහජන ආරක්‍ෂක කමිටු පිහිටුවා පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධයක් ගොඩනැඟීමට ද කටයුතු කළේය.

2020 වර්ෂයේ මුල් භාගයේ ඇරඹි කොවිඩ් -19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය ආරක්‍ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්වලට කොටුවී සිටි ජනතාවට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සපයමින් ව්‍යසන ව්‍යාප්තිය පාලනය කිරීමට මහඟු සේවයක් ඉටු කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතාට හැකි විය.

එමෙන් ම කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසම් සකස් කිරීම බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මහපාතාල කල්ලි මර්දනය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් ද ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment