දේශබන්දු වහාම මාරු කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

466

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කොට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගන්නා ලෙසට නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (23 දා) පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදුන්නේය.

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොලු මුගුරු රැගත් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ සාමකාමී අයුරින් විරෝධතාවේ නිරතව සිටි පිරිසට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩකඩ සැලසීම සඳහා එම ස්ථාන මාරුව ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා වෙත නිකුත් කළ එම ලිඛිත උපදෙස් මගින් නීතිපතිවරයා දැනුම් දී තිබේ.

එකී පහරදීමට සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් මින් පෙර පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත 22 දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබූ අතර එම නම් ලැයිස්තුවේ අටවැන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම සඳහන් වී තිබිණ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ අතර අරගලකරුවන්ට පහරදුන් පිරිස නිදැල්ලේ ගාලු මුවදොර පිටියට පිවිසීමට ඉඩදීම හා ඔවුන් වැළැක්වීමට නිසි පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment