දේශාටන වෛද්‍යවේදය  Medical Tourism – විදේශ විනිමය  උපයාගැනීමට යොදා ගමු

273

දේශාටන වෛද්‍යවේදය අපට අහලා හුරුපුරුදු නැති මාතෘකාවක් වුවත් එය ලෝකයට අලුත් මාතෘකාවක් නොවේ. දේශාටන වෛද්‍යවේදය යනු රෝගීන් තම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ස්ථිර පදිංචි දේශයේ සිට ජාත්‍යන්තර දේශසීමාවන් හරහා වෙනත් රටකට ගමන් කිරීමයි. එනම් ප්‍රතිකාර සඳහා දේශසීමාවන් තරණය කිරීමයි. එය ශතවර්ෂ ගණනාවක් අතීතයට ඇදී ගියද දසවස් ගණනාවක් මුළුල්ලේ රෝගීන් තම ප්‍රතිකාර සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට ගමන් කර තාක්ෂණයෙන් වඩා දියුණු ප්‍රතිකාර ක්‍රමවේදයන්හි පිහිට පැතීමට උත්සුක විය.

මෑත කාලීන තාක්ෂණයේ දියුණුවත් සමග නවීන ප්‍රතිකාර ක්‍රම ඉතා අඩු මුදලට පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය සමගින් දියුණු වෙමින් පවතින රටවලදී ලබා ගැනීමට හැකි වීමත් සමඟ දේශාටන වෛද්‍යවේදය ඉතාමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. එමෙන්ම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සංචාරක ක්ෂේත්‍රය තුළ සිත් ගන්නා සුළු ලාභ උපයන ව්‍යාපාරයක් බවටද මෙම දේශාටන වෛද්‍යවේදය පත් වී ඇත.

2020 වසර වන විට ලෝකය තුළ දේශාටන වෛද්‍ය වේදය ඩොලර් බිලියන 11.6 ක මුදල් උපයන ව්‍යාපාරක් බවට පත් වී ඇති අතර එය 2030 වසරේදී ඩොලර් බිලියන 97.9 වන බවට පුරෝකතනය කර ඇත.

රෝගීන් වශයෙන් ගත් කල 2019 වසරේදි 2304290 වූ අතර එය 2027 වසරේදි 7035861 වනු ඇති බවට ගණන් බලා ඇත.

එමෙන්ම රෝගීන් අතර ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රම ලෙස

★ රූපලාවන්‍ය ශල්‍යකර්ම හා ප්‍රතිකාර

★ දන්ත වෛද්‍ය ප්‍රතිකාර

★ පිළිකා රෝග

★ අවයව බද්ධ කිරීම

★ හෘද රෝග හා ශල්‍ය කර්ම

★ විකලාංග වේදය සහ ශල්‍යකර්ම

★ Reproductive & Fertility

★ විකල්ප වෛද්‍ය ක්‍රමයන් (හෙල වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්)

★ අක්ෂි ප්‍රතිකාර

★ ස්ථුලතාව සඳහා සිදු කරන ශල්‍යකර්ම

★ පුනරුත්ථාපන (Rehabilitation) ප්‍රතිකාර ක්‍රමය

ප්‍රතිකාර

එමෙන්ම දේශාටන වෛද්‍යවේදයේ තවත් එක් කොටසක් වන සුවතා දේශාටනවේදය (Wellness Tourism) මඟින් සිදු කරනුයේ නිරෝගීකම පවත්වා ගැනීම හෝ රෝගී නොවී සිටීමට අවශ්‍ය ශ්‍රම

අනුගමනය හා ප්‍රතිකාරයන්ය.

දේශාටන වෛද්‍යවේදය යහපත් ක්‍රමවේදයක්ද?

මෙම වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර වල සංකූලතා තීරණය වනුයේ ප්‍රතිකාර ක්‍රම සිදු කරන ස්ථාන ශාරීරික සහ මානසික තත්ත්වයක් අනුවයි.

දේශාටන වෛද්‍යවේදය අවදානම් සහගතද?

සියලුම ප්‍රතිකාර ක්‍රමවල සංකූලතා සහගත තත්ත්වයක් පවතී.

ප්‍රතිකාර ක්‍රම සඳහා පවතින මිල ගණන්

ඒ අනුව හෘද සැත්කම් සඳහා (Bypass Surgery)  ඇමරිකාව තුළ ඩොලර් 123000 අය කරන අතර ඉන්දියාව ඩොලර් 7000 සහ තායිලන්තය ඩොලර් 17188 ක් මෙම සැත්කම් සඳහා අය කරනු ලබයි. එමෙන්ම හෘද කපාට ශල්‍යකර්ම ඇමරිකාව තුළ ඩොලර් 170000 වන අතර ඉන්දියාව තුළ ඩොලර් 11500 – 8500 ක මුදලකට ද යුක්රේනය තුළ ඩොලර් 6000 – 8000 ත් අතර මුදලකට ද සිදු කරනු ලබයි. එමෙන්ම ඇමරිකාව තුළදී දත් සිටුවීම සඳහා ඩොලර් 1500 අය කරන අතර යුක්රේනය තුළ ඩොලර් 500 – 700 අතර මුදලකට මෙම ප්‍රතිකාරය රෝගීන් හට ලබා ගැනීමට හැකි වී ඇත.

තවද, ශ්‍රී ලංකාවට ආසන්නයේ පවතින ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් විදේශීය රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරනු ලබයි.

උදාහරණ ලෙස තුර්කිය, අරාබි, එමිරේට් (ඩුබායි, අබුඩාබි), තායිලන්තය, ස්පාඤ්ඤය, බ්‍රසීලය, දකුණු කොරියාව, මැලේසියාව, කොස්ටාරිතා, මෙක්සිකෝව වැනි රටවල් දක්වාලිය හැකිය.

2017 වසර තුළදී ප්‍රතිකාර සඳහා විදේශීය රෝගීන් 495056 පමණ ඉන්දියාවට පැමිණ ඇත. වර්තමානය වන විට ඉන්දියාවේ මිලියන දෙකක පමණ රෝගීන් ප්‍රමාණයක් මඟින් ඩොලර් මිලියන 04 ක පමණ විදේශ ආදායමක් උපයා ගනී. ඇමරිකානු හෝ මහ බි්‍රතාන්‍ය පුරවැසියන් සඳහා ඉන්දියාව තුළදී ප්‍රතිකාර සඳහා වැය වනුයේ ආසන්න වශයෙන් දහයෙන් එකක මුදලක් පමණි. ඉන්දියාව තුළ ජාත්‍යන්තර කණ්ඩයේ (JCIA Certification)  අනුමත රෝහල් තිස් නවයක් පවතින අතර චෙන්නායි නගරය නම් කරනුයේ ඉන්දියාවේ සෞඛ්‍ය අගනගරය ලෙසය. එහි දෛනිකව විදේශ රෝගීන් 150 ක් පමණ ප්‍රතිකාර ලබා ගනී.

ශ්‍රී ලංකාවට දේශාටන වෛද්‍යවේදය මඟින් මුදල් ඉපැයීම කළ හැකිද?

අනිවාර්යයෙන්ම සිදු කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ලම අපේ රටෙහි පවතින අතර අපට අවශ්‍ය වනුයේ අපට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කර ගැනීම පමණි. ශ්‍රී ලංකාව යනු ලෝක සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමඛස්ථානය ගන්නා රටක් මෙන්ම ලෝකයේ උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවතින රටකි. එමෙන්ම හොඳම එන්නත්කරණ ක්‍රියාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක වේ. එය ලෝකයටම හොඳ උදාහරණයකි. කොරෝනා වසංගතය පාලනය කිරීම තුළින් ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. එමෙන්ම ප්‍රතිකාර ක්‍රම සඳහා වැයවන පිරිවැය ඉතා අඩු අතර උසස් මට්ටමේ තාක්ෂණික උපකරණ, රෝහල් සහ විදේශ රටවල පුහුණු දක්ෂ වෛද්‍යවරුන් අප රට තුළ සිටීමද තවත් එක් වාසියකි. එමෙන්ම අප සතුව පවත්නා හෙල වෙදකමෙහි අන්තර්ගත ප්‍රතිකාර ක්‍රමයන්ද ජාත්‍යන්තර සන්නාමයක් දක්වා ගෙන යා හැකිය.

එමෙන්ම රෝගියෙකු තමන්ගේ රටෙන් වෙනස් රටකට ප්‍රතිකාර සඳහා බැහැරව යෑම ඔහු ජීවිතයේ ගන්නා විශාලතම තීරණයකි. එම නිසාවෙන් විදේශ රෝගීන් හට ප්‍රතිකාර කිරීමට මත්තෙන් ඊට අවශ්‍ය මූලික වටපිටාව සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ. වර්තමානය වන විට මාලදිවයින සීසෙලිස් රාජ්‍යය වැනි රටවල් තුළින් ශ්‍රී ලංකාව තුළට විදේශීය රෝගීන් යම් ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණීම ආරම්භ කර ඇත. නමුත් එම ප්‍රමාණය තුළින් අපට සෑහීමකට පතක් විය නොහැකිය. දේශාටන වෛද්‍ය වේදය ප්‍රවර්ධනය කිරීම සඳහා අප විසින් සිදු කළ යුතු මූලික අවශ්‍යතාවන් ගණනාවක් පවතී. උදාහරණ

රාජ්‍ය හා පෞද්ගිලක අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය, සංචාරක අමාත්‍යාංශය, ආගමන විගමන වැනි රාජ්‍ය අංශයේ ආයතන කිහිපයක සම්බන්ධීකරණය ඉතා වැදගත් වේ.

නව නීති සැකසිය යුතුයි.

ජාත්‍යන්තර තත්ත්වයේ පිළිගත හැකි ප්‍රමිතිකරණයක් පවත්වා ගැනීම සඳහා නියාමනයක් සකස් කිරීම සිදු කළ යුතුය. (වර්තමානය වන විට ලංකාව තුළ ජාත්‍යන්තර තත්ත්වයේ JCIA සහතික ලබා ගත් රෝහල් 4 ක් පවතී) රෝගීන් හා ඥතීන් සඳහා විශේෂිත විසා ක්‍රමවේදයන් ස්ථාපිත කළ යුතුය. ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් රෝගීයා ඇතුළු පවුලේ පිරිසට පහසු අයුරින් සලසා දිය යුතුය. රෝගී තොරතුරු ගබඩා කිරීම, ලබා ගැනීම, ලබා දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම (Patients Portal) රෝග විනිශ්චය සහ තොරතුරු
(Diagnose Card) රෝගීයාගේ රටට අවශ්‍ය ආකෘතියට අනුව ලබා දීමට ඇති හැකියාව වැඩිදියුණු කළ යුතුය.

තාක්ෂණික ක්‍රමවේදයන් වැඩි දියුණු කළ යුතුය, විශේෂයෙන්ම Tele Medicine  වැනි ක්‍රමවේද ස්ථාපනය කිරීම සඳහා පෞද්ගලික අංශයට මංපෙත් විවර කිරීමට ඉඩ සලසා දිය යුතුය. ජාත්‍යන්තර රක්ෂණ ක්‍රම හරහා ගෙවීමෙන් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පුළුල් කිරීම සිදු කළ යුතුය.

මෙවැනි ක්‍රියාකාරකම් තුළින් වර්තමානය වන විට අප රට තුළ ඇහිරී ඇති විදේශ විනිමය නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම විශාල දැනුමක් ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයක් වෙනත් රට වලට සංක්‍රමණය කර ගැනීම අවම කර ගැනීම සඳහාද, දේශාටන වෛද්‍ය ක්‍රමවේදය විකල්ප ක්‍රමවේදයක් ලෙස භාවිත කළ හැකිය.

දේශාටන වෛද්‍යවේදය  Medical Tourism - විදේශ විනිමය  උපයාගැනීමට යොදා ගමු

වෛද්‍ය ප්‍රසාද් හේරත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
මධ්‍යම කාරක සභික,
Medical Tourism Association (Int)  – සාමාජික
සායනික සංචරණ වෛද්‍ය සංගමය – උප සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment