දේශීය ආදායම් – රේගුව සහ සුරාබදු එක් නොවීමෙන් ප්‍රකෝටි ගණනක බදු අහිමි වෙලා

216

ප්‍රධාන වශයෙන් රජයට ආදායම් රැස් කර දෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගුව යන දෙපාර්තමේන්තු සහ ඒවායේ දත්ත පද්ධති මේ දක්වා එකිනෙකට සම්බන්ධ වී නොතිබීම හේතුවෙන් කලක සිට රුපියල් ප්‍රකෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමි වී තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අදාළ අතීත වාර්තා ගෙන බැලුවහොත් මේ බව පැහැදිලිව අනාවරණය වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අදාළ ආයතන තුන තාක්‍ෂණික ක්‍රම මගින් එකිනෙකට සම්බන්ධ කරමින් රාජ්‍ය ආදායම් අධිකාරියක් පිහිටුවීමට ඉකුත් 2002-2003 වසරවලදී යෝජනා වී ඇතත් විසි වසරක් ගතවීත් එය ක්‍රියාත්මක කිරීමට පැවති රජයන් අසමත් වීම නිසා මෙවැනි අර්බුදයක් සිදුව ඇත.

ආදායම් බදු නොගෙවන ලද අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇතත් කාලයක සිට එම නඩු කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අධිකරණ නියෝගවලට පරිබාහිරව එම මුදල් අයකර ගැනීමේ හැකියාවක් නැති බව කී ඇමැතිවරයා එම මුදල් කඩිනමින් අයකර ගැනීමට නම් අණපනත් සංශෝධනය කරමින් අවශ්‍ය පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment