දේශීය ටින් මාළු කර්මාන්තය රැක ගන්න ආනයනික ටින් මාළු සෙස් බද්ද නංවන්න – ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති

72

ආනයනික ටින් මාළුවලට මුල් තැන දීම නිසා මෙරට ටින් මාළු කර්මාන්තශාලා වසා දමා ඇතැයි ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය. ටින් මාළු ආනයනය කිරීමට වාර්ෂිකව යුරෝ මිලියන 79ක් පමණ වැයවන බවද ඔහු කීය.

රජය වැට් බද්ද වැඩි කිරීමත් සමග ටින් මාළු මිල ඉහළ ගිය බවත් ඊට වඩා දේශීය ටින් මාළු කර්මාන්තයට බලපාන්නේ ආනයනික ටින් මාළු මත අයකරන වෙළෙඳ භාණ්ඩ බද්ද (සෙස්) අඩුවීම නිසා දේශීය ටින් මාළුවලට වඩා අඩුවෙන් ආනනික ටින් මාළු අලෙවි කිරීම බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා (23දා) සභාපතිවරයා පැවසීය. දැනට අයකරන රුපියල් 200ක සෙස් බද්ද රුපියල් 500 දක්වා වැඩි කළ යුතු බවද හෙතෙම පැවසීය.

මෙරට ලියාපදිංචි ටින් මාළු නිෂ්පාදකයන් 16 දෙනකු සිටින බවත්, දේශීය ටින් මාළුවලට වඩා අඩු මිලට ආනයනික ටින් මාළු වෙළෙඳපොළේ අලෙවි කිරීම නිසා දේශීය කර්මාන්තශාලා රැසක් වැසී ගොස් ඇති අතර තවත් කර්මාන්ත ශාලා කිහිපයක් වැසී යෑමට නියමිත බවත් ඔහු කීය. පවතින කර්මාන්ත ශාලා ආරක්‍ෂා කර ගැනීමට සතියට දින දෙක තුන ලෙස සේවකයන් කැඳවා කර්මාන්ත ශාලා පවත්වා ගෙන යන බව පැවසූ ඒ මහතා තම සංගමය කිසිම අවස්ථාවක ටින් මාළු ආනයනය නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත් ආනයනික ටින් මාළු සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියල් 500ක් දක්වා වැඩි කරන ලෙස පමණක් රජයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

දේශීය ටින් මාළු නිෂ්පාදනයට දේශීය ධීවරයන්ගෙන් ලින්නා මාළු මිලදී ගන්නා බවත්, ආනයනික ටින් මාළුවලට වඩා දේශීය ටින් මාළුවල ගුණාත්මකභාවය වැඩි බවත් පැවසූ සභාපතිවරයා පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ පමණක් ආනයනික ටින් මාළු කිලෝ ලක්‍ෂ 55ක් පමණ ගෙන්වා තිබූ අතර මේ වනවිට එය ලක්‍ෂ 100 දක්වා වැඩිවී ඇති බවද පැවසීය.

මෙම කර්මාන්තයෙන් පුද්ගලයන් ලක්‍ෂ 6ක් පමණ ඍජුව ද ලක්‍ෂ 12ක් පමණ වක්‍රව ද යැපෙන බවද කර්මාන්තය වැසී ගියහොත් ලේබල් මුද්‍රණ ශිල්පීන්, හිස් කෑන් නිෂ්පාදකයන්, ලුණු සැපයුම්කරුවන්, පෙට්ටි ඇසුරුම්කරුවන් ඇතුළු තවත් අංශ වැසී යන බවද එම සංගමයේ ලේකම් කපිල බාලසූරිය මහතා කියා සිටියේය.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment