දේශීය නිෂ්පාදන කර්මාන්ත  රැකගැනීමේ අභියෝගය

489

● ජීවන බර ඉහළ යාම

කොරෝනා අර්බුදය නිසා මෙන්ම රට මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකයේ සියලුම අංශ බලවත් පීඩාවට පත්ව ඇති බව රහසක් නොවේ. රටේ සියලුම දේශීය නිෂ්පාදන කර්මාන්ත ද මේ පීඩාවට ගොදුරුව සිටී. එනම් ඩොලර් ප්‍රශ්නය නිසා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ප්‍රශ්නය මෙන්ම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමේ ප්‍රශ්නය නිසා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඊට අමතරව තෙල් මිල ගණන් පසුගිය කාලයේ කිහිප විටක්ම විශාල අගයන්ගෙන් වැඩි වීම නිසා ප්‍රවාහන ගාස්තු ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. එසේ නම් ඔවුන්ට ද ඊට සාපේක්ෂව තම ව්‍යාපාර ආයතන පාඩු නොලබා පවත්වාගෙන යෑමට නම් එම නිෂ්පාදනවල කිසියම් මිල වැඩි කිරීමක් සිදු කිරීමට අනිවාර්යෙන්ම සිදු වේ. මේ තරම් උද්ධමනය සියයට සියයට 60 ද ඉක්මවා යමින් සැලකිය යුතු ලෙස වැඩි වීම නිසා මහජනයාට ද විශාල මිල පීඩනයකට මුහුණ දීමට ද සිදුව ඇත. එහෙත් ඊට සාපේක්ෂව රැකියා කරන අයගේ මාසික වැටුප් හෝ අනෙකුත් අයගේ ආදායම් මට්ටම් වැඩි වී නැත. එසේ නම් පොදුවේ ජනයාගේ ආදායම් මට්ටම් ඉතාම සීමිත වී ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ද අඩු වී ඇති බව ව්‍යාපාර ප්‍රජාව ද තේරුම් ගත යුතුය. මේ නිසා සියලුම භාණ්ඩවල විශාල මිල වැඩිවීම් හමුවේ ජනයාට ද තම සීමිත ආදායම් මට්ටම්වලට සාපේක්ෂව තම මිලදී ගැනීම් බොහෝ දුරට අත්‍යවශ්‍ය දේවලට සීමා කිරීමට සිදුව ඇත. එය මෙවැනි මොහොතක අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. එහෙත් ඇති තරම් මුදල් තිබෙන සහ තම ආදායම් මට්ටම්වලට එතරම් බලපෑමක් සිදුව නැති අයට එවැනි ප්‍රශ්නයක් නොතිබිය හැකිය.

● රුපියල පිරිහීමේ බලපෑම

අප දන්නා දෙය නම් සෑම දෙයකම මිල ගණන් කෙටි කලක් තුළ විශාල වශයෙන් වැඩි වී ඇති බවයි. එයට ජාත්‍යන්තර මිල ගණන් වැඩි වීමට අමතරව ප්‍රධාන හේතුව අපේ රුපියල විශාල වශයෙන් පිරිහීමට ලක් වීමයි. ඇමෙරිකානු ඩොලරයක අගය රු. 203 ක ස්ථාවර මට්ටමේ කෘතීම ලෙස ඉතා දිගු කාලයක් අපි පවත්වාගෙන ආවෙමු. එම කාලයේ අප තාවකාලික සතුටක් ලැබුවත් එහි විපාක වශයෙන් අපට අපගේ විදේශ සංචිත මගින් තවදුරටත් රුපියල රැක ගැනීමට තිබූ ශක්තිය ද අවම වී රුපියල පා කිරීමට මහ බැංකුවට සිදු විය. ඒ නිසා ඇමෙරිකානු ඩොලරයක අගය විශාල වශයෙන් ඉහළ ගොස් මේ වන විට රු.368ක පමණ මට්ටමේ ස්ථාවර වී ඇත. එහෙත් රු.203 සහ මේ රු.368 අතර වෙනස අනුව ලෝක මිල ගණන් වැඩි නොවුණත් අප ගෙන්වන සියලුම භාණ්ඩවල රුපියල් පිරිවැය වැඩි වේ. ඒ අනුව තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනවල පමණක් නොව මෙරට කර්මාන්තවලට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍යවල ආනයන වියදම් ද වැඩි වේ. ඒ ලෝක මිල ගණන් වැඩිවීමට අමතරවය. ඒ නිසා අපගේ දේශීය නිෂ්පාදන කර්මාන්තවලට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්ත්වය ද පැහැදිලිය.

● සමාජ මාධ්‍ය ප්‍රචාරයන්

මේ පසුබිම තුළ සියලුම භාණ්ඩ මිල ගණන් වැඩි වී තිබුණත් මේ අතරේ බිස්කට් මිල වැඩි වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ නොයෙකුත් ප්‍රචාරයන් යනු අපට දැකගත හැකි විය. ඒ අනුව බිස්කට් මිලදී නොගන්නා ලෙස හා ඒවා මිලදී ගැනීම වර්ජනය කරන ලෙසට වන සමාජ මාධ්‍ය ප්‍රචාරයන් අපට දැකගත හැකි විය. මේ කාරණය නිසාම බිස්කට් නිෂ්පාදකයන් ද නියෝජනය කරන ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය අගෝස්තු 15 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. එහිදී ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා බිස්කට් නිෂ්පාදනය ඇතුළු සිය කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න සහ නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදු වූ හේතු පැහැදිලි කළේය. මෙහිදී මූලික වශයෙන් එම සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළ අදහස නම් අමුද්‍රව්‍යවල මිල ඉහළයෑමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා නොමැති බවත්, සියයට සියයක් දේශීය ව්‍යවසායකයින්ගෙන් සමන්විත සිය කර්මාන්තය තුළ මිල ඉහළ දැමීම් සිදු කර ඇත්තේ ලාභය ඉතා අවම වන ආකාරයට බවත්ය.

● අමුද්‍රව්‍ය මිල ඉහළ යාම

පසුගිය කාලයේදි බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවද රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මේ කියන බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධානම අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි කිලෝවක මිල රු. 77 සිට රු. 290 දක්වා සියයට 277කින් ද, සීනි කිලෝවක මිල රු. 114 සිට රු. 320 දක්වා සියයට 180කින්ද, එළවළු තෙල් මිල රු. 475 සිට රු. 1400 දක්වා සියයට 195කින්ද ඉහළ ගොස් තිබෙන බව එම සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළේය. එහෙත් එයට සාපේක්ෂව බිස්කට් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් සියයේ සිට රු. 271 දක්වා සියයට 171කින් පමණක් බවද ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.

රටේ ඩොලර් අර්බුදයක් ඇතිව තිබෙන අවස්ථාවකදීත්, දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගන්නා අතරවාරයේදී අපනයන වෙළෙඳපොළ සඳහා ද නිෂ්පාදන යොමු කරමින් රටට ඩොලර් ගෙන ඒමට මේ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයට සම්බන්ධ දේශීය කර්මාන්තකරුවන් කටයුතු කරයි. මේ වන විට සංගමයේ සාමාජික ආයතනවල නිෂ්පාදන රටවල් පනහකට අපනයනය කරන අතර එමගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 150ක පමණ විනිමය ආදායමක් රටට ලබාදෙන බව ද එම කර්මාන්තකරුවෝ ප්‍රකාශ කරති. වසරක් වැනි කාලයක් තුළ මෙලෙස අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමඟ ඊට සාපේක්ෂව යම් මුදලකින් බිස්කට් නිෂ්පාදනයන්හි මිල වැඩි කිරීමක් සිදුකළ අතර ඇතැම් පිරිසක් එය හුවා දක්වමින් සිය නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ප්‍රචාරණයන් සිදුකරමින් සිටින බවත් පාරිභෝගිකයන් එලෙස නිෂ්පාදන මිලදී නොගතහොත් කර්මාන්තශාලා වැසී යෑමේ තත්ත්වයක් ඇති විය හැකි බවත් එම සංගමය කියයි.

● කර්මාන්තකරුවන්ට  ඇතිවෙන බලපෑම

දේශීය නිෂ්පාදන කර්මාන්ත  රැකගැනීමේ අභියෝගය

මේ සමාජ මාධ්‍ය ප්‍රචාර හමුවේ මේ නිෂ්පාදකයන්ට යම් බලපෑමක් ඇති විය හැකිය. එනම් බිස්කට් ඇතුළු නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම යම් මට්ටමකින් අඩු විය හැකිය. ඒ අතරම පාරිභෝගික ජනයාට බිස්කට් පමණක් නොව මිල වැඩිවීම් හමුවේ සිය මිලදී ගැනීමේ හැකියාව අඩු වී ඇති නිසා අත්‍යවශ්‍ය නොවන දේ පමණක් නොව ඇතැම් විට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගැනීම සීමා කිරීමට සිදුව තිබේ. එම හේතු නිසා ඉල්ලුම අඩු වීම හරහා රසකැවිලි නිෂ්පාදකයන්ට පමණක් නොව සියලුම කර්මාන්තකරුවන්ට බලපෑමක් තිබේ. මේ හමුවේ තම කර්මාන්තශාලා වැසී ගියහොත් එහි සේවයේ යෙදෙන සෘජු රැකියා 50000ක් හා වක්‍ර රැකියා ලක්ෂ පහක් පමණ නැතිවී යා හැකි බව පවසන එම සංගමය ඉන් එම සේවකයන් පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන්ද අසරණ තත්ත්වයකට පත්වන බව සඳහන් කරයි. ලංකාවේ සිල්ලර වෙළෙඳසල් එක්ලක්ෂ පනස්දහසක වෙළෙඳාමෙන් සියයට 15ත් 20ත් අතර ආදායම ලබාදෙන්නේ රස කැවිලි නිෂ්පාදන මගින් බවද ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙයි. ඒ අතරම රසකැවිලි නිෂ්පාදන ආයතන විසින් වසරකට විශාල බදු මුදලක් ද රජයට ගෙවනු ලබයි. මේ වන විට 20000කට වැඩි ගොවීන් පිරිසක් දේශීය රසකැවිලි නිෂ්පාදකයන් සමඟ සෘජුවම සම්බන්ධ වී ඔවුන්ගේ නිෂ්පාදන ලබාදෙයි. යම් හෙයකින් මෙම කර්මාන්තයට බලපෑමක් එල්ල වුණහොත් ඔවුන්ට ද සිය නිෂ්පාදන විකුණා ගැනීමට අපහසු තත්ත්වයක් උදා වේ. පසුගිය කාලයේ පැතිරී ගිය කොරෝනා වසංගතය හා වර්තමානයෙහි රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය යන දෙකම නිසා මේ කර්මාන්තවලට පීඩනයක් එල්ල වී ඇත. මේ කියන අමුද්‍රව්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබියදීත් අනෙක් ආහාර ද්‍රව්‍යවලට සාපේක්ෂව බිස්කට් මිල හැකිතාක් අඩුවෙන් පවත්වාගෙන යෑමට තම කර්මාන්තකරුවන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් එම සංගමය පවසයි.

● රජයෙන් කරන ඉල්ලීම

මේ පසුබිම තුළ ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් මෙවැනි ඉල්ලීමක් කරයි.

‘අප සංගමයත් එක්ක දේශීය නිෂ්පාදකයන් 30 දෙනෙක් පමණ ඉන්නවා. මෙහි කර්මාන්තවල නියැළි සිටින හිමිකරුවන් සියයට සියයක්ම දේශීය හිමිකරුවන්. ඒ නිසා මෙහි එක සතයක් විදේශවලට ඇදී යන්නේ නැහැ. අපි කිසිම වෙලාවක අපේ පාරිභෝගිකයට අසාධාරණයක් වෙන විදියට වැඩ කරලා නැහැ. කොරෝනා වසංගතය කාලයේදී අපි එහි පීඩනය දරාගෙන කිසිදු මුදලක් වැඩි නොකර අපේ නිෂ්පාදන පාරිභෝගිකයට ලබාදුන්නා. එහෙත් මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක එහි පීඩනය, බලපෑම අපිට තදින් දැනුනා. ඒ නිසා අපිට අවශ්‍ය වුණේ මෙම කර්මාන්ත වසා දමන්නේ නැතුව කොහොම හරි පවත්වා ගෙන යන්න. ඒ නිසයි යම් මුදලක් වැඩි කළේ. එහෙත් කිසිම වෙලාවක අසාධාරණ ලෙස අපි මිල වැඩි කිරීම් කරලා නැහැ. ඇතැම් පිරිසක් මෙම කර්මාන්තය බිඳ වැට්ටීමේ අරමුණින් තමයි මෙවැනි අසත්‍ය ප්‍රචාර

ගෙනියන්නේ. එම නිසා අප ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, මුදල් ඇමැතිවරයාගෙන් වගේම අනෙක් සියලුම ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කර්මාන්ත කඩාවැටීමට ඉඩ නොදී පවත්වා ගෙන යෑමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි.

මෙය සියලුම පාරිභෝගික ජනයාට ද අමාරු කාලයක් වන නිසා ඔවුන්ගේ පැත්තෙන් ද සිතමින් අවම ලාභයක් ලබමින් හෝ මේ අමාරු මොහොතේ මිල වැඩි කිරීම් අවම ලෙස කිරීමට පියවරගත යුතුව ද තිබේ.

● සේවා අපනයන ආදායම්

පසුගිය කාලයේ සේවා අපනයන ආදායම් ද බැංකු විසින් බලෙන්ම රුපියල් බවට පරිවර්තනය කර ඒ විදේශ විනිමය ප්‍රමාණය ලබා ගන්නා බව අපට ද බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ කරුණකි. මහ බැංකුවේ උපදෙස් අනුව මෙය කරන බවට බැංකු විසින් මේ ගැන විමසූ අයට පිළිතුරු ලෙස දැනුම් දී තිබිණි. මේ නිසා විදේශයකට යම් සේවයක් සපයා විදේශ විනිමය ආදායමක් උපයන අය පවා අසතුටට පත්ව සිටියහ. මේ අතර 2022 අගෝස්තු 12 වැනි දින සිට හෝ ඉන් පසු ව ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ මෙම අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කළ බව මහ බැංකුව ඉකුත් අගෝස්තු 16 වැනිදා නිවේදනය කළේය. සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද එම අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. මේ අනුව සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකිය. එහෙත් සේවාව ලබාදුන් දින සිට දින 180 ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව තවදුරටත් නොවෙනස්ව පවතී.

බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව මේ වසරේ :2022) පළමු මාස හයේ දී සේවා අපනයන ලැබීම් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ඇත. මේ සමග සේවා අපනයනකරුවන් සිය අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමට උනන්දු වනු ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් පොදුවේ අපනයන ඉපැයීම් දින 180ක් තුළ මෙරටට ගෙන ඒමේ අනිවාර්ය අවශ්‍යතාව අනුව තම සියලු අපනයන ඉපැයීම් මේ අමාරු මොහොතේ මෙරටට ගෙන්වා ගැනීම ඉතාම අවශ්‍ය කරුණකි. මේ සම්බන්ධයෙන් සියලු ම අපනයනකරුවන් දිරිමත් කරන බවත් මහ බැංකුව විසින් අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් විසින් අදාළ අවශ්‍යතාව සමඟ අනුකූල වීම අධීක්ෂණය කිරීමේ කටයුතු තීව්‍ර කර ඇති බවත් මහ බැංකුව පවසයි. මේ අනුව ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයට රට මුහුණ දී සිටින බැවින් අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගනිමින් තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන රටට

ගෙන්වා ගැනීමේ රජයේ සහ මහ බැංකුවේ උත්සාහයට සහාය වීම ද අපනයනකරුවන්ගේ යුතුකමකි. එහෙත් එසේ විදේශ විනිමය වැයකර අමාරුවෙන් රටට ගේන තෙල්වලින් මැති ඇමැතිවරුන්ගේ ඉන්ධන දීමනා වැඩි කරන්නේ නම් එයද අපට අනුමත කළ නොහැකිය. මේ නිසා සීමිත විදේශ විනිමය යොදවා රටට අත්‍යවශ්‍ය ආනයන පමණක් ගෙනෙන බවට සහතික වීම ද ප්‍රමාණවත් නැත. ඒවා සාධාරණ ලෙස බෙදා හරින ක්‍රමවේදයන් හඳුන්වා දීම ද අත්‍යවශ්‍ය වේ. ඉන්ධන බෙදීමට කිව්ආර් කේතය හඳුන්වා දීමට පෙර පැවැති අප්‍රසන්න තත්ත්වය නැවත අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment