දෛනික ආසාදිතයන් දහස පැනීමෙන් සමාජයේ කොවිඞ්  ශීඝ‍්‍රයෙන් පැතිරෙනවා – සෞඛ්‍ය අංශ කියයි

134

මේ දිනවල දිනකට සිදු කෙරෙන පීසීආර් හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000ත් 12,000ත් අතර සංඛ්‍යාව හරහා කොරෝනා ආසාදිතයන් 1000කට අධික පිරිසක්  හඳුනාගැනීම මගින් කොරෝනා ආසාදනය සමාජය තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යන බව තහවුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය සියයට 2.52ක් වශයෙන් පවතින අතර එය ගෝලීය කොරෝනා මරණ අනුපාතයට වඩා මෙන්ම අසල්වැසි ඉන්දියාවේ කොරෝනා මරණ අනුපාතයට වඩා වැඩි බව එම අංශ පෙන්වා දෙයි. මේ වන විට ගෝලීය කොරෝනා මරණ අනුපාතය සියයට 1.42ක් වන අතර ඉන්දියාවේ කොරෝනා මරණ අනුපාතය සියයට 1.19ක් වේ. මෙරටින් දැනට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනුව ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 29,136ක් වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව 733ක් බව වාර්තා වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැතිර යෑමත් සමගම මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව ද වැඩි වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය මත ඉදිරියේදී ඔමික්‍රෝන් වසංගත රැල්ලක් මතුවීම වැළැක්වීමට ජනතාව කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දැඩි සේ පිළිපැදීමට පියවර ගත යුතු යුතු බව ද වෛද්‍ය හේරත් මහතා කීවේය.

මුහුණු ආවරණ (මාස්ක්) හොඳින් නාසය හා මුඛය ආවරණය වන පරිදි නොපැළඳීම අනවශ්‍ය ලෙස ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය අඩුවීම යන කරුණු ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමට හේතු වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපැදීම මෙන්ම වියපත් පුද්ගලයන්ගේ සංචරණ කටයුතු සීමා කිරීමත්, මෙතෙක් කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පිරිස් එම එන්නත් නොපමාව ලබාගැනීමට කටයුතු කිරීමත් අනිවාර්යයෙන් සිදු කළ යුතු බව අවධාරණය කළේය. කොරෝනා එන්නත් ලබා ගත් අය මෙන්ම එන්නත් ලබා නොගත් අයද කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපැදීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment