දොස්තර තමයි ඒත් සැත්කම්වලට බයයි

1188

මෙම අපූර්ව ජීවිත අත්දැකීම ඔබට ඉදිරිපත් කරන ඒ. ජේ. ක්‍රොනින් ස්කොට්ලන්ත ජාතික දක්‍ෂ වෛද්‍යවරයෙකි. එරට සුප්‍රකට ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිධරයකු වූ මෙම වෛද්‍යවරයා වඩාත් ප්‍රසිද්ධියට පත් වූවේ කෘතහස්ත ලේඛකයකු වශයෙනි. ඔහු තම වෛද්‍ය වෘත්තියේ සුවිශේෂී අත්දැකීමක් සිය පාඨකයාට ඉදිරිපත් කළේ මේ අයුරිනි.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස ඒ.ජේ. ක්‍රොනින්, අදක්‍ෂයකු නොවූවද ඒ වන විට ඔහුට සේවය කරන්නට සිදු වී තිබුණේ ඉතා සුළු දෙයකටත් යකෙකු මෙන් කඩා පනින ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු යටතේ ය. සියල්ල නූලටම විය යුතු යයි ඇදහු ලොක්කා දැඩි කැපවීමෙන් තම රාජකාරියේ නිරත වූ අයකු වුවද, හිටිවන ම පරල වීම ද සිරිතක් කොට ගෙන තිබූ හෙයින්, ක්‍රොනින් ඇතුළු සහායකයින් කුණු බැණුම්වලට ලක් වූ වාර අනන්තය. ලොක්කාගේ කෝපය ක්‍රොනින් වෙත එල්ල වුණු සෑම විටකම සිය බැණුම් අවසන් කරනු ලැබුවේ “තමුසේ කවදාවත් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙයි කියල නම් හිතන්න එපා!” යයි පවසමිනි. ලොක්කාගේ කෝපය සහ ඇණුම් බැණුම්වලට වඩා ක්‍රොනින්ගේ හිත වඩාත් වේදනාවට පත් කළ වචන කීපය බවට පත් වූවේ එම ප්‍රකාශයයි.

වෛද්‍ය වෘත්තියෙන් සාර්ථක කඩ ඉමකට ළඟා වීමේ බලාපොරොත්තුව මෙන් ම, ඒ වන විට තමන්ට බලපා තිබූ ආර්ථීක අගහිඟකම්වලට පිළියමක් වශයෙන්, මෙම ශල්‍ය වෛද්‍යවරයාගේ සහයකු ලෙස කටයුතු කළද, ලොක්කාගේ ඒ වදන් කීපය දිනක් පාසාම ඔහුගේ මනසට වධ දෙමින් දැඩි බලපෑමක් එල්ල කරන්නට පටන් ගෙන තිබුණේය. එය කොතෙක් දැඩි ලෙස ඔහුට බලපෑවාද කියනවා නම්, සාර්ථක ලෙස වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වුවද, ඔහුට තමා අසමත් පුද්ගලයකුය යන හැඟීමෙන් ගැලවෙන්නට හැකියාවක් නොවීය.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය වුවහොත් සැත්කම් කිරීම සඳහා ද අවසර ලැබී තිබූ නමුත්, ක්‍රොනින් හිතාමතා ම ඒ කාරණය මග හැරියේය. තමාට කිසි දිනක ශල්‍ය වෛද්‍යවරයෙකු විය නොහැකි බවට ලොක්කා පැවසූ අනාවැකිය ඔහු ලැබූ සියලු සහතිකවලට වඩා සිය හදවතේ ගැඹුරට කා වැදී තිබුණේ ය.

මේ නිසා ක්‍රොනින් උණකට බඩේ ගායකට බෙහෙතක් දෙන දොස්තර මහතකුගේ තත්ත්වයට වැටී එකම තැන රැඳී සිටින්නෙකුගේ තත්ත්වයට පත් විය. සැත්කමකට අත ගසනු සඳහා කිසිදු දිරියක්ද ඔහු තුළ ඉතිරිව තිබුණේ නැත.

නමුත් වාසනාවකට හෝ අවාසනාවකට හෝ ඔහුට සිය පත්වීමට අනුව මේ දිනවල සේවය කරන්නට සිදුවී තිබුණේ අගනුවරින් ඉතා දුර බැහැර පිටිසර රෝහලකය. එහි සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණක් විය. ප්‍රදේශයේ ජනතාව නිශ්ශබ්ද ජන කොටසක් වූ අතර, ඔව්හු යහපත් ගතිගුණවලින් යුක්ත වූහ. සැත්කම්වලට අත නොගැසුව ද, ප්‍රදේශයේ පාසල් දරුවන්ට වැළඳුණු ගලපටල රෝගයට සාර්ථකව ප්‍රතිකාර කිරීම හේතු කොට ගෙන යම් කීර්තියක් අත්කර ගැනීමේ වාසනාවට ද ක්‍රොනින්ට මෙහිදී උදාවී තිබිණි. එහෙත් රෝගියකුට සැත්කමක් අවශ්‍ය වූ විට නම් ඒ කටයුත්ත ඉටුකර දුන්නේ වෙනත් නගරයක සිටි හිතවත් ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ගැනීමෙනි. එම වෛද්‍යවරයා මෙම රෝහලට පැමිණියේ පැය දෙකක දුම්රිය ගමනකින් අනතුරුවය.

නමුත් ඊළඟට එළඹුණු ශීතල දෙසැම්බරයේ දී රෝගියකුගෙන් ඔහුට එල්ල කෙරුණේ ගැලවිය නොහැකි අභියෝගයකි. ඒ රෝහලට සැතපුම් තුනක් ඈතින් වූ ගම්මානයකිනි. පණිවිඩය රැගෙන ආ කොලු ගැටයා පැවසූ පරිදි ගසක් කැපීමට ගිය එක්තරා තරුණයෙකු එම ගසටම යටවීම නිසා තුවාල ලබා තිබේ. රෝගියාගේ නම හැරෙන්නට තුවාලය පිළිබඳව හෝ ලෙඩාගේ තත්ත්වය ගැන කීමට තරම් දැනුමක් පණිවිඩය රැගෙන ආ ළමයාට තිබුණේ නැත. නමුත් ජනප්‍රිය පුද්ගලයකු වූ රොබින් නමැති ඒ තරුණ හාදයා ගැන වෛද්‍ය ක්‍රොනින් දැන සිටියේ ය. මේ වන විට ස්වභාව ධර්මය ද තම අභියෝගය ක්‍රොනින් වෙත එල්ල කර තිබුණේ යා යුතු මං පෙතද හිම කැටිතිවලින් පුරවා දැමීමෙනි. හිම නිසා රථයකින් යා නොහැකි වූ ඒ මාවතෙහි ඔහු පැයක් තිස්සේ පයින් ගමන් කරමින් රෝගියාගේ නිවසට ළඟා වූයේය. ගුදිරියක් මත වැතිර සිටි තරුණයාගේ සිහි විසඥව ගොසිනි. ඔහු ඉතා අසීරුවෙන් හුස්ම ඉහළ පහළ ගනිමින් සිටියි. රෝගියා දෙස බැලූ සැනින් ක්‍රොනින්ට පෙනී ගියේ ඉළ ඇට කීපයක් බිඳී ඇති බව ය. මේ අනුව ඉතා ඉක්මනින් ඔහුට සැත්කමක් කළ යුතු විය. නමුත් ඒ සඳහා තමා තුළ ආත්ම විශ්වාසයක් නොමැතිකම ඔහු තුළ මහත් කනස්සල්ලක් සහ කම්පනයක් ඇති කළේ ය. එය අනෙක් පිරිසටත් දැනුණේ ද කියා ඔහු තුළ ලැජ්ජාවක් ද ඇති විය.

නමුත් වෛද්‍යවරයකු සතු විය යුතු ස්ථානෝචිත ප්‍රඥාාවෙන් කටයුතු කළ හෙතෙම බ්ලැන්කැට්ටුවක ඔතන ලද රෝගියා හිම යානයක පටවා වහාම තම රෝහල වෙත යවන ලදි. ඉන් අනතුරුව ඔහු වහාම ක්‍රියාත්මක වූවේ දුරකථන ඇමතුමක් ගැනීමට ය.

රෝගියාගේ තත්ත්වය බරපතල බැවින් ද, ඔහු හැම විටම කළ පරිදි ද, ග්ලාස්ගෝ නගරයේ පිහිටි වික්ටෝරියා රෝහලින් පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක් කැඳවා ගැනීම ඔහුගේ අභිලාෂය විය. එහෙත් දුරකථන හුවමාරු කටයුතු කරන්නිය පැවැසුවේ පැවැති හිම කුණාටුව හේතු කොට ගෙන ද දුරකථන මාර්ග ක්‍රියා විරහිතව ඇති බවයි. එහෙත් රෝගියාගේ තත්ත්වය පැහැදිලි කළ පසු ඇය එක් විකල්පයක් පෙන්වා දුන්නා ය. එය නම් සැතැපුම් දොළහකට ඔබ්බෙන් වූ දුම්රිය පොළෙහි ස්ථානාධිපතිවරයා හමුවී රෝහල වෙත ටෙලිග්‍රාෆ් පණිවිඩයක් යවන ලෙසය.

නමුත් එහි ළඟා වූ වෛද්‍යවරයාට දැන ගන්නට ලැබුණේ පවතින කාලගුණ තත්ත්වය හේතුකොට ගෙන ටෙලිග්‍රාෆ් පණිවිඩ මාර්ග ද අක්‍රියව ඇති බවය. ඒ හේතුකොටගෙන දුම්රිය ගමනාගමනය ද නැවතී තිබූ බැවින් වෛද්‍ය ක්‍රොනින්ට සිදුවූයේ හුදෙකලා ග්‍රහ ලොවක අතරමං වූ තත්ත්වයකට මුහුණ දෙන්නටය.

තමාගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගිය ආකාරය ගැන ඔහු රෝගියාගේ පවුලේ උදවියටත්, නෑදෑ හිතවතුන්ටත් ඉතා කාරුණිකව විස්තර කර දුන්නේ ය. ඔහු ඒ පිරිසට හැඟවූවේ මෙම අභියෝගය ඉදිරියේ දැන් අප සියල්ලන්ම අසරණව සිටින බවය.

මොහොතකට සියල්ලන් තුළම දැඩි නිහඬතාවයක් පැතිර ගියේය.

ඉක්බිති රෝගී තරුණයාගේ පියා ඇදහිය නොහැකි තරම් සන්සුන් කට හඬකින් මෙසේ කීවේය.

“දොස්තර මහත්මයා දැන් ඔබතුමාට පුළුවන් දෙයක් කරල බලන්න.”

හෙතෙම වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

එය ක්‍රොනින්ව තැති ගන්වන සුළු ඉල්ලීමක් වූයේය. සාමාන්‍ය සැත්කමක් කිරීමට පවා ආත්ම විශ්වාසයක් නොමැති ඔහු ඉදිරියේ ඇත්තේ බරපතල අභියෝගයකි. නමුත් මෙතැන එම අභියෝගය ජය ගැනීමට එහා දෙයක් ද විය. එය නම් ගෙවී යන මිනිත්තුවක් පාසා අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන මෙම තරුණයාගේ වටිනා ජීවිතය බේරා ගැනීමය.

ඒ ජීවිතය රැකදීමේ එකම බලාපොරොත්තුව බවට ඉතිරිව තිබුණේ හරියට හෝ වැරදියට හෝ සිදුවිය යුතු වෛද්‍ය ක්‍රොනින්ගේ සැත්කමයි.

වෛද්‍ය ක්‍රොනින් හැඟුම්බර මුහුණින් යුතුව රෝගී තරුණයාගේ පවුලේ සාමාජිකයින් දෙස නෙත් යොමු කළේ ය. තරුණ බිරිය හඬමින් සිටින්නී ය. මව හා පියා ශෝකබරිත මුහුණුවලින් යුතුව වෛද්‍යවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින්නෝ ය. ඔවුනට ඇති එකම බලාපොරොත්තුව “තමා පමණක් නොවේ දැ”යි යන සිතුවිල්ල වෛද්‍ය ක්‍රොනින් තුළ බරපතල හැඟීමක් ඇති කළේ ය.

තවත් මොහොතක් තුළ ඔහු සැත්කමට අත ගැසීමට තීරණය කළේ ය. ඒ වන විට සූදානම් කර තිබූ ශල්‍යාගාරය තුළට ඔහු අධිෂ්ඨානශීලීව පිය මැන්නේය.

වෛද්‍යවරයාට වඩා වයසින් මෙන් ම අත්දැකීම් හා පළපුරුද්දෙන් වැඩිමහල් වූ හෙදි සොහොයුරියක ද ඔහුගේ සහයට ඉදිරිපත් වූවා ය.

රෝගියා සැත්කම් මේසය මත තබත්ම ඔහුට දැනුණේ තමාගේ සියලු පරාජිත හැඟුම් පලවා හරිමින් සිරුර අභ්‍යන්තරයෙන් මහා ශක්තියක් පැන නඟින බව ය. “කිසිසේත් ම පරාජිත නොවන්නෙමි” යන දැඩි හැඟීමක් හදවතෙහි පැලපදියම් වන්නට විය. ශල්‍ය වෛද්‍ය සහායකයකු ලෙස කලක් මුළුල්ලේ තමා ලැබූ අත්දැකීම් ද වෛද්‍යවරයකු ලෙස ලැබූ අධ්‍යයනයන්ගෙන් ද ඔහුගේ මොළය පිරී ඉතිරී ගොස්, දෑතේ ඇඟිලිවලට අණ දෙන්නට පටන් ගත්තේ ය. එතැන් සිට ඉතා සියුම් ලෙසත්, ක්‍රමානුකූල ලෙසත් සැත්කම ආරම්භ විය.

තරුණයාගේ සිරුරේ තැලී පොඩි වූ මාංශ පේශීන් ඔහු අතින් ඉතා හුරු පුරුදු අයුරින් යථා තත්ත්වයට පත්වූ අතර, කැඩී බිඳී ගිය අස්ථී කොටස් තම දෑතින් නිවැරදිව එක්ලස් කෙරුණේ ඔහුට තමා ගැනම පුදුමයක් ජනිත කරවමිනි. දෙපැයකට ආසන්න වෙහෙසකර කාල පරිච්ඡේදයකින් අනතුරුව සැත්කම නිමවූවේ ඉතා පැහැදිලි රෝගියා සුවපත් වන බවට කාගේත් සිත් සතන් තුළ බලාපොරොත්තුවක් සතුටක් ඇති කරවමිනි. රෝගියා ක්‍රමවත්ව ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ආරම්භ කළ අතර, අතපය සොලවන්නටද පටන් ගත්තේ ය. පාන් කියා ගන්නට බැරි තරම් වෙහෙසට පත්ව සිටිය ද සැත්කමේ සාර්ථකත්වයත් සමඟ ම වඩාත් ප්‍රාණවත්ව සිටියේ වෛද්‍ය ක්‍රොනින්ස් ය. ඇති වූ සතුට නිසා උස් හඬින් කෑ ගසන්නට ඇති වූ උවමනාව ආයාසයෙන් යටපත් කර ගත් හෙතෙම රෝගියාගේ සිරුරේ කැඩී බිඳී ගිය තැන්වලට මනාව ප්ලාස්ටර් දමා ඔහු වාට්ටුවේ ඇඳක සතප්පවන ලදි. උණුසුම් හදවතින් යුතුව තරුණයාගේ පවුලේ ඥාතීන් වෙත පිය නැඟූ වෛද්‍ය ක්‍රොනින් ඔහු සුවපත් වන බවට තිර හඬකින් පවසන්නට සමත් වූවේ ය. සැත්කම නිසා මරණින් ගැලවුණු රෝගියා තෙමසකට පසු පූර්ණ ලෙස සුවපත් ව රෝහලෙන් පිටව ගියේ ය. ඒ සමඟ ම වෛද්‍ය ක්‍රොනින් තුළ සැත්කම් අරබයා තිබූ සියලු සැක සංකාවන්ද යළි නොඑන්නටම පලා ගියේ ය.

එදා සිට සිය ජීවිතයේ කිසි දිනක “මට එය කළ නොහැකිය” යන්න ඔහුගේ මුවින් පිට වූවේ නැත. ඒ වෙනුවට ඔහුගේ එකම ආදර්ශ පාඨය වූවේ “පුළුවන් දෙය පුළුවන් තරම් හොඳින්” යන්න ය.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment