දෝනිලා සිව්වැනි වරටත් අයි.පී.එල්. ශූරතාව දිනති

235

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ශූරතාව සිව්වැනි වරටත් තමන් සතු කර ගැනීමට එම්. එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. එ් අවසන් මහා තරගයේදී ඔයින් මෝගන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමිනි.

ඩුබාහිදී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිතිකරුවෝ පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූහ. ඒ අනුව වසර හතකට පසු අයි.පී.එල්. ශූරතාවක් සොයා ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 165කට සීමා විය.

මෙවර අයි.පී.එල්. ශුරයන් බවට පත්වූ චෙන්නායි කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් හිමි වූ අතර අනුශූරතාව දිනු කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මුදලක් හිමිවිය. අවසන් මහා තරගයේදී ලකුුණු 86ක් වාර්තා කළ චෙන්නායි පිතිකරු ෆෆ් ඩුප්ලෙසිස් තරගයේ වීරයා සම්මානයෙන් පිදූ ලැබූ අතර ඔහුට මුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් හිමිවිය. තරගාවලිය පුරා වැඩිම ලකුණු ලාභියා (ලකුණු 653) බවට පත්වූ චෙන්නායි පිතිකරු රුට්රාජ් ගයික්වඞ්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ (කඩුලූ 32) බැංගලෝර් කණ්ඩායමේ හරෂාල් පටේල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමිවිය.

ලකුණු සටහන

චෙන්නායි සුපර් කිංගස් 192/03 (ෆෆ් ඩුප්ලෙසිස් 86, මොයින් අලි (නොදැවී) 37, රුට්රාජ් ගයික්වඞ් 32, රොබින් උත්තාපා 31, සුනිල් නාරායන් 26/2)

කොල්කටා නයිට් රයිඩර්ස් 165/8 (සුබම් ගිල් 51, වෙන්කටෙස් අයියර් 50, ෂාදුර් ඨාකූර් 38/3, ජෝෂප් හෂල්වුඞ් 2/29, රවින්ද්‍ර ජඬේජා 2/37)

advertistmentadvertistment
advertistmentadvertistment