‘ද නිව්ස් පේපර්’ අමෙරිකාවේදී දිවයිනට යසස ගෙනෙයි

1060

ඇමෙරිකාවේ සැන්ටාබාබරාහි 12 වැනිදා අවසන්වූ පළමු ‘සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල’ (Ceylon International Film Festival) හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5 ක් හිමිකර ගනිමින් එම කිරුළ හිමිකර ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පීන් වන සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්‍ෂණය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය සමත්විය.

මෙම උළෙල කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි Lobero තියටර්හිදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලාංකීය චිත්‍රපට 6 ක් අනෙකුත් රටවල් සමඟ තරග වැදුනි.

මෙහිදී වෘතාන්ත හොඳම චිත්‍රපටය (Gr and Prix for Best Picture) කිරුළ හිමිකර ගැනීමට ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමත්විය. එහි දෙවන හොඳම චිත්‍රපටය ලෙස (Grand Prix Runnerup) ‘සුනාමි’ චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සම්මාන ලැබුවාය.

සම්මාන 8 කට නිර්දේශ වූ ‘ ද නිවුස්පේපර්’ චිත්‍රපටය සම්මාන 5 ක් හිමිකර ගැනීම විශේෂත්වයකි.

ඒ අනුව හොඳම අධ්‍යක්‍ෂණය ලෙස කුමාර තිරිමාදුර හා සරත් කොතලාවලත්, හොඳම නළුවා ලෙස සරත් කොතලාවලත් හොඳම සහය නළුවා ලෙස කුමාර තිරිමාදුරත් හොඳම සංගීත අධ්‍යක්‍ෂණය ලෙස ගයාත්‍රි කේමදාස්ත් සම්මානයට පාත්‍ර වූහ.

‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටයේ අධක්‍ෂණය වෙනුවන් මීට පෙර ලන්ඩනයේ 23 වැනි රේන්බෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී කුමාර තිරිමාදුර හා සරත් කොතලාවලට සම්මාන හිමිවූ අතර මෙවරද පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේද මේ දෙදෙනා හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකර ගැනීම විශේෂත්වයක් විය. ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ඉන්දියාවේ ‘බෙංගලූරු අන්තර් ජාතික සිනමා උළෙලේ’ හොඳම ආසියානු චිත්‍රපටය හිමි දෙවැනි සම්මානයද හිමිකර ගැනීමට මීට පෙර සමත්විය.

මෙම චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස නිරංජනී ෂන්මුගරාජා (සුනාමි), හොඳම තිර රචනය ලෙස ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප), හොඳම කැමරා අධ්‍යක්‍ෂණය ලෙස ප්‍රභාත් රෝෂණ (ඝරසරප) හොඳම සංස්කාරක ලෙස අජිත් රාමනායක (සුනාමි) හොඳම සහය නිළිය ලෙස හිමාලි සයුරංගි (සුනාමි) හොඳම නැගී එන නළුවා/නිළිය ලෙස මදාරා ජයසේන (ද ලෙටර්) සම්මානයට පාත්‍ර වූහ.

මෙහි කෙටි හා වාර්තා චිත්‍රපට තරග අංශ යටතේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ශ්‍රී ලංකාවේ මාධව තිරිමාන්නගේ Alone කෙටි චිත්‍රපටය සම්මානය හිමිකර ගැනීමද විශේෂත්වයකි. හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස මෙක්සිකෝවේ ITCHO: The Deep of the Earth හොඳම වාර්තා චිත්‍රපටය ලෙස බල්ගේරියාවේ Antartica ද සම්මාන හිමිකරගත් අතර උළෙලේ විශේෂ ඇගයීම් සම්මානය රේණුකා බාලසූරිය මහත්මියට හිමිවිය.

පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියේ සභාපති ලෙස ප්‍රංශයේ මාර්ක් හැරීටන් මහතා කටයුතු කළ අතර සෙසු ජූරි සාමාජිකාවන් ලෙස ඇමෙරිකාවේ ප්‍රංශයේ චීනයේ හා කැනඩාවේ සිනමාව පිළිබඳ ඉහළ සුදුසුකම් ලත් අය එක්වූහ.

සම්මානයට පාත්‍රවූ කුමාර තිරිමාදුර උපාලි පුවත්පත් සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා ‘දිවයින’ හා ඉරිදා දිවයින සංග්‍රහයේ ‘මීවිත’ ලේඛකයකු වශයෙන්ද කටයුතු කොට වේදිකාවත් පුංචි තිරයත්, සිනමාවත් තුළ සිය ප්‍රතිභාව අද අපේ ජාතික කලාවට මුසුකරමින් සිටින්නෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment