‘ද ෆිනෑන්ස්’ ආයෝජකයාගේ කකුලෙන් අදින කුමන්ත්‍රණයක්

210

ගජමිතුරන්ට දේපොළ දෙන්න හදනවා – තැන්පත්කරුවන්ගේ එකමුතුවේ ලේකම්

මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින ද ෆීනෑන්ස් ආයතනය පවත්වාගෙන යෑමට ආයෝජකයකු ඉදිරිපත්වී සිටියත් ඔහුට එම අවස්ථාව නොදී එහි කෝටි ගණන් වටිනා දේපළ තම හිතවතුන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් දියත්වී ඇතැයි අගතියටපත් ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ එකමුතුවේ ලේකම් අයි.ඩී. කේ. ශාන්ත මහතා ඊයේ (08දා) පැවසීය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා දැනට එංගලන්තයේ මූල්‍ය ආයතනයක වසර 25 ක අත්දැකීම් ඇති ව්‍යාපාරිකයා ද ෆිනෑන්ස් සමාගම මිලදී ගෙන තැන්පත්කරුවන්ට වාසි සහගත ලෙස පවත්වාගෙන යෑමට එකඟවී ඇතත් මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ඔහුට එම අවස්ථාව නොදී ද ෆිනෑන්ස් ආයතනය ඈවර කර එහි දේපළ තම ගජමිතුරන්ට ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව සකස් කරමින් සිටින බවද ශාන්ත මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ද ෆිනෑන්ස් සමාගම සතුව රුපියල් බිලියන 08 ක වත්කම් පවතින බවත් ආයෝජකයා රුපියල් බිලියන 09 ක් වැයකර ද ෆිනෑන්ස් ආයතනය මිලදී ගැනීමට එකඟව සිටින බවත් ඒ මහතා කීය. ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 6250 දෙනකු මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉන් ඇතැම් පිරිස් තම මුදල හෝ පොලිය නොමැතිව මියයෑම්, රෝගී තත්ත්වයන්ට මුහුණදී ජීවත්වීමේ හැකියාවක් නොමැතිව අසරණව සිටින බවත් ශාන්ත මහතා කීය. මෙහි මුදල් තැන්පත්කරුවන් ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, විදෙස්ගතව සිට පැමිණ, දේපළ විකුණා වැනි දේවලින් ලබාගත් මුදල් තැන්පත් කර තිබෙන බවද ශාන්ත මහතා කීය. මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබාදී තිබෙන බවත් ජනාධිපතිවරයා හමුවී මෙහි සත්‍යතාවය පැහැදිලි කර දීමට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටින බවත් ඒ මහතා කීය. මෙම මාධ්‍ය හමුවේදී තැන්පත්කරුවෝ කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment