ධනාත්මක චින්තනයේ නොපෙනෙන පැත්ත

265

වර්තමාන ගෝලීය දේශපාලන, ආර්ථික, සාමාජික, සංස්කෘතික හා ආගමික සන්දර්භය තුළ පණ පොවන බලවේගය ධනාත්මක චින්තනයයි. එය නූතන රාජ්‍ය, දේශ සීමා, සංවිධාන ආයතන, පක්‍ෂ හා ආගම් ඉක්මවා පවතින්නකි. ධනාත්මක චින්තනය දර්ශනයක් වන හෙයින් ඊට අරමුණක් තිබේ. පරිමාණයෙන් විශාල වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා කරනු ලබන ආයෝජනයෙහි අවදානම අවම කිරීම එම අරමුණයි. නිෂ්පාදනය සම්බන්ධයෙන් වන විට ආයෝජනය තේරුම් ගත හැකි වුවද යම් සේවාවන් සම්බන්ධයෙන් වන විට ආයෝජනය තේරුම් ගැනීම තරමක් අපහසු විය හැකිය. ඒ අනුව යම් දේශපාලන පක්‍ෂයක් ආගමික සංස්ථාවක් රජයක් රාජ්‍ය ආයතනයක් යම් අන්තර්ජාතික සංවිධානයක් විසින් කරනු ලබන සේවාවන් ඇතුළුව නොකී සියලුම සේවාවන් ද ඇතුළත්ව තේරුම් ගැනීම අවශ්‍ය වේ. විවිධ ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන විට ආයෝජනය කරන තැනැත්තා විවිධ රූපයන්ගෙන් පෙනී සිටී. ඒ අනුව ආයෝජකයා, සම්පත්දායකයා, අනුග්‍රාහකයා, නිෂ්පාදකයා, දායකයා, අරමුදල් සම්පාදකයා ආදී යෙදුම් භාවිත වේ. ආයෝජනයෙහි අවදානම අඩු කිරීමේ කාර්යය ඉටු කරනු ලබන්නේ අලෙවිකරණයයි. අලෙවිකරණයට මග හෙළි පෙහෙලි කරන බැවින් ධනාත්මක චින්තනය අලෙවිකරණයේ දර්ශනය වේ.

“වාණිජ්‍යයෙහි” මුල්ගල් තුන වන්නේ නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිකරණයයි. මෙයින් අලෙවිකරණය, නිෂ්පාදනය හා බෙදා හැරීම පමණක් නොව ඊට කිසිසේත්ම සම්බන්ධයක් ඇතැයි සිතිය නොහැකි අධ්‍යාපනය, සෞඛ්‍ය, යුද්ධ සේවය, හා ආගමික සේවාවන් ආදි අංශ සඳහා ද සේවය ලබා දී තිබේ. වෙනත් වචන වලින් කිවහොත් අලෙවිකරණය සෑම සියලු දෙයකටම නැතුවම බැරි දෙයක් වී තිබේ. ධනාත්මක චින්තනයේ නොපෙනෙන පැත්ත වටහා ගැනීමට අලෙවිකරණයේ ක්‍රියාකාරිත්වය විමසා බැලීම අවශ්‍ය වේ.

අලෙවිකරණයේ කාර්යයන් මූලික වශයෙන් කොටස් දෙකකි. එකක් නම් වෙළඳපොළ පර්යේෂණය කර පාරිභෝගිකයාට නැත්නම් සේවාලාභියාට අවශ්‍ය භාණ්ඩයේ හෝ සේවයේ ස්වභාවය නිෂ්පාදකයාට දැන්වීමයි. මෙහිදී නිෂ්පාදකයා යනු ආයෝජකයා යටතේ ක්‍රියා කරන වැටුප් ලබන තාක්‍ෂණික නිලධාරියෙකි. අනෙක නම් නිෂ්පාදිත භාණ්ඩය හෝ සේවය පිළිබඳව අනගි ලෙස පාරිභෝගිකයාට නැත්නම් සේවාලාභියාට දැනුවත් කිරීමයි. මේ කාර්යයන් සඳහා ආයෝජකයා අලෙවිකරණයට ගෙවීම් කරනු ලැබේ. මෙහි අනගි ලෙස යන්නෙන් අදහස් කරන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවයේ රුව, ගුණ, ලාභය විකල්ප ප්‍රයෝජන, තරගකාරි භාණ්ඩ හා සේවාවලට වඩා ඇති වාසිය වර්ණවත් ලෙසත්, අලංකාර ලෙසත්, සිත පොළඹවන ආකාරයෙනුත් ඉදිරිපත් කිරීමයි. අලෙවිකරණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අදාළ භාණ්ඩය හෝ සේවය නිෂ්පාදනයේ දී වූ වරදක්, අඩුපාඩුවක්, අත්හැරීමක්, අධිකකරයක්, දෝෂයක් හෝ යම් නොගැළපීමක් අකාමකා දමා පාරිභෝගිකයාට නැත්නම් සේවාලාභියාට ගෙනහැර පෑමට ඇති හැකියාවයි. විද්්‍යුත් මුද්‍රිත හා අනෙකුත් මාධ්‍යයන් තුළ අලෙවිකරණය සඳහා ඇති තරගකාරිත්වය පාඨකයාට පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත.

අලෙවිකරණයට මේ සා විශාල වැදගත්කමක් හිමිව ඇත්තේ භාණ්ඩ හා සේවා පරිමාණයෙන් විශාල ලෙස නිෂ්පාදනය කිරීම අවශ්‍ය වී ඇති හෙයිනි. මහාපරිමාණ නිෂ්පාදනය තුළ යෙදවුම් හා නිමැවුම් අතර ඇත්තේ ඉතා දීර්ඝ හා සංකීර්ණ ක්‍රියාවලියකි. මෙය භාණ්ඩයකදී මෙන්ම සේවයකදීද එක ලෙසට පවතී. ප්‍රශ්නය වන්නේ මෙවැනි ක්‍රියාවලියක් තුළ හටගන්නා දෝෂයක් හඳුනාගන්නේ කෙසේද? එම දෝෂය ඉවත් කරන්නේ කෙසේද? දෝෂය ඉවත් කිරීමේ ප්‍රතිවිපාකය එනම් වැයබර දරන්නේ කවුද? කෙසේද? යන්නයි. මෙහිදී දෝෂයක් හඳුනා ගැනීම නිෂ්පාදන ක්‍රියාවලියේ ඕනම ස්ථරයකදී සිදු කළ හැකිය. එහෙත් දෝෂය ඉවත් කිරීම කළ හැක්කේ එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රධානීන්ට පමණි. දුෂ්කරම ප්‍රශ්නය ඇති වන්නේ දෝෂය ඉවත් කිරීමේ දී සිදුවන වැයබර දැරීමේදීය. මෙහිදී දෝෂය සම්බන්ධයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රධානීන් වගකිව යුතු බැවින් ඔවුන් එය ආයෝජකයාට ඉදිරිපත් කිරීමට මැලිවේ. අවසානයේ මෙබඳු දෝෂයක් වාර්තා වුවද ආයෝජකයාට එය දැරීම අපහසු වන්නේ ඔහු අරමුදල් යොදවා ඇත්තේ අනුන්ගේ ධනය නොහොත් කොටස් ප්‍රාග්ධනයද අනාගත ධනය නොහොත් ණය ප්‍රාග්ධනයද යොදවාගෙන වන බැවිනි.

මෙම තත්ත්වය යටතේ පරිමාණයෙන් විශාල වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදුවන අඩුපාඩුවක්, වැරැද්දක්, අත්හැරීමක්, අධිකකරයක්, දෝෂයක් හෝ යම් නොගැළපීමක් දෙස ආපසු හැරී බැලිය නොහැකි ලෙස සලකනු ලැබේ. අදාළ දෝෂ සහිත භාණ්ඩය හෝ සේවය නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පවතින සියලුම යෙදවුම් අවස්ථා පසුකර අවසාන පාරිභෝගිකයා වෙත අලෙවි කර අවසන් වනතුරු අතිරේක වැය බරක් නොදරා දෝෂය නිවැරදි කළ නොහැකිය. එනිසා දෝෂය අඩංගු භාණ්ඩ හා සේවා අවසන් වනතුරු ඒ දෙස ආපසු හැරී නොබලන ලෙස සියලුම පාත්‍ර වර්ගයන් පවත්වා ගැනීම අවශ්‍ය කෙරේ. මෙහිදී නිෂ්පාදන ආයතනය, බෙදාහැරීමේ ආයතනය අලෙවිසැල් හා පාරිභෝගිකයා හෝ සේවාලාභියා ඇතුළු සියලුම දෙනා එලෙස දෝෂ සොයා නොබලන ලෙස පවත්වා ගැනීම අලෙවිකරණයට බරපතළ අභියෝගයකි. අලෙවිකරණයට මෙම අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය මග විවර කර දෙන්නේ ධනාත්මක චින්තනයයි. මෙහිදී ධනාත්මක චින්තනය සිදු කරනු ලබන්නේ මානසික සෝධනයකි. එනම් දෝෂ දෙස ආපසු හැරී බැලීම ගර්හිත කාර්යයක් ලෙස සිතීමට මිනිස් මනස පුරුදු කිරීමයි. මෙය කොතරම් සාර්ථක ලෙසත්, සියුම් ලෙසත් ලොව පුරා ක්‍රියාවේ යොදවා ඇත්දැයි පාඨකයාට පරීක්‍ෂා කළ හැකිය. ධනාත්මක චින්තනය ඊට අනුව ධන නොවන සියලුම දෙය සෘණ ලෙස සලකන අතර සෘණ වූ සියලු දෙය ගර්හිත කර දමයි. මේ නිසා නූතන සමාජය සෘණ වීමට නොහොත් දෝෂ පරීක්‍ෂා කිරීමට හෝ ආපසු බැලීමට දැඩි ලෙස මැලි වේ. තවද, සිනාසීම යන අදහස සතුටු වීම යන අදහසට පර්යාය වශයෙන් නොයෙදෙන නමුත් ධනාත්මක චින්තනය තුළ එලෙස යෙදෙන සේ සලකනු ලැබේ. ඒ අනුව ආයතනයක් තුළ සිනා නොවීම බරපතළ වරදක් ලෙසද සලකනු ලැබේ. ආයතන වල මහජන සම්බන්ධතා පවත්වන අයට පමණක් නොව පාරිභෝගිකයා හා සේවාලාභියාටද සිනාසීම අවශ්‍ය අංගයක් ලෙස සලකනු ලැබේ. මෙහි සැබෑ වුවමනාව දෝෂ සහිත භාණ්ඩයක හෝ සේවයක හුවමාරුව සිදුවන අවස්ථාවේ ගැටුමකින් තොරව හුවමාරු කිරීමට සලස්වා ආයෝජකයාගේ අවදානම අවම කිරීමයි. ආයතනයක් තුළ සේවකයන් සිනාසී කටයුතු කිරීම වරදක් යැයි මෙයින් අදහස් නොකෙරේ.

ධනාත්මක චින්තනය දෝෂ පරීක්‍ෂා කිරීමට හෝ ආපසු හැරී බැලීමට දක්වන ප්‍රතිරෝධයේ තරම බුද්ධ වචනය සමග සැසඳීමෙන් තේරුම් ගත හැකිය. එනම් නුවණැති තෙමේ තමාගේ වැරදි, අඩුපාඩු, අත්හැරීම්, දෝෂ අතිරික්තයන් හෝ නොගැළපීම් නමැති මල නැවත නැවත ඒ ගැනම සිතා ඉවත් කරන්නේ රන්කරුවා රන්වල මල පහකරන්නා සේය යනුවෙනි.

මෙහිදී බුද්ධ වචනය පුද්ගල සංවර්ධනයේදීත් ධනාත්මක චින්තනය සමාජ සංවර්ධනයේදීත් අදාළ වේය යන්න සත්‍යයකි. මෙහිදී වඩා අවධානයට ලක් විය යුතු ප්‍රශ්නය වන්නේ රටක්, ජාතික හා ජාත්‍යන්තර ආයතනයක්, සංවිධානයක්, දේශපාලන පක්‍ෂයක්, ආගමික සංස්ථාවක් දෝෂ සහගත ලෙස ස්ථානගත වූ කල්හි එය නිවැරදි කරන්නේ කෙසේද? ඒ සඳහා ධනාත්මක චින්තනය කෙසේ බලපාන්නේද? යන්නයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථාවකදී දෝෂයක් ඉවත් කිරීමට ධනාත්මක චින්තනය ඇති කරන්නේ සෘණ බලපෑමකි. විශේෂයෙන් මුළු ලොවම ප්‍රතිසංස්කරණ අපේක්‍ෂා කරන මෙවන් අවධියක ලෝකයම පණ පොවන බලවේගය වන ධනාත්මක චින්තනය නැවත පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාව දැන් පැන නැගී තිබේ.

ලොවට පරිමාණයෙන් විශාල වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අවශ්‍ය වන තාක් දුරට ආයෝජකයාගේ අවශ්‍යතාවත් ඔහුගේ අවදානම අවම කිරීමේ අවශ්‍යතාවත් පවතී. ඒ තාක් දුරට අලෙවිකරණයත් ඊට මග පෙන්වන ධනාත්මක චින්තනයත් ඉවත් කළ නොහැකිය. බොහෝවිට ආයතනවල, සංවිධානවල පක්‍ෂවල, ආගමික සංස්ථාවල ආදියෙහි ඉහළ නිලධාරියා හෝ නායකයා සිට පහළම සේවකයා දක්වා තම සංවිධානයේ දෝෂ දක්වනු ඔබ දැක ඇතුවාට සැකයක් නැත. සාමාන්‍ය ජනතාව කල්පනා කරන්නේ රාජ්‍ය නායකයාට ආයතන ප්‍රධානියාට හෝ ආගමික නායකයාට දෝෂ ඉවත් කළ හැකි බවත්, ඔහු ඒවා ඉවත් කළ යුතු බවත්ය. නමුත් එය සත්‍ය නොවේ. දෝෂ ඉවත් කිරීම ඉහළම නිලධාරියා හෝ ප්‍රධානියාගේ සිට පහළම සේවකයා දක්වා පමණක් නොව අරමුදල් සම්පාදකයාද එක්ව කළ යුතු කාර්යයක් වන අතර ඒ සඳහා දෝෂ දැකීමට හා විවිධ ස්ථර වලින් ඉවත් කිරීමට ඉඩ දෙන දර්ශනයක / දෘෂ්ඨියක අවශ්‍යතාව මෙවන් කාලයක තදින්ම දැනේ.

ගාමිණි මහානාම
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමසාරිස්,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

advertistmentadvertistment
advertistmentadvertistment