ධනුෂ්කට ක්‍රීඩා තහනමක් පනවන්න – නීතිපති ක්‍රීඩා ඇමැතිට නිර්දේශ කරයි

212

පසුගිය වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැති පන්දුවාර 20 ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුරදී බලහත්කාරයෙන් එරට කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තහනමක් පනවන ලෙසට නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කොට ඇත.

පෙර කී චෝදනාව සම්බන්ධයෙන් ඔහුට ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි අධිකරණය මගින් කුමන තීන්දුවක් ලබා දුන්න ද 1973 අංක 25 දරන ක්‍රීඩා නීතිය අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් ද විධිමත් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් එකී පරීක්‍ෂණයෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කරනතුරු ක්‍රීඩා කිරීමට ඉඩදීම නුසුදුසු බවටත් පෙන්වා දෙමින් නීතිපතිවරයා එම නිර්දේශය කොට ඇත. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නැඟුන චෝදනා සම්න්ධයෙන් ඉදිරිපත්වූ සාක්‍ෂි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පුළුල් ලෙස නිරීක්‍ෂණය කළ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ යන මහත්වරුන් නීතිපතිවරයා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත එම නිර්දේශ ඉදිරිපත් කොට ඇත. පසුගිය නොවැම්බර් 6 වැනිදා එකී චෝදනාව යටතේ සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක පුරා මාසයකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව සිඩ්නි අධිකරණය මගින් ඇප මත මුදාහල අතර නඩු විභාගය අවසන් වනතුරු රටින් පිටවීම වළක්වමින් එම ඇප නියෝගය නිකුත්කොට තිබිණි. එම සංචාරයේදී විවිධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කිහිපදෙනා මෙන්ම ක්‍රිකට් පරිපාලන නිලධාරීන් සම්න්ධයෙන් ද අප්‍රමාදව විනය පියවර ගන්නා ලෙසටත්, සිදුවී ඇතැයි කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මගින් ස්වාධීන විගණනයක් සිදුකිරීමට පියවර ගන්නා ලෙසටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ එකී නිර්දේශ ලිපිය මගින් නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment