ධනුෂ්කොඩියට යන සේතු පාළම කොඩිවිණයක් ද?

184

මේ රට තරම් ස්වභාවික සම්පත්වලින් පිරුණු වෙනත් රාජ්‍යයක් ලොව ඇති දැයි සිතීමද ගැටලුසහගත වන්නකි. ශ්‍රී ලංකාව එතරම්ම පොහොසත්ය. රට වටා ඇත්තේ මහ සයුරය. භූමිය පුරා විහිදී තිබෙන සම්පත් ප්‍රමාණය සිතාගත නොහැකි තරම් වන්නකි. එහෙත් අපි අද ලෝකයේ දුප්පතුන් පිරිසක් බවට පත්ව සිටිමු. එයට හේතුව කුමක් වී තිබේද? මෙරට තුළ ක්‍රියාත්මක මජර දේශපාලනය සියල්ලට හේතු වී ඇත. කාලයක සිටම අපේ නියෝජිතයා ලෙස අප විසින්ම තෝරාගත් දේශපාලනඥයාට රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් සියල්ල දියුණුවේ මාවත වෙතට රැගෙන යෑමේ කිසිදු වුවමනාවක් නොතිබිණි.

ඔවුහු හැමදාමත් ජනතාව ඉදිරියේ බිල්ලෝ මවමින් සැමට දිය කොරහේ කිඹුලෝ පෙන්වනු ලැබූහ. එසේ කරන අතරේ රටේ සම්පත් නොරටුන්ට විකුණා ඔවුහු වැජඹුනහ. හොර මගඩියක්, දූෂිත ගනුදෙනුවක් හෝ කොමිස් කුට්ටියක් නොගෙන අපේ දේශපාලනඥයන් රට පිළිබඳව සිතා සද්භාවයෙන් සිදු කළ යමක් අදටත් ජනතා ඇස් මානයේ තිබේද?

● රට හුදෙකලා කළ අපේ දේශපාලනය

දෙකෝටියකට වැඩි මෙරට සමස්ත ජනගහනය වෙත එකී පැනය යොමු කළහොත් පාට කණ්ණාඩිය තදින් දමාගෙන දේශපාලනඥයාට ගොට්ට අල්ලන්නකු හැරෙන්නට අති විශාල පිරිසක් එයට දෙන පිළිතුරු වන්නේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු කිහිප දෙනකු හැරෙන්නට අනෙක් කිසිවකුත් කළ කිසිත් නැතැයි යන්නය.

මෙය අපේ දේශපාලනඥයන් ලජ්ජා විය යුතු කරුණක් වුවද බහුතරයකට කිසිදු ලජ්ජාවක් නැති බැවින් කිසිවකුටත් ඒ පිළිබඳ ගැටලුවක් නම් නැත. සිදුවූයේ මේ ටික නොවන්නේ නම් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ‘ධර්මිෂ්ඨ’ යුගයෙන් ඇරඹි ආර්. ප්‍රේමදාසයන් ස්වෛරී යැයි කියමින් ‘හිසට වහළක් හිතට නිවනක්’ ගෙන දෙන්නට සැරසුණු මේ රට ‘මහින්ද චින්තනය’ ඔස්සේ පැමිණ ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ දක්වා ගොස් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්මෙන් අද තව්තිසා දෙව් ලොව සමීපයේ නොතිබී වත්මන් නරකාදියට ඇද වැටුණේ වෙන කුමක් නිසාද?

● බලය නැති කල රටට පෙම් කරන සුදනෝ

මෙහිදී අලියද, අතද, පුටුවද, පොහොට්ටුවද, බුලත් කොළයද, මාලිමාව හා සීණුවද කියා කිසිවක් අදාළම නැත. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමේ වගකීම එකී සියලුම දෙනාට ඇත. ඔවුන් කිසිවකුටත් ඒ වගකීමෙන් ගැළවී යෑමට කිසිදු හැකියාවක් නැත. එහෙත් සිදු කළ වරදට වගවනු වෙනුවට ඔවුන් අදටත් කරමින් සිටින්නේ කුමක්ද? එක් පාර්ශ්වයක් බලයට පැමිණි කල්හි අනෙක් කණ්ඩායමට රට, දැය, සමය, අපේ කම, ප්‍රෞඪ ඉතිහාසය, සංස්කෘතිය ආදී වශයෙන් එකී මෙකී නොකී සියලු දේ සිහිවන්නාහ.

එතැන් සිට ඔවුන් තරම් සුදනෝ සහ රටටත් ජනතාවටත් ආදරය කරන්නෝ ලොවෙත් නොවෙති. බලයට පැමිණි පිරිස වැරදීමකින් මෙන් රටට හිතැති යමක් කරන්නට සැරසුණහොත් අනෙක් පිරිස දැඩි සේ කිපෙති. කරන්නට යන කාර්යය කොතරම් හිතකර එකක් වුවද එය රට විනාශකර දමන්නක් යැයි ඔවුහු ජනතාවට කියති. කාලාන්තරයක සිට මේ රටේ දේශපාලනය කළ අපේ ජනතා නියෝජිතයෝ ඒ අන්දමට තට්ටුමාරු ක්‍රමයට බලයට පැමිණීමේදී රටත් ජනතාවත් ඇන්දවීමට අනුගමය කළ ප්‍රබල උපක්‍රම දෙකක් තිබිණි. ඉන් ප්‍රධානම උපක්‍රමය වූයේ දේශපාලනයට පිවිස රට සූරා කමින් යස ඉසුරින් පිරි ජීවිත ගත කරද්දී තවදුරටත් සිය පැවත්ම තහවුරු කරගනු පිණිස රට තුළ දිළිඳු බව නඩත්තු කිරීම විය.

මුළු ලෝකයම ගෝලීයකරණය වී එකට එක් වෙද්දී ශ්‍රී ලංකාව එතැනින් විතැන් කර හුදකලා කරන අතරේ දක්‍ෂතා ඇති අපේ තාරුණ්‍යයට ජාත්‍යන්තරය දක්වා ගමන් කිරීමට ඇති මාවත අවහිර කිරීමට දෙවැනි උපක්‍රමය ලෙස ඔවුහු ක්‍රියාත්මක කළහ. රටේ තාරුණ්‍යය විදේශයන්හි අයෝජනය කරනු වෙනුවට එහිදී දේශපාලනඥයන් තෝරාගනු ලැබුවේ අපේ කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට යැවීමය. එහිදී නිවසේ මව, බිරිඳ නොමැතිව දහසක් සමාජ ගැටලුවලින් රට හෙම්බත් වෙද්දී එකී සමාජමය ගැටලු ද තමන්ගේ පැවත්ම උදෙසා යොදා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

● ආදම් පාලම සහ බිල්ලෝ මැවීම

කලක සිට කතාබහට ලක් වෙමින් තිබෙන ඉන්දීය සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යටපත් කරමින් මතුවූ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කෙරෙන ආදම් පාලමේ කතාව ඒ බව පෙන්වා දීමට ඇති එක් පැහැදිලි උදාහරණයකි. සැබැවින්ම එකී ආදම් පාලම ඉදිකරමින් ලංකාවත් ඉන්දියාවත් යා කළහොත් ශ්‍රී ලංකාවට හෙණ වදිනු ඇතිද? ඇතැමුන් කියන පරිදි ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට පත් වේද? සමහරු නහයෙන් හඬන ආකාරයට එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව බල්ලට ඇද දමන කරුණක් බවට පත් වෙයිද? මේ යා කිරීමත් සමග ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මෙරටට සංක්‍රමණය වන මිනිසුන් කුණු කොල්ලයට රැකියා කිරීම නිසා මෙරට රැකියා වියුක්තිය ඉහළ යනු ඇතිද?

● උපාධිධාරියා පාරට ගෙන ආ අධ්‍යාපනය

මේ සියලු කතා කියැවෙමින් තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත්කර තිබියදී මඩකලපුවේ සිටි සහරාන් හෂීම්, ඇතැම් දේශපාලනඥයන් දැන සිටියදීම කොළඹට පැමිණ බෝම්බ ගැසූ රටකය. වෘත්තීයමය උපාධිධාරීන් වැඩි පිරිසක් හා වෘත්තීයමය නිපුණතාවන්ගෙන් සපිරි තාරුණ්‍යයක් රට තුළ බිහිවන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට අති විශාල කලා උපාධිධාරීන් පිරිසක් වාර්ෂිකව බිහි කෙරෙන අධ්‍යාපන ක්‍රමයක් තුළ විටින් විට උපාධිධාරීන් රැකියා ඉල්ලා වීදි බසින රටකය.

ආදම් පාලම තුළින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තය බවට පත් වනු ඇතැයි කියනුයේ කවුරු කවුරුත් කතාබහ කර මහා සම්පතක් වූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාවට පවරා දුන් රටක දේශපාලනඥයෝය. ඉතිං තවත් කවර කතාද?

● මොකක්ද මේ සේතු සමුද්‍රම්

ධනුෂ්කොඩියට යන සේතු පාළම කොඩිවිණයක් ද?

ජාත්‍යන්තර නෞකා ගමනාගමනයේදී ඉන්දියාවේ වරායන් වෙත පැමිණෙන හා ඒවායේ සිට වෙනත් රටවලට ගමන් කරන නෞකාවලට ඉන්දීය සාගරයේ බටහිර සහ නැගෙනහිර අතර ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව වටා විශාල දුරක් ගෙවමින් යෑමට සිදුව තිබීම ඉන්දීයාව කලක සිට මුහුණ දී තිබෙන බරපතළ ගැටලුවකි. කාර්මික උපකරණ, රෙදිපිළි, කෘෂි අස්වැන්න හා ආහාර ද්‍රව්‍ය ආදී ලෙසින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොල්ර් බිලියන තිහක පමණ අපනයනයන් සිදු කරන රටක් ලෙස එසේ සිදුවීම ඉන්දියාවට තවත් අමතර වැයක් දැරීමට සිදුවූ කරුණක් බවට පත්ව තිබිණි.

මේ තත්ත්වය තුළ ඉන්දියාව අදටත් සිදු කරනුයේ සිය අපනයන භාණ්ඩ කුඩා නෞකා මගින් ශ්‍රී ලංකාවේ හෝ සිංගප්පූරුවේ වරායන් වෙත යොමු කර ඒවා ප්‍රති අපනයනය කිරීමට පියවර ගැනීමය. අපේ දේශපාලනඥයන් සමඟ සිදු කළ සතරකන් මන්ත්‍රණ අනුව කොළඹ වරායෙන් කොටසක් ගෙන මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට පසුගිය කාලයේ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වූ අදානි වැනි අය මෙරටට එබිකම් කරනු ලැබුවේද මෙවැනි සාධක හමුව්ය. කොළඹ වරායේ බටහිර කොටසේ අද එය ක්‍රියාවට නැංවී අවසන්ය.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ආදම් පාලම ඔස්සේ යා කෙරුණහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වනු ඇතැයි කියමින් අද හඬනඟන්නේද මෙවන් දේට දෑතම උස්සා ආශිර්වාද කළ දේශපාලනඥයෝය. මේ අන්දමට නෞකා මාර්ගයේ ඇතිවූ ගැටලුව හමුවේ ඉන්දීය සාගරයේ බෙංගාල බොක්කේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා මන්නාරම බොක්ක ඔස්සේ බටහිර නැගෙනහිර නෞකා මාර්ගය යා කරමින් ඇළ මාර්ගයක් ඉදිකිරීම ඉන්දියාව දුර අතීතයේ සිටම සැළසුම් කෙරූවකි.

සේතු සමුද්‍රම් ලෙස හඳුන්වනු ලබන්නේ දිගින් කිලෝ මීටර් 260 ක් හා පළලින් මීටර් 30කින් යුතුව ගැඹුර මීටර් 12.5 වන සේ ඉදි කිරීමට යෝජිතවූ එම ඇළ මාර්ගය විය. එහෙත් පාරිසරික ගැටලු මෙන්ම ඉන්දියාව අභ්‍යන්තරයෙන්ම මතුවන හින්දු භක්තිකයන්ගේ විරෝධතා ආදිය වැනි කරුණු හමුවේ එහි කටයුතු මේ දක්වා ක්‍රියාත්මක නොකෙරුණි. ඉන්දීය දේශපාලනයේ එක් ප්‍රධාන පොරොන්දුවක් බවට කලක සිටම සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පත්ව තිබුණද වත්මන් මෝදි අගමැතිවරයා දක්වාම එය ක්‍රියාත්මක නොවීය.

● ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යා කෙරෙන ආදම් පාලම

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය දිනෙන් දින යටපත් වෙමින් තිබියදී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කරමින් මෙරට තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ දක්වා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කරමින් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය කාලයේ ඉන්දීය පාර්ශ්වයෙන් සිදු කෙරිණි. තලෙයිමන්නාරමේ සිට ඉන්දියාව දෙසට විහිදී යන වැලිපර දූපත් සමූහයට රේඛීයව රාමේෂ්වරම් හරහා ධනුෂ්කොඩි දක්වා මෙම පාලම ඉදිකිරීමට යෝජිත විය. දිගින් කිලෝ මීටර් 32 කින් යුතු එම පාලම ඉදිකිරීමට කටයුතු කරන බව ඉකුත් 2015 වසරේදී ඉන්දීය ලෝක් සභාව අමතමින් එරට ප්‍රවාහන ඇමැති නිතින් ගද්කරි මහතා පවසනු ලැබීය. ඔහු ඒ බව පවසනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට පැවති යහපාලන රජයේ අගමැතිවරයාව සිටිමින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියදීය.

නිතින් ගද්කරි මහතා මෙහිදී කියා සිටියේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කෙරෙන මුහුද මතින් වූ පාලමට අමතරව එයට සමාන්තරව උමං මාර්ගයකුත් ඉදිකෙරෙන බවකි. ඒ සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 කට ආසන්න එකක් වූ අතර ගද්කරි මහතා සඳහන් කර තිබුණේ ඉන්දීය රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලෙස එම මුදල ලබාගෙන අදාළ ඉදිකිරීම් සිදුකරන බවය. මේ අනුව කියැවෙමින් තිබුණේ මුළුමනින්ම ඉන්දීය රජය අදාළ ඉදිකිරීම්වල බර දරා ගන්නා බවකි. එහෙත් ඒ සමග සිදු වන්නට වූයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමින්ද එයට දැඩි විරෝධයක් එල්ල වන්නට විය. අප මෙහි ඉහතින් පෙන්වා දුන් බිල්ලෝ මැවීම සිදුකෙරුණේ එකී විරෝධාවන්ට අනුවය.

● ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කිරීම අපට කොඩිවිණයක්ද?

ඉන්දීය රජයේ පූර්ණ දායකත්වය අනුව එවැනි මාර්ගයක් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යා කරමින් ඉදි කෙරුණහොත් සැබැවින්ම එය ලංකාව විනාශයට කරුණක් විය හැකිද?

එමඟින් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වන බවක් කාට හෝ හැඟී යන්නේ නම් ඒ සඳහා සැළසුම්සහගත වැඩපිළිවෙළක් සකස් කිරීමට අප සමත් විය යුතුය. ඇතැමුන් මෙහිදී පෙන්වා දෙන කරුණක් වී තිබෙන්නේ ඉන්දියාව තමන්ට අහිමි වී තිබෙන නැගෙනහිර සහ බටහිර යා කෙරෙන නෞකා මාර්ගයේ වාසිය ලබාගනු පිණිස එය සිදුකරන බවකි.

එහෙත් එය කිසිසේත්ම සිදු නොවන්නකි. මෙහිදී ඉන්දියාව සිය අපනයන භාණ්ඩ ඇතැම් විට කන්ටේනර් රථ ඔස්සේ ත්‍රිකුණාමල වරාය දක්වා එවීමෙන් සිය අපනයන මෙහෙයුම් කිරීමක් සිදුවිය හැකිය. මෙහිදී ඇතිවිය හැකි තත්ත්වය කුමක් විය හැකිද?

කොළඹ වරාය මෙන් ත්‍රිකුණාමල වරායද ශීඝ්‍ර දියුණුවකට පත්වීම නියතවම සිදුවන්නකි. එසේම මන්නාරමේ සිට උතුරු ප්‍රදේශය මෙන්ම සමස්ත නැගෙනහිර තුළද එමගින් විශාල ප්‍රබෝධයක් ඇතිවනු ඇත. එනිසා මේ මොහොතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර අප සිදු කළ යුත්තේ ලංකාවත් ඉන්දියාවත් යා කෙරෙන අදාළ පාලමේ ඉදිකිරීම් අරඹන ලෙසට ඉන්දියාවට ආරාධනා කිරීමය. ඒ ආරාධනාව රජයේ පාර්ශ්වයෙන් මේ මොහොතේ සිදු කෙරුණහොත් 13 ලබාදී උතුරේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය පිනවීම පසෙක තබා ඉන්දීය බලධාරීන් කඩිනමින් කාර්යය ආරම්භ කිරීමටද ඉඩක් ඇත. මන්ද එමඟින් ඔවුන්ගේ අපනයන ක්‍රියාවලියට පැහැදිලි ශක්තියක් ලැබීම නිසාය.

● දෙරට යා කිරීමෙන් කොළම වරාය ඇද වැටෙයිද?

මෙහිදී ඉන්දීය ප්‍රති අපනයන කටයුතු කොළඹ වරායට අහිමි වීම වැනි ආර්ථිකමය වශයෙන් අවාසි සහගත තත්ත්වයක් ඇති වන්නේ නම් ඉන්දියාව සමඟ ගිවිසුමකට එළැඹීමෙන් එම තත්ත්වය මඟහැර යෑමට අපට හැකිවනු ඇත. ඉන්දියාව ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාව යා කෙරෙමින් තලේමන්නාරම දක්වා පාලමක් ඉදිකිරීමේදී එතැන් සිට ත්‍රිකුණාමලය දක්වා ඉන්දිරා ගාන්ධි අධිවේගී මාර්ගය නමින් අධිවේගී මාර්ගයක් ඉදි කිරීමටද සැළසුම් කර ඇත.

මෙහිදී කොළඹ වරායේ ප්‍රති අපනයන කටයුතු ස්ථිර කරගනු පිණිස තලේමන්නාරමේ සිට කොළඹට යාවන පරිදි අධිවේගයක් ඉදිකරන ලෙසද ශ්‍රී ලංකාවට යෝජනා කළ හැකිය. මේ ව්‍යාපෘතියේදී සිය අපනයන වෙළෙඳාමට අත්වන වාසිය හමුවේ ඉන්දීය පාර්ශ්වයෙන් අප කරනු ලබන එවැනි ඉල්ලීම් බැහැර නොකරනු ඇත. එමගින් කොළඹ වරායට හානියක් නොවන පරිදි කටයුතු කිරීමේ හැකියාව අපට ඇත. අවශ්‍ය වන්නේ පාලකයන් බුද්ධිමත් වීමය. එසේ කටයුතු සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවට කිසිසේත්ම පාඩු ගෙන දෙන්නක් විය නොහැකිය. මන්ද කොළඹ වරායෙන් සිදු කෙරෙන ප්‍රති අපනයන කටයුතු එසේම සිදු වෙද්දී ත්‍රිකුණාමලය වරායේ බහාලුම් මෙහෙයුම් කටයුතුවල ප්‍රබල ඉහළ යෑමක් සිදුවුවහොත් එහි ආදායම හිමිවන්නේද ශ්‍රී ලකාවටය.

● ඉසිඹු ලබා සැනසෙන උතුර නැගෙනහිර තාරුණ්‍යය

මෙසේ කිරීමේදී ඉබේම උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි ඇතිවන දියුණුවත් සමඟ සැනසෙන්නේ යුද්ධය මෙන්ම බොහෝ කරුණු කාරණා හමුවේ පීඩාවට පත් උතුරේ දෙමළ තාරුණ්‍යය. එය මේ රටට කිසි දිනෙක යහපතක් මිස අයහපතක් නම් අත්කර නොදෙනු ඇත. මේ අන්දමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කෙරුණහොත් අද දකුණේ ඇති දියුණුව උතුරු නැගෙනහිරටත් ආයාශයකින් තොරවම ළඟාවීම කිසිවකුටත් වළකාලිය නොහැක්කකි. ඒ මංමාවත් වැඩිදියුණු වනු ඇත. මන්නාරම ඇතුළු උතුර නැගෙනහිර ප්‍රදේශ නිරායාශයෙන් අතරමැදි සංචාරක නවාතැන් බවට පත්වනු ඇත. මේ වන විට මන්නාරම වෙරළ තීරය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමේ ජාවාරම ඇතුළු බොහෝ අකටයුතුකම්වලට මෙමගින් එල්ලවන බපෑමද සුළුපටු නැත.

මෙවැනි මාර්ගයක් ඉදි වුවහොත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වැසියන් ශ්‍රී ලංකාවට පැමිණ බින්න බසිනු ඇතැයි සමහරුන් අද පළ කරන මතයකි. එහෙත් රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කෙරුණහොත් එවන් දේ මඟහරවා ගැනීම ඉතා පහසුය. අප තුළ ඒ අරබයා වන කැපවීම තිබේ නම් කළ නොහැක්කේ කුමක්ද?

● දෙරට යා කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්ද?

තවත් පිරිස් අද කියමින් සිටින්නේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් මේ අන්දමට යා කෙරුණහොත් එය ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් ගෙන දෙන බවකි.

ඉන්දියාවත් පාකිස්තානයත් යනු විරසක රාජ්‍යයන් දෙකකි. එහෙත් පාකිස්තානයේ ලාහෝර් සිට ඉන්දියාවේ නව දිල්ලි දක්වා බස් රථ ධාවනය සිදුවේ. එය දෙරටටම ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලු මතු කරන්නක් වී නැත.

වරසක රාජ්‍යයන් දෙකක තත්ත්වය එය නම් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට ඇති වන තර්ජනය කුමකද? යමක් සිදුවී නම් එය කළමනාකරණය කරගැනීම අපේ වගකීමය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ අපට මේ කොටස කරගත නොහැකි නම් ඒ තුළ පවතින්නේ අපේම අසමත්කමය.

● අපි තලේමන්නාරම හරහා ඉන්දියාවට නොගියෙමුද?

අතීතයේදී මෙරට ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ සිට ප්‍රවේශපතක් ලබාගෙන තලේමන්නාරම හරහා ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ගොස් ඉන්දියාවට ගමන් කළේය. එසේ ගිය දුම්රිය හඳුන්වනු ලැබුවේ ‘ඉන්දියා කලම්බු එක්ස්ප්‍රස්’ නමිනි. මෙරට තේ වගාව සාර්ථක වීමත් සමඟ වතුවල වැඩ කිරීම සඳහා තමිල්නාඩු ජනතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සුදු ජාතිකයන් විසින් අතීතයේදී එම දුම්රිය සේවය අරඹා තිබිණි. අතීතයේදීත් එසේ කටයුතු සිදු කෙරුණේ නම් වර්තමානයේදී යළි අප සැළසුම් සහගතව එතැනට ගමන් කිරීම තුළින් මහා විනාශයක් සිදුවිය හැකිද? නැත. අප එසේ ඉන්දියාව සමඟ ගිවිසුම්ගත වීමෙන් මේ වන විට ඉන්දු, චීන සහ ඇමෙරිකා භූ දේශපාලනික ගැටලු හමුවේ රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදුව තිබෙන ගැටලු ද බොහෝ දුරට සමනය වනු ඇත.

මේ වන විට හම්බන්තොට වරායේ කටයුතු අප චීනයට දී අවසන්ය. ඒ අතරේ තලේමන්නාරම සිට ඉන්දියාවට රට යා කිරීමෙන් අතිවන තත්ත්වය හමුවේ ඉන්දියාවේ අපනයන වෙළෙඳපොළට වාසියක් අත්වීමෙන් ඔවුන්ද සැනසෙනු ඇත. එහිදී ත්‍රිකුණාමල වරායේ මෙහෙයුම් කටයුතු වැඩි ප්‍රමාණයක් සිදු කිරීමට ඉඩක් ලැබීම හමුවේ ඉන්දියන් සාගරය තුළ බලාපොරොත්තු වන ආකාරයට සිය ආධිපත්‍ය පවත්වාගෙන යෑමටද ඉන්දියාවට අවස්ථාව ලැබෙනු ඇත. ඉන්දියාව එතැනට ගමන් කිරීමේදී එය ඇමෙරිකාවට ද සැනසිල්ලක් ගෙන දෙනු ඇත. එහිදී විසඳී යන්නේ රටක් වශයෙන් අප ඉදිරියට එන විදේශීය භූ දේශපාලනික ගැටලුය.

● ආදම් පාලමෙන් ඩොලර් ගලන්නේ මෙහෙමයි

මෙවන් මුහුද මැදින් ඇදී එන මාර්ගයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ඉදි කෙරුණහොත් එමඟින් අපට අත්කරගත හැකි තවත් වාසි රාශියකි. තලේමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා විහිදී තිබෙන ආදම් වැලිපර දූපත් හි අටවැනි දූපතේ අඩක් දක්වා අයිතිය පවතින්නේ ශ්‍රී ලංකාව සතුවය. එසේ නම් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට දෙරට යා කෙරෙමින් පාලමක් ඉදි කිරීමේදී හත්වැනි වැලි පරයෙන් මෙහාට ඇති භූමියේ අයිතිය ඇත්තේ අපටය. එම තත්ත්වය තුළ පාලම අවසන් වන තලේමන්නාරම අන්තයේ මෙරට නීතියට අනුව අපට රේගු කටයුතු මෙන්ම සෙසු නිශ්කාශන කටයුතු සිදු කළ හැකිය.

එහිදී මෙරටට ඇතුළු වන සෑම පුද්ගලයකුම නිසි පරීක්‍ෂාවකට ලක් කරනවාක් මෙන්ම ඔවුන්ගෙන් රට තුළට පිවිසීමේ ගාස්තුවක් ලෙස ඩොලර් පහක, දහයක මුදලක් අය කිරීමට අප කටයුතු කළහොත් දිනක මෙරට ඩොලර් ආදායම කොතරම් වනු ඇතිද? ඉන්දියාවේ සිටින ජනගහනය මේ වන විට කෝටි හැටක් ඉක්මවා ඇත. එයට අනුව බලන කල ශ්‍රී ලංකාවේ සිටිනුයේ කෝටි දෙකකට මඳක් වැඩි ජනගහනයකි. එම තත්ත්වය තුළ ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස වැඩි වීම නියතවම සිදු වන්නකි. එසේම මෙවැනි මුහුදු මාර්ගයක් ඉදිවීමේදී එය සංචාරක ආකර්ෂණයට ලක්වීම ඉබේම සිදුවේ. එහිදී අද වීසා ලබා ගැනීමක් නොමැතිව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර තිබෙන විදේශිකයන්ද ඉන්දියාවට ගුවනින් ගොස් නුහුරු අත්දැකීමක් ලබනු පිණිස මෙකී මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ළඟා වනු ඇත.

එහිදී සිදු වන්නේ දෙරට යා කෙරෙන පාලම හරහා මෙතෙක් වීසා මුක්තිය හිමිව තිබූ විදේශිකයන් මෙරටට ඇතුළු වීමේදී ද රටට ඩොලර් ආදායමක් හිමි වීමය. එමගින් ශ්‍රී ලංකාවට අයහපතක් සිදුවනු ඇතිද? කිසිසේත්ම නැත. එමගින් ලැබෙන ඩොලර් ආදායම සැළකිය යුතු තරමේ එකක්ම වනු ඇත.

● ජාත්‍යන්තරයට යා වන ශ්‍රී ලංකාව

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කරමින් මෙවැනි මාර්ගයක් ඉදි කෙරුණහොත් එතැන් සිට යුරෝපය දක්වාම අපට ගොඩබිම් මාර්ග නිර්මාණය වීමක්ද සිදුවේ. යුරෝපයේ හා අසියාවේ රටවල් 32 ක් එක්ව ආසියානු මාර්ග ජාලය යුරෝපයට යා කිරීමේ ව්‍යාපෘතියක් දැනට ආරම්භ කර ඇත. ඉන්දියාව, චීනය, පකිස්තානය, ජපානය, දකුණු කොරියාව, නේපාලය, බංගලිදේශය හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසක් දැනටමත් එයට එකඟතාව පළකරමින් ගිවිසුම්ගතව සිටිති. එහිදී සිදු වන්නේ මෙරට ජනතාවට ජාත්‍යන්තරයට යන මඟ විවර වීමය. එමඟින් පොදුවේ ශ්‍රී ලාංකිකයන්ට යහපතක් මිස අයහපතක් වීමට කිසිසේත්ම ඉඩක් තිබේද? පවතින තත්ත්වය මෙය නම් අපේ අසල්වැසියා රාක්‍ෂයකු සේ දැක තවදුරටත් අප කළ යුතු වන්නේ හුදකලා වීමට වෙහෙසීමද? නැතිනම් අභියෝග හඳුනාගනිමින් බුද්ධිමත්ව සියල්ල ජයගෙන ලෝකය වෙතට ගමන් කිරීමද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment