ධනුෂ්ක සහ මෙන්ඩිස් නොමැති කණ්ඩායමේ මැද පෙළ හදන්න පියවර ගත්තා….

1542

ලෝක කුසලාන මූලික තරග වටය අවසානයේ ශ‍්‍රී ලංකාවට පැමිණියද තාක්ෂණික ක‍්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ලෝක කුසලාන තරගාවලියේදී පුහුණු උපදේශකවරයකු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වූ මහේල ජයවර්ධන මහතා පැවසීය.

සති දෙකක පමණ කාලයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග රැ`දී සිටි මහේල ජයවර්ධන මහතා පසුගියදා දිවයින බලා පිටත් වූයේ කණ්ඩායමට සහ කළමනාකාරීත්වයට පොරොන්දු වූ සේවය ලබා දීමෙන් පසුවය.

”ජූනි මාසයේ ඉඳන් දින 135 ක කාලයක් මම නිරෝධායනය වෙමින් සහ ජෛව බුබුළුවලට ඇතුළත් වෙමින් හිටියා. එච්චර දවස් ගාණක් තමන්ගේ දුවව නොදැක සිටීම තාත්තෙකුට කොච්චර අමාරුද කියන එක ඕනම කෙනෙක් තේරුම්ගනීවි කියලා මම හිතනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මම දැන් ගෙදර යන්න ඕන. කණ්ඩායමෙන් ඉවත් වෙලා ගියත් අපි සතුව ඇති තාක්ෂණය ඔස්සේ දිගින් දිගටම කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වන බව මම ඔවුන්ට කිව්වා.’’ යැයිද එහිදී ජයවර්ධන මහතා කියා සිටියේය.

තමන් කණ්ඩායම සමග සම්බන්ධ වන විට සෑම දෙයක්ම හොඳට සිදුවෙමින් තිබුණු බවත් ජයවර්ධන මහතා පැවසීය.

නමුත් යම් යම් දෙවල් තරමක් වෙනස් වෙලා තවත් වැඩිදියුණු වුණා නම් එය අපිට වාසි දායක වේව් කියලා මට හිතුණා. ප‍්‍රධානම දේ තමයි එක් එක් ක‍්‍රීඩකයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මම පුහුණුකරුවන් සහ ක‍්‍රීඩකයන් සමග හුඟක් සමීපව කතා කළා. අසාර්ථක වීමේ බිය නොමැතිව අපිට විස්සයි-20 තරග ක‍්‍රීඩා කරන්න බැහැ කියන එක මම ඔවුන්ට තේරුම් කරලා දුන්නා.’’

”එහෙම නොවුණොත් අපිට පීඩනයක් ආවාම ඒ පීඩනය නැවතත් ප‍්‍රතිවාදීන්ගේ පැත්තට හරවන්න අපිට බැරි වෙනවා. ඒ නිසා එම සෑම ක‍්‍රීඩකයෙක් සමගම පෞද්ගලිකවම කතා කළා. විශේෂයන්ම පිතිකරුවන් සමග. එයාලා පන්දුවට පහර දෙන ස්ථානය අනුව එයාලගේ භූමිකාව මොන වගේ විය යුතුද කියන එක මම එයාලට කිව්වා. මොකද අපේ පිතිහරඹ අංශය තව හුඟක් දියුණු වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි දිගටම කටයුතු කරමින් සිටිනවා.’’ යැයි ජයවර්ධන මහතා පැවසීය.

”මම කණ්ඩායමක අඩු පාඩු දකින විදිය තරමක් වෙනස්. හුඟක් වෙලාවට මම කරන්නේ දත්ත විශ්ලේෂණ කරන එක. ඒ හරහා මට හුඟක් ක‍්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දුර්වලතාවන් හොඳින් හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නොමැති අවස්ථාවක කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන්න මට යම් යම් වෙනස් කම් කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි ඒ වෙනකොට ලකුණු අතර හිටපු අවිෂ්කව අපි අංක 4 ට ගෙනාවේ.’’

”මුල් පෙළ පිතිකරුවන් සහ මැද පෙළ පිතිකරුවන් එක්ව ගොඩන`ගන සම්බන්ධතා තරගයක් වෙනස් කිරීමට බෙහෙවින්ම බලපානවා. ඒත් මම එනකොට මැද පෙළ හුඟක් කඩා වැටිලයි තිබුණේ. ඒ නිසා මුල් පෙළ සහ මැද පෙළ අතර තිබුණු බැම්ම බිඳින්න අවිෂ්කව යොදාගන්න ඕන කියලා මම හිතුවා. දත්ත විශ්ලේෂණය කළාම අපිට තේරුණා අවිෂ්ක වැඩියෙන්ම දක්ෂ වැඩි පන්දු රකින්නන් සංඛ්‍යාවක් යාර 30 සීමාවෙන් එළියෙ පන්දු රකින වෙලාවෙදි ලකුණු රැස්කරන්න කියලා. ඒ නිසා අපි ඔහුව අංක 4 ට ගෙනල්ලා ඔහුට වෙනස්ම භූමිකාවක් භාරදුන්නා.’’ යැයි ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

කුෂාන් සුබසිංහ සාජා සිට

advertistmentadvertistment
advertistmentadvertistment