ධන සම්පත් සහ බාධක හෙළිකරන ඔබේ දෛව රේඛාව කොතනද?

3346

අත්ලක පිහිටන ප‍්‍රධාන රේඛාවන් අතරින් දෛව රේඛාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අත්ලේ මුලවූ මැණික් කටුව ප‍්‍රදේශයෙන් ආරම්භවන දෛව රේඛාව හෙවත් ශනි රේඛාව අත්ලේ මැද කුජ තලාව හරහා මැදගිල්ල දෙසට විහිද යයි. මෙය ශනි මණ්ඩලයෙන් අවසන් වන නිසා ශනි රෝඛාව යනුවෙනුත් ධනය ගැන කියැවෙන බැවින් සමහරෙක් ධන රේඛාව යනුවෙනුත් හඳුන්වයි. බොහෝවිට මෙය මැණික් කටුව ප‍්‍රදේශයෙන් ආරම්භ වුවත් සමහමර අයගේ අත්වල චන්ද්‍ර මණ්ඩලය, සිකුරු මණ්ඩලය ජීවන රේඛාව ආදී ස්ථානවලින්ද ආරම්භ වී ඇති බව දැකිය හැකියි. කුමන ස්ථානයකින් පටන් ගත්තත් මෙම රේඛාව ශනි මණ්ඩලය දෙස සෘජුව විහිද යන අතර එමගින් පුද්ගලයාගේ දෛවය පිළිබඳ ශුභාශුභ, ධන සම්පත් දියුණුව බාධක ආදී බොහෝ දේවල් මෙම රේඛාවේ පිහිටීම අනුව හෙළිකර ගත හැක. කිසියම් රේඛාවක් ආරම්භවන ස්ථානයත් අවසන් වන ස්ථානයත් අනුව ශුභ අශුභ වෙනස්වීම් හස්ත රේඛා විද්‍යාවේ සිද්ධාන්තයක් වෙයි. මේ අනුව දෛව රේඛාව පටන් ගැන්මත්, අවසානයත් අනුව ගෙන දෙන පලාපල එකින් එකට වෙනස් ස්වභාවයක් ගනියි.

දෛව රේඛාව මැණික් කටුව ප‍්‍රදේශයෙන් ආරම්භ වී සෘජු රේඛාවක් වශයෙන් ශනි මණ්ඩලය තෙක් විහිද යාම 1. වඩාත්ම සුබපල ගෙනදෙන පිහිටීමක් වෙයි. අනේකවිධ, භව බෝග සම්පත්, ධන සම්පත් ලැබීමට එය හේතුවක් වේ. එමෙන්ම එම රේඛාවෙන් අතු රේඛාවක් රවි මණ්ඩලය දෙසට විහිද ගියේ නම් නොයෙකුත් කලා ශිල්පවලින් ප‍්‍රසිද්ධ වන අයෙකු හඳුනාගත හැකිය. එමෙන්ම රේඛාවක් බුධ මණ්ඩලයට විහිදයා නම් එමගින් ව්‍යාපාරිකයෙක් පෙන්නුම් කරයි. රවි මණ්ඩලයට රේඛා විහිදයාම ලොතරැුයි දිනුම් හදිසි ධන ලාභ ලැබීමටද හේතුවෙයි. නොයෙකුත් බාධක මධ්‍යයේ තමන්ගේ උත්සාහයෙන් උසස් තත්ත්වයට පත්වෙන අයගේ දෛව රේඛාව ආරම්භ වන්නේ බොහෝවිට ජීවන රේඛාව ආශ‍්‍රයෙන්මයි. අයෝමය ආත්ම ශක්තිය හා නොපසුබස්නා වීර්යය ඔවුන්ගේ චරිතයේ කැපීපෙනෙන ලක්‍ෂණයක් වේ.

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී ශනි මණ්ඩලය දෙසට විහිදේ නම් එම ස්ත‍්‍රිය හෝ පුරුෂයා විවාහයෙන් පසු විරුද්ධ ලිංගිකයාගේ උදව්වෙන් දියුණුවට පත්වේ. ඉක්මන් විවාහයක්ද එමගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඔවුන් ඕනෑම ප‍්‍රශ්නයකදී නොසැලී නොබියව මුහුණදෙන කෙනෙක් විය හැක. එවැන්නට වාසනාවන්ත යුග දවියක් ගත කිරීමේ භාග්‍යය ඇත.

මෙම රේඛාව කුජ තුලාවෙන් (අත්ලේ මැද) පටන්ගෙන රවි මණ්ඩලයටත් බුධ මණ්ඩලයට වැටීමත් ධනවතෙකු වීමට හේතුවෙයි. ගුරු මණ්ඩලයට විහිද ගිය රේඛාවෙන් ගරු නම්බු ලැබීමට අසීමිත ආශාවෙන් සිටින අයෙකු හඳුනාගත හැක. මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලය තුළ ගැඹුරුව පිහිටියේ නම් සමාජයේ ප‍්‍රසිද්ධියට පත්වේ.

දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වේනම් හෘදය ආශ‍්‍රිත රෝග හා ආදර සම්බන්ධතා බිඳවැටීමටත් හේතුවිය හැක. සමහර විට හොඳ දෛව රේඛාවක් තිබියදීත් පුද්ගලයන් අවාසනාවන්ත වන අවස්ථාද ඇත. එයට හේතුවන්නේ සමතුලිත නොවූ අතක් තිබීමයි. ඒ සඳහා මණ්ඩලවල හොඳ පිහිටීමක්ද තිබිය යුතුය. දෛව රේඛාව ශීර්ෂ රේඛාවෙන් ආරම්භ වී නම් එම අයගේ දියණුව මැදිවයස පසුවීමෙන් පසුවය. ශනි මණ්ඩලය පසුකර මැදගිල්ලේ පළමු පුරුක දක්වා දිවයන දෛව රේඛාව මහා අවාසනාවන්ත පිහිටීමක් වෙයි. මහමගට වැටෙන යාචකයන්ගේ අත්වල එවැනි පිහිටීම දැකිය හැකිිවේ.

කැඩුම්, බිදුම් නොමැති මනාව පිහිටි දෛව රේඛාවක් ස්ත‍්‍රියකගේ අතේ පිහිටියේ නම් එය සැබෑම වාසනාවකි. පෙර භවයන්හි කරන ලද නොමද පින්බල ඇති ඇය සුපින්වත් පුරුෂයෙකුට භාර්යාව වන්නීය. සමහර අයගේ අත්වල දෛව රේඛාව නොමැතිවීමටද පුළුවන. ඔවුනට දියුණුවක් ලබාගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුවෙයි. දෛව රේඛාව නොමැතිවුවද වෙනත් ශුභ අශුභ ලක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමෙන් අනාගතය පැහැදිලි කරගත හැක.

දෛව රේඛාවට සමාන්තරව භගිනි රේඛාවක් පැහැදිලි ලෙස විහිද ගියහොත් මාර්ග දෙකකින් ආදායම් ලැබීමට හේතුවෙයි. දෛව රේඛාව පළුදු වන්නේ මුලින් හෙවත් රේඛාව පටන් ස්ථානයට නුදුරුව හෝ ශීර්ෂ රේඛාවට පහළින් නම් එම කොටස ළමා කාලය හා සම්බන්ධ වෙයි. එම සීමාවේ කැඞීම්, බිදීම් දූපත් ආදී සලකුණු වී නම් ජීවිතයේ එම කාලසීමාව දුක්සහිත වේ. එම කොටසේදී රේඛාව ප‍්‍රබලව තිබුණි නම් කරදර අවම වන අතර දුබලව තිබුණ නම් මවුපියන් යටතේ ගත කළ කාලය දුක් සහිත වේ. දිළිඳුකම එයට හේතුවිය හැකි අතර දුක් අවසන්වීමෙන් පසුව ස්වඋත්සාහයෙන් දියුණුව ළ`ගා කරගනී. දෛව රේඛාවේ කැඞීම්, බිදීම් ජීවන රටාවේ විවිධ වෙනස්වීම්ද පෙන්නුම් කරයි. රැකියා අහිමිවීම්, වස්තු භංගත්වය ආදී අවාසනාවන්ත සිදුවීම් එමගින් ප‍්‍රකට කරයි. දෛව රේඛාවෙන් පහළට විහිදෙන (අවරෝහණ රේඛා) අනේකවිධ බාධාමෙන්ම බලාපොරොත්තු සුන්වීම් ආදිය අනාවරණය වෙයි. අන් අයගේ ආධාර මගපෙන්වීම් මගින් දියුණුවක් ලබන අයගේ අත්වල ඇති රේඛා ලක්‍ෂණයක් තමයි දෙකට බෙදී ආරම්භ වන දෛව රේඛාව. දෛව රේඛාවේ අග කතිර ලකුණ ද අසුබයි. එමගින් හදිසි විපතක් පෙන්නුම් කරයි. දෛව රේඛාව සිකුරු මණ්ඩලයෙන් පටන්ගෙන ශනි මණ්ඩලයට යොමුවීම සුභ පිහිටීමකි. 3. සෘජු ප‍්‍රතිපත්ති ඇති කාරුණික අයකේ එමගින් හඳුනාගත හැක. තමන් යටතේ පවත්වාගෙන යන ව්‍යාපාරික කටයුතු වලින් මේ අය විශාල දියුණුවක් ලබාගනී. එමෙන්ම සිකුරු මණ්ඩලයෙන් විහිදෙන දෛව රේඛාව කලා කටයුතු වලින් උසස් දියුණුවක් ලැබීමටද කලා ක්‍ෂේත‍්‍රයෙන් ප‍්‍රසිද්ධ වීමටද හේතුවක් වේ.

* හිඹුටානේ පියතිලක ද අල්විස්
දු.අංකය – 0716 212 020 / 0112 419 574
158 හිඹුටාන – මුල්ලේරියාව නව නගරය

advertistmentadvertistment
advertistmentadvertistment