ධම්මික යටතේ තිබූ ආයතන 10 ම ආරක්ෂක අමාත්‍යංශය යටතට

1273

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දහයම යළිත් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන විගමන දොපර්තමේන්තුව, කළම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝ පාක් ඩිවලොප්මන්ට් කම්පැති ප්‍රයිවට් ලිමිටඩ් හා තොරතුරු තාක්‍ෂණ උද්‍යාන මෙමගින් පවරාගෙන ඇත.

මෙයට අමතරව එම අමාත්‍යාංශය යටතේ තිබූ රත්නා ආරක්ෂක සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් ලිමිටඩ් හා හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ද ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත. මෙම ආයතන තුන පසුගිය 07 වැනිදා ජනපතිවරයා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට පවරා තිබිණි.

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා මහතා පසුගියදා එම අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වූ අතර ඊට පෙර ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද කළේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment