ධර්ම යුද්ධය

1155

අති උත්තම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සටන අත්හරින්නේම නැත. මීට අවුරුදු දෙකහමාරකට පෙර පුපුරවනු ලැබූ පාස්කු බෝම්බ මාලාවේදී මියගිය කිතුනුවන්ගේ ලේවල වන්දිය නීත්‍යානුකූල ලෙස අරගන්නා තුරු උන්වහන්සේ සටන අත්හරින බව නොපෙනේ. සහරාන් ප‍්‍රහාරය එල්ල කළේ බෝම්බයෙනි. කාදිනල්තුමා Return එක දෙන්නේ නීතියෙනි. මෙය එක්තරා ආකාරයක ධර්ම යුද්ධයක් බව පෙනේ.

සහරාන් ගේ බෝම්බයට උත්තර සැපයීම සඳහා මේ රටේ කිතුනුවන්ද බෝම්බ අතට ගත්තොත් එතැනදී සන්නද්ධ අරගලයක් හටගනී. කාදිනල්තුමා ඉන් ඔබ්බට ගොස් තම ජනතාවට සිදුවූ හානිය වෙනුවෙන් නීතියේ පිළිසරණ පතති. ඉන්දියාවෙන් නිදහස ලබාගැනීමේ සටනේදී මහත්මා ගාන්ධි විසින් ද ධර්ම යුද්ධයක් දියත් කරන ලදී. ධර්ම යුද්ධයට ඇත්තේ එකම එක තුවක්කුවකි. අහිංසාවාදය නමැති ඒ තුවක්කුව න්‍යායාත්මක වශයෙන් බලන කල ටී 56 ට හෝ කාලතුවක්කුවකට හෝ Scud මිසයිලයකට වඩා බලසම්පන්නය. මිනිසුන් ඒකාරාශී කිරීමට තුවක්කුවලට බැරිය. එහෙත් මිනිසුන් ඒකරාශී කිරීමට අහිංසාවාදයට පුළුවන.

දේශපාලනඥයකුට කළ හැක්කේ ඡුන්දය සඳහා පමණක් මිනිසුන් ස්වල්පයක් එකතු කර ගැනීමටය. එහෙත් කිසිදු ඡුන්දයක් නැතත් කෝටි ගණන් ජනයා එකතු කරගැනීමට ආගමට පුළුවන. එබැවින් අති උත්තම කාදිනල් උතුමාණන් අත තිබෙන අවි ආයුධ ඉතා බලගතුය. ස්වකීය බැතිමතුන් වෙනුවෙන් කාදිනල්තුමා කරන මෙහෙය බෞද්ධයන් වශයෙන්, කිසිදු කුහකකමක් නැතිව අපි ප‍්‍රශංසාවට ලක්කරමු. එය ඉතා කෙටියෙන් කියතොත් කවදාවත් හදා නිම නොවන පන්සලේ ගේට්ටුව සෑදීම සඳහා කරන වියදමට සහ කරන සම්මාදම් එකතුවට වඩා බෙහෙවින් පින්වත්ය.

පාස්කු ප‍්‍රහාරයෙන් අනතුරුව එවකට සිටි ජනාධිපතිවරයා වූ මෛත‍්‍රීපාල සිරිසේන විසින් කොමිසමක් පත්කරන ලදී. මෙය විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකි. පාස්කු කොමිසම පිළිබඳ දීර්ඝ වශයෙන් සාක්ෂි විභාග කිරීමෙන් පසු වාර්තාවක් පිළියෙල කළ එම කොමිසම එහි පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන්නේ මීට මාස නවයකට පෙරය. ජනාධිපති කොමිසමක් යනු දණ්ඩ නීති බලතල සහිත ඒකකයක් නොවේ. කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් සාක්ෂි විභාග කිරීමටත් එම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන් නම් කිරීමටත් ජනාධිපති කොමිසමකට පුළුවන. මෙහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට එම කොමිසමට බලතල නැත. එහෙත් ජනාධිපති කොමිසම් සභා වාර්තාවක් විමසා බලා එහි ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් නඩු ගොනු කිරීමට ආණ්ඩුවට හෙවත් නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන. පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පසුගිය

මාස නවයක කාලය පුරා කිසිදු නෛතික පියවරක් ගෙන ඇති බවක් නොපෙනේ. ශ‍්‍රී ලංකාවේ කොමිෂන් සභාවලට ඉතිහාසයක් තිබේ. අපේ මතකය නිවැරදි නම් රටට වැදගත් බලපෑමක් කළ පළමුවැනි කොමිෂන් සභාව වූයේ 1971 දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් පත්කරන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවය. (අප වැරදි නම් කමත්වා ; තතු දන්නෝ අප නිවැරදි කරත්වා) සම්පූර්ණ අධිකරණ බලතල සහිත මේ කොමිසම පිහිටවන ලද්දේම 71 කැරලිකරුවන් කුරුසියේ ඇන ගැසීම පිණිසය. කොමිසම ඉදිරියේ වරදකරුවන් වූ ජ වි පෙ කැරලිකරුවන් විශාල පිරිසක් සිර දඬුවම් ලැබූහ. 77 දී බලයට පත් ජේ ආර් ජයවර්ධන මහතා පැවති ආණ්ඩුවට සහ එහි නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ට පාඩමක් ඉගැන්වීමටත් හිරේ සිටින කැරලිකරුවන් දිනාගෙන දේශපාලන වාසියක් ලබාගැනීමත් සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කළේය. එහිදී හිරේ සිටි දේශපාලන කැරලිකරුවන් පමණක් නොව එම කොමිසම යටතේම හිරේ ගිය විදේශ විනිමය වංචනිකයන් පිරිසක්ද නිදහස් වූහ.

මෙහිදී ජේ ආර් කල්පනා කර තිබුනේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මැරීම නමැති ඉතා ඉපැරණි, දිරාගිය, පුස් කෑ කියමනට අනුව කැරලිකරුවන් දිනාගන්නා අතරම හිරේ ල`ගිමින් සිටියද ආර්ථික බලවතුන් වූ විදේශ විනිමය වංචනිකයන් ටික සාක්කුවේ දමාගැනීමටය. එහෙත් එම ගලෙන් මලේ එක කුරුල්ලකු පමණි. අනෙක් කුරුල්ලා වූ ජ වි පෙ කැරලිකරුවන් ජේ ආර් ගේ සාක්කුවට නොවැටී අනෙක් පැත්ත ගසා වෙනම සංවිධානය වී ජනතා විමුක්ති පෙරමුණ නැවතත් පිහිටු වූහ. ජේ ආර් ගේ ආණ්ඩු කාලයේ ජනාධිපති කොමිෂන් රාශියක් පත්කරන ලදී. ඒ එකකවත් නිර්දේශ ක‍්‍රියාත්මක වූයේ නැත. ඉන්පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පිහිටුවන ලද නමුදු ඒ එකකවත් නිර්දේශ ක‍්‍රියාත්මක කළේ නැත. ක‍්‍රියාත්මක නොවූ නිර්දේශ සහිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා එකතුකර ලේඛනාගාරයක් පිහිටුවා මතු පරම්පරාවට කියවා බැලීම සඳහා පරෙස්සමට තැබීම මේ ආණ්ඩුවේ යුතුකමය. එහෙත් පාස්කු බෝම්බ කොමිෂන් වාර්තාව නිර්දේශ ක‍්‍රියාත්මක නොවූ වාර්තාවක් ලෙස කිසිවිටකත් එම ලේඛනාගාරයට යා යුතු නැත.

මේ ආණ්ඩුව 2019 දී බලයට පත්වන විට දුන් ප‍්‍රමුඛ පොරොන්දුවක් වූයේ පාස්කු බෝම්බ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවය. මේ වාර්තාව කියවීමේ පහසුකම් සලසා දෙන්නැයි කාදිනල්තුමා ඉල්ලීමක් කර තිබේ. මේ සම්පූර්ණ වාර්තාව ලේඛන 22 න් හා කාණ්ඩ 5 න් යුක්තය. ඒවා අතරින් නිකුත් වී ඇත්තේ පළමුවන කාණ්ඩය පමණි. දැනට තිබෙන තොරතුරුවලට අනුව පාස්කු බෝම්බය නොතකා හැරීම පිළිබඳ වගකීම මුළුමනින්ම හෝ ඉන් කොටසක් හෝ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිට පැවරී තිබේ. පවතින ආණ්ඩුවේ ප‍්‍රමුඛ හවුල්කරුවා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පාස්කු බෝම්බ කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්නට ගොස් එමගින් ස්වකීය නායකයාට අගතියක් වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ගැළවී යෑමට ඉඩ තිබේ. එවිට ආණ්ඩුව අස්ථාවරය. මේ නිසා පාස්කු බෝම්බ වාර්තාවද පාස්කු බෝම්බය තරම්ම බලගතුය. එය දේශපාලන බෝම්බයකි.

කෙසේ හෝ වේවා කාදිනල්තුමාගේ ඉල්ලීමට සවන් දී පාස්කු බෝම්බයෙන් අගතියට පත් අය වෙනුවෙන් කිසියම් සහනයක් සැපයීම ආණ්ඩුවේ වගකීමය. බෝම්බයෙන් මියගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි දැනටමත් ගෙවා තිබේ. කාදිනල්තුමා ඉල්ලන්නේ සිද්ධියට වගකිව යුතු අයට දඬුවමකුත් දෙන ලෙසය. මේ පිළිබඳව කරන ඉල්ලීම්වල ස්වරය ක‍්‍රමානුකූලව දැඩි කිරීමට කාදිනල්තුමා කටයුතු කරන බව පෙනේ. මේ ස්වරය දැඩිවන තරමට එය ලෝක කතෝලික ප‍්‍රජාවට ඇහීම වැඩි බව අප මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment