ධවල මන්දිරය දෙදර වූ කාබුල් බෝම්බය

262

කාබුල් නුවර තලේබාන් පාලනයට නතුව දින 11ක් ගතවෙද්දී සිදුවූ දැවැන්ත බෝම්බ ප‍්‍රහාරය ඒ නුවර වැසියන් පමණක් නොව ධවල මන්දිරය ද කම්පනය කර තිබේ. ඉකුත් 15 වැනිදා හෙලිකොප්ටර් මගින් ඇමරිකානුවන් කාබුල් තානාපති කාර්යාලයේ සිට ගුවන්තොටුපළට රැගෙන යන අයුරු දර්ශනය වන විට බොහෝ දෙනකුට 1975 සයිගොන් බිඳවැටීම මතක් විය. ටි‍්‍රලියන දෙකක් වියදම් කර හිස් අතින් කාබුල් හැර යන්නට හදනවිට නැවතත් බෝම්බ ප‍්‍රහාරවලට මුහුණ දෙන්නට ඇමරිකාවට සිදුව තිබේ. මේ වනවිට හෙළිවන තොරතුරු අනුව බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල් හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දොරටුව අසල පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකට මැරීන් සෙබළු දුසිමක් බිළිව තිබේ. මෙයින් කම්පනයට පත් ජනපති ජෝ බයිඩන් පවසන්නේ මේ ප‍්‍රහාරය පිටුපස සිටින සියල්ලන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. කාබුල් නුවර ඉකුත් 15 වැනිදා තලේබාන් පාලනයට නතුවෙද්දී පෙන්ටගන බලධාරීන්ගේ මුහුණු රතුවිය. ඇෆ්ගන් හමුදාව තලේබාන්වරුන්ට එරෙහිව එකදු උණ්ඩයක්වත් භාවිතා නොකිරීම ඇමරිකානුවන්ගේ විමතියට හේතු විය. දැන් සිදුවන්නේ කුමක්ද? කාබුල් ගුවන්තොටුපලේ රැුඳී සිටින ඇමරිකානුවන් පවා මුදාගැනීමට නොහැකි අනාරක්‍ෂිත තත්ත්වයක් මතුවීම නොවේද? මෙය බයිඩන් පාලනය තවදුරටත් අපහසුවට පත් කරන සිදුවීමකි.

 කාබුල් බෝම්බයෙන් කියැවෙන ඇත්ත කතාව කුමක්ද? ඇෆ්ගනිස්ථානය අනාරක්‍ෂිත වනවිට කලාපයම අනාරක්‍ෂිත වන බව නොවේද? ඇත්තෙන්ම මෙම බෝම්බය පුපුරවා ඇත්තේ එරට කි‍්‍රයාත්මක වන අයිසිස් කල්ලිය විසිනි. මධ්‍යම ආසියාවේ ඉස්ලාමික රාජ්‍යයක් ඇතිකිරීම වෙනුවෙන් සටන් වදින මෙම අයිසිස් කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් තලේබාන්වරුන්ටත් වඩා සැහැසිය. ඔවුන් පාලනය කිරීමට තලේබාන්වරුන්ටත් නොහැකිය. සිරියාවෙන් අයිසිස් පරාජය වනවිට පිරිසක් කෙලින්ම පැමිණියේ ඇෆ්ගන් දේශය වෙතය. ඔවුහු කලක් තිස්සේ නිහඬව සිට දැන් කරළියට පැමිණ ඇත. ජිහාදය දැන් වේගවත් වී ඇත්තේ මැරීන් සෙබළු පවා මරාගෙන මැරෙන බෝම්බවල ඉලක්ක බවට පත්කරමිනි. මේ අයිසිස් බෝම්බය නිසා ලොව පුරා විසිරී නිහඬව සිටින ජිහාද් කණ්ඩායම්වලට උද්දීපනයක් ලැබීම වැළැක්විය නොහැක. වසංගතයෙන් පීඩා විඳින ලෝකය තවත් අනාරක්‍ෂිත වන්නේ අයිසිස් සංවිධානය යළි කරළියට පැමිණීම නිසාය.

 මේ බෝම්බය නිසා දකුණු ආසියානු කලාපයම අනාරක්‍ෂිත වී ඇත. ඉදිරියටත් නිකරුණේ බෝම්බ කමින් කාබුල් ගුවන්තොටුපළ ආරක්‍ෂා කරමින් සිටිනවාද නැත්නම් බැග්රාන් ගුවන්තොටුපළ අතහැර ගියා සේ පැන යනවාද යන උභතෝකෝටිකයකට ඇමරිකාව මුහුණ දෙයි. බි‍්‍රතාන්‍ය සෙබළු සිය ගණනක් ද කාබුල් ගුවන්තොටුපලේ රැුඳී සිටිති. රටින් එළියට යෑමට පොරකන ඇෆ්ගන් වැසියන් අතරින්ම මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මතුවිය. ඉදිරියට එසේ නොවන්නේ යැයි කවරකුට කිව හැකිද? අරාජිකත්වයේ පතුලටම කාබුල් නුවර ඇදවැටී ඇත. හමිඞ්කාර්සායි ගුවන්තොටුපලේ රැුඳී සිටින විදේශීය හමුදා ද බරපතළ අනතුරකට මුහුණදී සිටී. යළිත් වරක් අයිසිස් කණ්ඩායම කි‍්‍රයාත්මක නොවන්නේ යැයි කවරකුට කිව හැකිද? කුඩා දරුවන්,ස්තී‍්‍රන්, මහල්ලන් ඇතුළු සියලූ දෙනා මේ බෝම්බයට බිලිවී ඇතැත් අයිසිස් සංවිධානය අහිංසක මනුෂ්‍ය ජීවිත ගැන කිසිම තැකීමක් දක්වන්නේ නැත. ඔවුනට අවශ්‍ය තම ඉලක්කය කෙසේ හෝ සපුරා ගැනීම පමණකි.

 පසුගිය දින කිහිපය පුරාම කාබුල් ගුවන්තොටුපළට ප‍්‍රහාරයක් එල්ලවීමේ හැකියාව ඉතා වැඩි බව ඇමරිකානු බුද්ධි අංශ පවා අනතුරු අ`ගවා තිබිණි. තලේබාන් සංවිධානය පවා කියන්නේ තමන් මේ අනතුරු ඇ`ගවීම සිදුකළ බවයි. එහෙත් ඒ කිසිම අනතුරු ඇගවීමකින් සිදුවූ යහපතක් නැත. සුපුරුදු ලෙස ඇෆ්ගන් වැසියෝ ගුවන්තොටුපලේ ගේට්ටු අසල පොරකමින් සිටින විට අයිසිස් ත‍්‍රස්තයෝ කි‍්‍රයාත්මක විය. සියල්ල සැණෙකින් දැවී අළු විය.

advertistmentadvertistment
advertistmentadvertistment