ධාරාවි මුඩුක්කුව (ඉන්දියාව) කජීමාවත්ත (ශ්‍රී ලංකාව)

1252

තොටළඟ කජීමාවත්ත පසුගිය කාලය තුළ තුන් වතාවක් ගිනිගත් බව දැනගැනීමට තිබේ. ඉතා කුඩා ප්‍රදේශයක පිහිටි ගෙවල් 80 කින් සමන්විත මුඩුක්කුවක් වූ කජීමාවත්ත ඒ ආකාරයෙන් නිතර නිතර ගිනි ගැනීම පුදුමයක් නොවේ. එකිනෙකට යාවූ ලෑලි ගෙවල් පිහිටි හැම මුඩුක්කු සංකීර්ණයකම මෙම ප්‍රශ්නය තිබේ. ලෝකයේ මුඩුක්කු සංකල්පය හා සසඳන කල කජීමාවත්ත අල්පෙනිති තුඩකි. ලෝකයේ ලොකුම මුඩුක්කුව වන පාකිස්තානයේ කරච්චියේ පිහිටි ඔරන්ජි මුඩුක්කුවේ ගෙවල් ලක්‍ෂයක් ඇත. ලෝකයේ දෙවන විශාලම මුඩුක්කුව මැක්සිකෝවේ පිහිටි අතර එහි ජනගහනය ලක්‍ෂ දොළහකි. ඉන්දියාවේ මුම්බායි නගරයේ ධාරාවි යනුවෙන් මුඩුක්කුවක් ඇත. මෙහි ප්‍රමාණය අක්කර පන්සිය විස්සකි. මේ කුඩා ප්‍රදේශය තුළ දසලක්‍ෂයක ජනගහනයක් ඇත. ධාරාවි මුඩුක්කුව තුළ තිබෙන ඇතැම් ගෙවල් තට්ටු පහේ හයේ ඒවාය. එවැනි ගෙවල් තුළ විශාල පිරිසක් පැක් කිරීමට හැකි නිසා ධාරාවි ප්‍රදේශය තුළ දසලක්‍ෂයක් ජීවත්වීම ධාරාවි මුඩුක්කුවට නිකමටවත් ගිනි ඇවිලුනොත් එම ගින්න ඉවර වන්නේ ලෝකයේ ලොකුම ඛේදවාචක වලින් එකක් නිර්මාණය කරමිනි. එහෙත් මනුෂ්‍යයන් කරුණාව ඇති කිසියම් බලවේගයක් විසින් මෙවැනි මුඩුක්කු ප්‍රදේශවල වැසියන් සෑම විටම ආරක්‍ෂා කරනු ලැබේ.

කොරෝනා වසංගතය පැතිර ගිය අවස්ථාවේ ධාරාවි මුඩුක්කුවට එම රෝගය වැළඳුනේ නම් ලෝකයේ ලොකුම කොරෝනා කේන්ද්‍රය එය වීමට ඉඩ තිබිණ. එහෙත් ධාරාවි වැසියෝ ඉතා පුදුම සහගත ප්‍රතිශක්තීකරණයක් ඇති පිරිසක් වෙති. එබැවින් එම මුඩුක්කුවේ හයසිය දෙනකුට වඩා කොරෝනාවට ගොදුරු වූයේ නැත. කජීමාවත්තේ ගෙවල් ගණන අසූවක් පමණි. එබැවින් භෞතික මට්ටමින් බලන කල කජීමාවත්තේ ගෙවල් වලට ගින්නෙන් වූ හානිය භෞතික වශයෙන් පූරණය කිරීම සඳහා ලොකු මුදලක් වැයවන්නේ නැත. ගොඩනැඟිලි උපකරණ ටික සපයා දිය හැකිනම් මාසයක් ඇතුළත එම ගෙවල් අසූව සම්පූර්ණයෙන් ගොඩනංවා දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායට පුළුවන. එසේ ගෙවල් ඉදිකරදෙන බවට යුද හමුදාව පොරොන්දුවක්ද වී ඇත. මේ ඉදිකිරීම් සඳහා වුවමනා කරන ගොඩනැඟිලි ද්‍රව්‍ය වහාම සපයා දෙන ලෙසත් හානියට පත් ගෙවල්වල වැසියන්ට වහාම සහන සලසා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නියෝග කරනු ලැබ ඇත. කජීමාවත්තේ වැසියන් කියන පරිදි ඔවුන් එම ප්‍රදේශයට ගෙනවිත් දමන ලද්දේ මීට අවුරුදු දහයකට පෙර තිබුණු ආණ්ඩුවය. හය මාසයක් තුළ ඔවුනට ගෙවල් ලබාදෙන බව එකී ආණ්ඩුව පොරොන්දු වී තිබිණ. එහෙත් ඒ ආණ්ඩුව පරාජයට පත්වී තවත් ආණ්ඩු දෙකකුත් පිහිටුවීමෙන් පසුව තවමත් එම පොරොන්දුව ඉටුවී නැත. කජීමාවත්තේ සමහර වැසියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් තට්ටු නිවාස ලබාදී ඇති බව කියනු ලැබේ. එම තට්ටු නිවාස ඔවුන් විසින් කුලියට දෙනු ලැබ තිබේලු! එවැනි වැසියන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දී ෆ්ලැට් වල පදිංචි නොකිරීම ආණ්ඩුවේ වරද නොව කොළඹ පාලනය කරන දේශපාලනඥයන්ගේ වරද බව අපි කියමු.

මුඩුක්කුව යනු අපහාසාත්මක වචනයක් නොවේ. කිසියම් තැනක පිහිටි, තාවකාලික ගොඩනැගිලි ද්‍රව්‍ය වලින් සාදන ලද, ටකරන් හෝ පොල්අතු සෙවිලි කළ, වැසිකිළි පහසුකම් ඉතාම අඩු තාවකාලික නිවාස සමූහයන් හැඳින්වීමට සිංහලෙන් මුඩුක්කුව යන පදයත් ඉංග්‍රීසියෙන් SLUM පදයත් යොදනු ලැබේ. ලෝකයේ දියුණු නොදියුණු හැම රටකම මුඩුක්කු ඇත. උදාහරණයක් ලෙස ලොව ඉතාම ධනවත් රටවල් ලෙස සැලකෙන ඩුබායි සහ ඇමෙරිකාව යන රටවලද මුඩුක්කු නිවාස තිබේ. ඩුබායි නගරයේ නගර සීමාවල තිබෙන මුඩුක්කු ඉතාම අපිරිසිදු සහ ගඳ ගහන තත්ත්වයේ පවතින අතර ඒවායේ වැඩිවශයෙන් ජීවත් වන්නෝ ඉන්දියානු, බංගලාදේශ සහ ලාංකික කම්කරුවෝය. එහෙත් මේ හැම මුඩුක්කු නිවාසයකම විශාල රූපවාහිනියක් ඇති අතර හැම මුඩුක්කු වැසියකුටම ස්මාර්ට් ෆෝන් එකක් තිබේ. ශ්‍රී ලංකාවේ මුඩුක්කු නිවාසවල තත්ත්වයද මීට නොවෙනස්ය. කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ‘වත්ත’ නමින් හැඳින්වෙන නිවාස යෝජනා ක්‍රම තිබෙන අතර මේවාද එක ළඟ පිහිටි තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ හෝ තට්ටු තුනේ ගෙවල් වලින් සමන්විතය.

මේ හැම ගෙදරකම ෆ්‍රිජ්, ෆෑන්, ටීවී සහ ස්මාර්ට් ෆෝන් ඇත. මේ ගෙවල් වැඩි හරියක ජනතාව කවර රැකියාවක් කරන්නේද හඳුනාගැනීමට නොහැකි නමුදු ඔවුන් අත මිල මුදල්ද ගැවසේ. මේ පිරිස සතු සමාජ මතවාදය වෙනස්ය. ඔවුන් කොළඹ කුරුඳුවත්තෙන් එපාර්මන්ට් ලැබුණත් තම වත්තේ පිහිටි සකලාංග සම්පූර්ණ කුඩා ගේ කබල අත්හරින්නට කැමති නැත. ධාරාවි මුඩුක්කුවේද එම ප්‍රශ්නය ඇත. මුඩුක්කු නිවාස සමූහයක හෝ වත්තක ජීවත් වුණු ප්‍රජාව ඉතා දැඩි ලෙස එකිනෙකා සමඟ බැඳී සිටිති. මේ නිසා ඔවුහු සිය පෞද්ගලිකත්වය පවා එකිනෙකා සමඟ බෙදා හදාගනිති. මේ වතුවල හෝ මුඩුක්කුවල එකෙකුට හෝ පිටතින් පැමිණ පහර දෙන ලද්දේ නම් ඒ වත්තේ හෝ මුඩුක්කුවේ සිටින සියලුදෙනා පිටතින් පැමිණෙන එකා මරා අනුභව කිරීමට තරම් ඒකාබද්ධ රෞද්‍ර භාවයකට පත්වෙති. එසේම මුඩුක්කු හෝ වතු තුළ ඇතිවන අභ්‍යන්තර ගැටලුවලදීද ඔවුහු තරගෙට එකිනෙකා මරා ගනිති. මෙය සංකීර්ණ සමාජ ප්‍රශ්නය විසඳීමට නම් ඒවායේ ජීවත්වන ජනයා සම්පූර්ණයෙන්ම Brain Wash කළ යුතුය. එහෙත් එම වොෂ් කිරීම ඇමෙරිකාවේ තිබෙන මුඩුක්කු වල වත් සිදුකිරීමට බැරිය. එබැවින් මේ උප සංස්කෘතිය සමරිසි උපසංස්කෘතිය මෙන් තව බොහෝ කාලයක් එසේම පවතිනවා ඇත. ආණ්ඩුවලට කළ හැක්කේ මුඩුක්කු සහ වතු වල සිටින වැසියන්ගේ යටිතල පහසුකම් වර්ධනය කිරීමත් ඔවුන්ගේ සෞඛ්‍ය නගා සිටුවීමත්, පිරිසිදු භාවය ආරක්‍ෂා කිරීමත් පමණි. මතක තබාගන්න! මේ මුඩුක්කු වල සහ වතු වල ‘ඉන්කම්ටැක්ස්’ ගෙවන කට්ටියද සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment