ධාවනය වූ බසයේ රියැදුරු හෘදයාබාධයෙන් මරුට බසය වෙළෙඳ සලකට කඩාවදී

622

නිවිතිගල මාරපන ප්‍රදේශයේදී බස් රථයක් ධාවනය කරමින් සිටියදී හෘදයාබාධයක් වැළඳීමෙන් එහි රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව මහා මාර්ගය අයිනේ වෙළෙඳසලකට අලාභහානි කරමින් බසය නතර වී ඇති අතර රියැදුරු මරුමුවට පත් විය.

රත්නපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය විය. පුද්ගලික බසයක් පදවාගෙනගිය 30 හැවිරිදි රියැදුරුට හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් බසය වෙළෙඳසලක්ද කඩාගෙන ගොස් හෘදයාබාධය නිසා ඔහු රියැදුරු අසුනේම මරුමුවට පත්ව තිබේ මහාඅර උඩවලව පදිංචි ඒ. ඒ. ඉෂංක කරුණාරත්න නම් 30 හැවිරිදි අයෙකු මෙලෙස මරණයට පත්විය.

රත්නපුර හදිසි මරණ පරික්ෂක ටී. එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් ඉකුත් 14 වැනිදා මෙම හදිසි මරණ පරීක්ෂණය පැවැත්විය.

හදිසි මරණ පරීක්ෂණයේදි සාක්කි දුන් එස්. ආර්. ක්‍රිශාන්ත මහතා මෙසේ පැවසීය. මියගිය අයත් මමත් නිවිතිගල රත්නපුර පුද්ගලික බස්රථයක සේවය කළා. මම එහි කොන්දොස්තර ලෙසත් මියගිය ඉෂංක රියැදුරු ලෙසත් සේවය කළා.

සිද්ධිය වූ දින රාත්‍රි අටට පමණ එදින අපේ බසයේ අවසන් ගමන්වාරය රත්නපුර සිට නිවිතිගලට ගොස් මගීන් බැස්සුවා. අපි දෙදෙනාම නැවතී සිටියේ බසයේ අයිතිකරුගේ නිවසේ. ඒ නිසා මියගිය ඉෂංක බස්රථය පදවාගෙන මාරපන බලා ගමන් කළා. අයිතිකරුගේ නිවෙසට ආසන්නයේදී රියැදුරු එකවරම ඔහුගේ අසුනේ දකුණු පැත්තට ඇලවුණා. එවිට මම කීවා විහිළු කරන්න එපා බසය කැලයට යැයි කියලා. එවිට බසය දකුණු පැත්තට වන්නට තිබූ කඩයක් කඩාගෙන ඒ තුළට ගොස් නතර වුණා. රියැදුරු ඉෂංක වාහනයකින් රත්නපුර රෝහලට රැගෙන ගියා. ඔහු මියගිය බව දැනගත්තා.

රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිගමනය කළේ හදිසි හෘදයාබාධයකින් මෙම මරණය සිදුවී ඇති බවයි.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment