ධීවරයන්ට ගොවීන්ට සහන ඉල්ලා ටීඑන්ඒ උ/නැ විරෝධතා අරඹයි – පළමුවැන්න ලෙස ඊයේ කල්ලපාඩු වෙරළේ බෝට්ටු පෙළපාලියක්

120

ධීවරයන්ට හා ගොවීන්ට සහන ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර පළාත්වල පවත්වනු ලබන විරෝධතා මාලාවේ පළමුවැන්න මුලතිව් කල්ලපාඩු වෙරළේ සිට ඊයේ (17දා) උදෑසන ආරම්භ විය.

උතුරේ ධීවරයන් විශාල පිරිසක් එක්ව මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා සංවිධානය කොට තිබූ බෝට්ටු පෙළපාලියට දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීධරන්, රාසමානික්කම් චානක්‍යන් යන මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙම බෝට්ටු පෙළපාලියේ මූලික අරමුණ වන්නේ උතුරු නැගෙනහිර ධීවරයන්ට රජයෙන් සහන ලබා දෙන මෙන් ඉල්ලා සිටීම හා ඉන්දීය ධීවරයන් උතුරේ මත්ස්‍ය සම්පත විනාශ කිරීමට විරෝධය පළ කිරීමයි. ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට ටෝලර් යාත‍්‍රාවලින් පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලමින් බැනර් ගැසූ බෝට්ටුවල නැගුණු ධීවරයෝ දහසක් පමණ මුලතිව් සිට පේදුරුතුඩුව බලා ගමන් කළහ.

17 හා 18 දෙදින පැවැත්වෙන මෙම විරෝධතාවේදී 18 දා උතුරු නැගෙනහිර පළාතේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ඉදිරිපිටම විරෝධතාවල නිරත වෙමින් ගොවීන් රජයෙන් පොහොර සහනාධාරය මෙන්ම සෙසු සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය විසින් දියත් කරනු ලබන මෙම විරෝධතා මාලාවට නායකත්වය දෙන්නේ එම පක්ෂයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment