ධීවර ගැටලුවලට එරෙහිව වෙදආරච්චි මැතිසබේ බිම ඉඳ ගනී

50

මෙරට ධීවර ජනතාවට මේ වන විට මුහුණපෑමට සිදුව තිබෙන දුෂ්කරතාවන්ට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ බිම වාඩි වී උපවාසයක නිරත විය.

කළු පැහැති ඇඳුමෙන් සැරසී අයවැය විවාදයේ අදහස් දක්වමින් සිටි මන්ත්‍රීවරයා ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වැඩි වශයෙන් කතා කළේය. සිය කතාව අවසානයේ එම ගැටලුවලට විරෝධය පළ කිරීමට තමා සභාව මධ්‍යයේ සිට උපවාසයක් ආරම්භ කරන බව කීය. ජාත්‍යන්තර ධීවර දිනයද ඊයේට යෙදී තිබුණු අතර මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කොට සභාව මැදට පැමිණ ධීවර ගැටලු ගැන කියමින් කෑකෝ ගසන්නට විය.

ඒ වන විට මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා වෙදආරච්චි මන්ත්‍රීවරයාට නැගිට ගොස් සිය ආසනයේ ඉඳගන්නා මෙන් කිහිප විටක්ම අවවාද කළේය.

විනාඩි කිහිපයක් සභා ගැබ මැද වාඩි වී කෑකෝ ගසමින් සිටි මන්ත්‍රීවරයාව දයාසිරි ජයසේකර සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ සභා මධ්‍යයෙන් ඉවත් කර ගෙන යනු දක්නට ලැබිණි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment