නගරාධිපති යකා නටපු ලුණු ලේවායේ අලකලංචිය

489

හම්බන්තොට ලූණු ලේවායේ දබරය තවමත් නොවිසඳුණු ගැටලූවක්ය. නීතිය හරි හැටි ක‍්‍රියාත්මක නොවන තැන මැරයන්ගේ පාපන්දු පිටියක් බවට ලූණු ලේවාය පත් වූ අයුරු දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. මේ සති අන්තය උදා වන විටත් ලූණු ලේවායේ රාජ්‍ය දේපලවලට හානි කළ දාමරිකයන් නීතිය හමුවට ගෙන ඒමට පොලීසියට නොහැකි වී ඇත. විරෝධතා උපවාස කුමක් වුවත් කිසිවෙකුට රාජ්‍ය දේපලවලට හානී කිරීමේ වරමක් නැත. එවැනි පිරිස් නිදැල්ලේ සිටීම යනු නීතියේ පිළිසරණ පිළිබඳ නරක පණිවිඩයක් බව මතක් කරමින් හම්බන්තොට ලූණු රත් කළ මේ ගැටුම කුමක්දැයි බලමු.

තනතුරින් ඉවත් කරන ලෙස උපවාසකරුවන් ඉල්ලන නීතිඥ නිශාන්ත සඳභරණ හම්බන්තොට ලංකා සෝල්ට් ආයතනයේ සභාපති පුටුවට එන්නේ ඉකුත් යහපාලන සමයේ පැවති දින 52 ආණ්ඩුව පැමිණි විටය. ඔහු එදා එම ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ එහි පැවති සුහද හමුව තුළ ”කැපීපෙනෙන චරිතයක් වූයේ අද ඔහුට එරෙහිව අවි අමෝරාගෙන සිටින හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රය. ඔහු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක්ද එහි පැමිණ වත්මන් ලූණු සභාපතිවරයාට සහාය පළ කළේය. දින 52න් පසු ආණ්ඩුව මාරුවත් එක්ක යළි ලූණු ලේවායේ මුල් පුටුවේ වෙනසක් වීය. පසුව පැවති මැතිවරණයෙන් පොහොට්ටු ආණ්ඩු බලයට පත්විමත් සමග යළි හම්බන්තොට ලූණු ලේවායේ සභාපති පුටුව හිමි වූයේ නීතිඥ නිශාන්ත සඳභරණ මහතාටය. දෙවන වරට ද ඔහු ලූණු ලේවායේ සභාපති පුටුවට තේරී පත් වූ අවස්ථාවේ පැවැති උත්සව සභාවේ ප‍්‍රධාන කථිකයකු බවට පත් වූයේද හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍රය. එලෙස පැවති මිත‍්‍රත්වය අද වන විට හම්බන්තොට ලේවායේ ලූණු කැට පුපුරන තරමට රත් වී තිබේ.

මේ රත්වීම පිටස්තර ලෝකයට පෙනෙන්නේ ලංකා ලූණු සමාගමේ වත්මන් සභාපතිවරයා වන නීතිඥ නිශාන්ත සඳභරණ එම තනතුරින් පහ කරන ලෙස බලකරමින් හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු හම්බන්තොට නාගරික මන්ත‍්‍රිවරුන් කණ්ඩායමක්, ලූණු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 27 වන දින ලේවාය ඉදිරිපිට ආම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් සමගය.

නගරාධිපතිවරයා මේ සත්‍යග‍්‍රහය අරඹමින් එදා කීවේ වෙනත් කතාවකි.

නගරාධිපති යකා නටපු ලුණු ලේවායේ අලකලංචිය

”ලූණු ලේවායේ සභාපතිවරයා සෞභාගයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පයින් ගහලා ඔහුට ඕන විදියට අත්තනෝමතික විදියට ලූණු ලේවායේ පරිපාලන කටයුතු සිදුකරමින් යනවා. මෙච්චර කාලයක් පාරම්පරිකව ලූණු කර්මාන්තය සිදුකරගෙන ආ හම්බන්තොට ලූණු ව්‍යාපාරිකයන් බිමට ඇද දමමින් අද ලේවායේ සභාපතිවරයාගේ ඥාතීන් දෙදෙනකුට ලූණු සමාගමේ ලාභය බෙදී යන ආකාරයට කටයුතු කර තිබෙනවා. එදා ව්‍යාපාරිකයන්ට මේ හම්බන්තොට ජනතාවට නිදහසේ ලූණු ටික ගන්න තිබුණු අවස්ථාව වත්මන් සභාපතිවරයා අහිමි කරලා තියෙනවා. මේ නිසා අද මෙම සභාපතිවරයාගේ ක‍්‍රියා කලාපය ලූණු ව්‍යාපාරිකයාට වගේම සමස්ත ලූණු පරිභෝජනය කරන පිරිස් සඳහා ද ගැටලූවක් බවට පත් වෙලා තිබෙනවා. ලූණු ව්‍යාපාරිකයන්ට හා හම්බන්තොට ජනතාවට සිදුවෙලා තිබෙන මෙම අසාධාරණය පිළිබඳව ඔවුන් නගරාධිපතිවරයා ලෙස මට කිව්වා. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකම ලේවායේ පාලනාධිකාරියෙන් විමසීම් කළත් කිසිදු ප‍්‍රතිපලයක් වුණේ නෑ. ඒ නිසා තමයි නගරයේ මුල් පුරවැසියා ලෙස මං ජනතාව සමග, ලූණු ව්‍යාපාරිකයන් සමග එකතු වුණේ. මම විතරක් නෙමේ මේ සභාපතිවරයාගේ මේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයට විරෝධය පළකරමින් මහජන ඡන්දයෙන් පත් වුණු නාගරික මන්ත‍්‍රි කණ්ඩායමත් එකතු වෙලා ඉන්නවා. මේ වන විට නාගරික මන්තී‍්‍රවරු ඇතුළු පිරිස මේ ස්ථානයේ දින 20ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වෙනවා. අපේ එකම ඉල්ලීම වන්නේ ලූණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන්න කියලයි.’’

උපවාසකරුවන්ගේ සටන් පාඨය වූයේ සභාපතිවරයා ඉවත් කරන ලද ලූණු විකුණුම් ඒජන්තවරුන් කීප දෙනෙක්ට යළි ඒම අවස්ථාව ලබා දෙන ලෙසය. එම සටන් පාඨය සමග නගරාධිපතිවරයා උපවාසයකට වාඩි වීමට පෙර සුනාමි සැමරුම් උත්සවයකදී සභාපතිවරයාත් නගරාධිපතිවරයාත් මුහුණට මුහුණ හමුවිය. මුලින්ම ලූණු විකුණුම් ඒජන්තවරුන් ගැන ප‍්‍රශ්නය ඇදුනේ එහිදී බව නිශාන්ත සඳභරණ කියන්නේය.

‘‘නගරාධිපතිවරයායි මායි අතර විරසකයක් තිබුණේ නෑ. ඒත් සුනාමි සැමරුම් උත්සවයේදී පොඩි සිදුවීමක් වුණා. නගරාධිපතිවරයා තවත් කෙනෙක් එක්ක මගේ ළඟට ඇවිත් කිව්වා මෙයාට ආයෙත් ලූණු ඒජන්සිය දෙන්න කියලා. නමුත් ඒ වෙලාවේම මම ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළා. ඒකට හේතුවක් පැහැදිලි කළා. ඔහු අත ගොඩක් වැරදි තියනවා. හම්බන්තොට ලූණු ලේවායේ ලූණු මාෆියාවට සම්බන්ධ කෙනෙක් ඔහු. ඒ නිසා නගරාධිපතිවරයාගේ ඉල්ලීම මම ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනකන් හොඳට කතා කර කර හිටපු නගරාධිපතිවරයා එතකොටම කියනවා.

නගරාධිපති යකා නටපු ලුණු ලේවායේ අලකලංචිය

”උඹ කොහොමද එහෙම කියන්නෙ. මූ අපේ එකෙක්. මූට ලූණු පර්මිට් එක දෙන්නම ඕන.’’ එහෙම කියපු නගරාධිපතිවරයා ‘‘උඹ හොරා’’ කිය කියා කියවන්න ගත්තා. ඒ වගේ උත්සවයක මේ දෙයක් කතා කරන එක කොහොමත් තේරුමක් නැති නිසා මම එතැනින් නිහඬව අයින් වුණා.

සඳභරණ කියන්නේ ගැටුමේ ආරම්භය එය බවය. පසුව උපවාසකරුවන්ගේ සටන්පාඨ වෙනස් වූ අයුරු ගැනද ඔහු පැහැදිලි කළේය.

මට චෝදනා එල්ලකරන නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කියන්නේ ලේවායේ දූෂණ, වංචා සිදුවෙනව කියල. හැබැයි ඔප්පු කරන්න සාක්ෂියක් නෑ. මට තේරෙන්නේ නෑ නගරාධිපතිවරයාගේ මේ හතරබීරි කතාව මොකද්ද කියලා. නගරාධිපතිවරයාට හිතවත් ලේවායේ සේවකයෙක් දෙන්නෙක් හැරුණුකොට ලේවායේ කිසිදු වෘත්තීය සමිතියකට සම්බන්ධ සේවකයකු මට විරුද්ධව පාරට බැහැලා නෑ. ලේවායේ පක්ෂ විපක්ෂ සියලූම වෘත්තීය සමිති මේ මොහොත වනතුරුත් ලේවාය රැක ගැනීම වෙනුවෙන් මා සමග ඉන්නවා’ යැයි මේ ගැටුමේ මුල මැද ගැන කියමින් සභාපතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

ලූණු සභාපතිවරයා ඉවත් කිරීමේ සත්‍යග‍්‍රහයට එක්ව සිටින හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති ගාමිණි ශි‍්‍රයානන්ද චෝදනාව වන්නේ මෙයයි.

මේ සභාපතිවරයා කියනවා මේ ආයතනය ලාභ ලබපු ආයතනක් කියලා. ලාභ ලැබුවා නම් කෝ ලාභාංශ බෙදලා. මේ ආයතනයේ කොටස් හිමිකරුවන් 400ක් ඉන්නවා. නමුත් දැන් අවුරුදු 03ක් තිස්සේ මේ එක අයෙකුටවත් ලාභාංශ බෙදලා නෑ. අද වෙනකොට ලේවායේ ලූණු තැන්පතු නෑ. එතෙක් අපි අපේ මේ අරගලය නවත්තන්නේ නෑ. ඔහු චෝදනා කරන්නේය.

උපවාසකරුවන්ගේ මේ චෝදනාව ලූණු ලේවායේ සභාපතිවරයා ඉවතලන්නේ අලූයම කෙළ පිඩක් සේය. ඊට හේතුව ඔහු ලූණු ලේවායේ සභාපති පුටුවේ වාඩි වී ටික කලක් යන විට එතෙක් පාඩු ලබමින් සිටි හම්බන්තොට ලංකා සෝල්ට් සමාගම ලාභදායි ආයතනයක් ලෙස පරිවර්තනය කිරීමට ඔහුට හැකිවීමය. පසුගිය වර්ෂයේ ඔහුගේ පාලනය යටතේ රුපියල් මිලියන 170 කට අධික ලාභයක් ලංකා සෝල්ට් ආයතනයට ලබා ගැනීමට හැකි වූයේ ලූණු මාෆියාවේ සිටින පුද්ගලයන් ඉන් කාර්යක්ෂම පාලනයක් ආයතනය තුළ පවත්වාගෙන යෑම නිසා බව සභාපතිවරයා පැහැදිලි කරන්නේ මේ නිසාය. පසුගිය වසර අවසානයේ ලූණු ලේවායේ සේවයේ නියුතු 1600 වන සියලූම ස්ථිර හා අනියම් සේවකයිනට රුපියල් මිලියන 43 ක ප‍්‍රසාද දීමනා ලබා දීමට ද ලූණු ලේවායේ වත්මන් පාලනය සමත් විය.

එසේ බලන විට ලාභදායි ආයතනයක් ඉදිරිපිට ඇවිත් කෙනෙකු එහි පාලනය වෙනස් කිරීමට කියන්නේ නම් ඔහුට මොළේ අමාරුවක් හෝ ඒ පිටුපස වෙනත් අරමුණක් තිබිය යුතුය. අපේ රටේ ලාභ ලැබීමට හැකි රජයට අයත් ආයතන සෝදා පාළු වී තිබෙන්නේ දේශපාලකයන්ගේ මෙවැනි මැදිහත්වීම් නිසාය. හම්බන්තොට ලූණු ලේවාය ද ඉතිහාසය පුරා කි‍්‍රයාත්මක වූයේ පත්වෙන ආණ්ඩුවල හෙන්චයියන්ට ගතමනාවක් සොයා ගැනීමේ ඉල්ලමක් ලෙස කවුරුත් දන්නා රහසකි. ලූණු මාෆියාවේ නිරත වීම හෙන්චයියන් මාර්ගයෙන් දේශපාලකයන්ගේ සාක්කු පිරුණු බවට ද හාවක් හුවක් තිබේ. ලාභ ආයතනයක පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට නගරාධිපතිවරයා මේ තරම් මහන්සි වන්නේ ඒ නිසාය යන්න කීමට අපි හදිස්සි නොවෙමු. නමුත් සාර්ථකව පවත්වාගෙන යන රජයේ ව්‍යාපාරයකට අත දමමින් එහි ගමන් මඟ වෙනස් කරන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි දිනක ජනතාව ප‍්‍රශ්න කරනු ඇත. ඊට වන්දි ගෙවන්න සිදු වන්නේ නගරාධිපතිවරයාට නොව මේ ආණ්ඩුවට ය.

තිස්ස ගුණතිලක සහ
මත්තල දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment