නගර රැසක සොරකම් ගණනාවකට සම්බන්ධ ‘ඇල්පිටියේ දගරි’ ඉමදූවේදී මාට්ටු

408

මුදල් සොරකම් කිරීම් ගණනාවකට සම්බන්ධ ‘ඇල්පිටියේ දගරි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ගැටකපන්නියක් ගාල්ල නගරයේ දී අත්අඩංගුවට ගත් බැව් ඉමදූව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි. මෙකී කාන්තාව ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ප‍්‍රසිද්ධ ගැටකපන්නියක් බව පොලිසිය පවසයි. මෙකී සැකකාරියට එරෙහිව මුදල් සොරකම් කිරීම සම්බන්ධව මතුගම, ඇල්පිටිය, කොළඹ, ගල්කිස්ස හා අලූත්ගම යන මහෙස්ත‍්‍රාත් අධිකරණවල විභාග වන නඩු පවතින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඇය ජනතාව එක්රැස්වන ස්ථානවල රැඳී සිටිමින් හා බස්රථවලට ගොඩවී කාන්තාවන්ගේ අත්බෑග්වල තිබූ මුදල් සොරකම්කොට ඇති බව පොලිසිය පවසයි. පසුගියදා මෙකී සැකකාරිය විසින් ඉමදූව නගරයේ දී බස්රථයකට ගොඩවීමට සිටි කාන්තාවකගේ අත්බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 02 ක මුදලක් සොරකම්කොට තිබුණි.

ඉමදුව ඇල්ලලගොඩ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට විදේශතව සිටින තම පුතා විසින් මෙකී මුදල් එවා ඇත. ඇය මෙම මුදල් ලබාගැනීමට ඉමදූව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත පැමිණ තිබුණි. ඇය බැංකුවෙන් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබාගෙන එම මුදල අත්බෑගයේ දමාගෙන නිවසට යෑම සඳහා බසයක් එනතෙක් ඉමදූව නගරයේ සිට ඇත. අහංගම දෙසට ධාවනය වූ ලංගම බස්රථයකට මෙකී කාන්තාව ගොඩවී ඇති අතර එම අවස්ථාවේදී අත්බෑගයේ සිපර් එක විවෘත කොට මෙම මුදල සොරකම් කොට තිබුණි.

ඉමදුව පොලිස් ස්ථානාධිපති ඒ. වී. උදිත කුමාර මහතාට ලද තොරතුරකට අනුව ගැටකපන්නිය අත්අඩංගුවට ගෙන ඇත. ඇය ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment