නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලි කැපිලි නෑ

115

ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා දෙයි

මෙවර අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු ආකාරයකින් විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන ලෙසට ලබාදුන් උපදෙස් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලිය කප්පාදුවක් සිදුනොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

එම නඩුවේ දෙවන වගඋත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එන්. එස්. ඉලංගකෝන්, අතිරේක සාමාන්‍යාධිකාරි කේ. ජි. ආර්. එෆ්. කොමිස්ටර්, මූල්‍ය කළමනාකරු ටී. කේ. ලියනගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. ආර්. එම්. එම්. එස්. කරුණාසේන යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා එම ප්‍රතිඥාව අධිකරණයට ලබාදුන්නේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම නඩුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ හා ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම නඩුව ඊයේ (02දා) උදෑසන 10.30 ට පමණ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් පෙත්සමට පාදකවූ විදුලිය විසන්ධි කිරීම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බැවින් විදුලිය විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේදී වගඋත්තරකරුවන් ඇතිකරගත් එකඟතාවය උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට සිදුකර ඇති අපහාසය සම්බන්ධයෙන් ඉන්පසු විභාග කර තීරණයක් ගැනීමේ හැකියාව අධිකරණයට ඇතැයිද ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවැසීය.

පෙත්සමෙන් පෙන්වාදී ඇති කරුණු ඉතා සංවේදී කරුණු වන හෙයින් වගඋත්තර කරුවන්ගෙන් විමසා විනාඩි 30 ක කාලයක් ඇතුළත විදුලිය විසන්ධි කිරීම පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු අත්හිටුවීමට ඇති හැකියාව පිළිබඳ තම අධිකරණයට දැනුම් දෙන ලෙසට වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන් විනිසුරු මඬුල්ල පෙත්සම පෙරවරු 11.00 ට කැඳවීමට නියම කළේය. එලෙස පෙත්සම නැවත කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා අධිකරණයට එම ප්‍රතිඥාව ලබාදුන් අතර පෙත්සම සලකා බැලීම අද (03දා) පෙරවරු 11.30 දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියෝග කළහ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය. පෙර කී වගඋත්තරකරුවන්ට අමතරව එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක, එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment