නඩු තීන්දුව දුන්නට පස්සේ මට මගේ හැම දෙයක්ම අහිමි වුණා

2511

ප්ලාස්ටික් පිඟානයි කෝප්පෙයි අරන් කෑම පෝලිමේ හිටියා
අඟුණකොළේදී ජුලම්පිටියෙ අමරෙගෙන් තර්ජන
අඟුණකොළ බන්ධනාගාරේ වැසිකිළි සේරම හෝදන්න දුන්නා
සෙල්ෆියක් ගැහුවා කියලා සති දෙකක් කළුවර කාමරේ තිබ්බා

ගාමිණී, විජය, සනත් යුගවලින් පසු හෙළ සිනමාවේ සිහින කුමරා වූයේ රන්ජන් ය. ඒ තරමට ම ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන සිටි මේ අපූර්ව මිනිසා පසු කලෙක දේශපාලනයට අවතීර්ණ වන්නේ තමන් වෙත තිබූ ඒ ආකර්ෂණය නිසාම ය. ජනතාව අප්‍රිය කරන දූෂිත දේශපාලනඥයන් ගහන අපේ දේශපාලන ලෝකයේ කෙලින් කතා කරන, වැරැද්ද දුටු තැන නැඟී සිටින මානව හිතවාදී දේශපාලනඥයකු ලෙස ඔහු කෙටි කලකින් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. වැරැද්ද දුටු තැන ඕනෑම පුද්ගලයකු විවේචනය කිරීම නිසා ඔහුට දේශපාලන ලෝකයේ මිතුරන්ට වඩා සිටියේ සතුරන්ය. තමන් ළඟ සිටින එකා වුවද වැරැද්දක් කළවිට විවේචනය කිරීම රන්ජන්ගේ සිරිත විය. නළුවකුට වඩා ඔහු නියම දේශපාලනඥයකු ලෙස ජනාදරයට පාත්‍රවන්නේ ඒ නිසා ය. ‘මුන් ඔක්කොම හොරු මල්ලි’ මුන් කවදාවත් හොරු අල්ලන්නෙ නැහැ, මුන් එකාට එකා රකිනවා රන්ජන් එදා නොබියව කළ මේ ප්‍රකාශයන් සදාතනික සත්‍ය වදනක් බවට පත්වී හමාරය.

රාජපක්‍ෂවරුන්ගේ අසූචි බුදිමින් පෝෂණය වූ දහදුරා දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් දැඩිව විවේචනය කළ රන්ජන් හැමවිට ම සිටියේ දුක් විඳින පීඩිත ජනයාගේ පැත්තේය.

ප්‍රසිද්ධියේ අධිකරණය විවේචනය කිරීමට ගිය රන්ජන් අමාරුවේ වැටුණේය. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර එකහමාරකට ආසන්න කාලයක් ඔහුට සිරගතවන්නට සිදු වුණේය.

වැලිකඩ සහ අගුණකොළපැලැස්ස බන්ධනාගාරවලින් මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේදීත් ඔහුට සිදුවුණේ අපමන දුක් ගැහැට වධ බන්ධනයන්ට ලක්වීමටය. බල පෙරළියත් සමගම රන්ජන්ට ජනාධිපති සමාව ලැබුණේය. කෙලින් කතාකරන, කරන දේ කියන මේ මානවහිතවාදියාට බන්ධනාගාර ජීවිතයේදී අනේක විධ වධබන්ධනයන්ට කටුක අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වුණේය. අඳුරු සිර මැදිරියක අරමුණක් නැතිව ගෙවී ගිය ඒ මූසල කාලසීමාව නිමාවන්නේ සැබැවින්ම පීඩිත පන්තියේ දුක්විඳින ජනතාවගේ වාසනාව නිසාය.

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් ‘දිවයින’ පුවත්පත පසුගිය කාලසීමාව පුරාම දැවැන්ත අරගලයක යෙදුණේය. අප හැම විටම හඬ නැඟුවේ රන්ජන්ව නිදහස් කළ යුතුය යනුවෙන්ය. නිදහස ලබා පැමිණි රන්ජන් රාමනායක මුලින්ම ‘දිවයින’ පුවත්පත සමග සිය කටුක අත්දැකීම් කතා කළේ අප ඔහුගේ නිදහස වෙනුවෙන් දැක්වූ මහා අරගලයට කෘතඥතාව පළකිරීමක් ලෙසය.

බන්ධනාගාර ජීවිතේ ගැන අහන්න ඉස්සර එක දෙයක් ඔබගෙන් අහනවා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ඔබේ නිදහස වෙනුවෙන් ලොකු සටනක් කළා. ඒ වගේම ඔබ ඒ පක්‍ෂයේ සාමාජිකයෙක්. ඒත් ඔබව නිදහස් කරන්න කටයුතු කළේ එක්සත් ජාතික පක්‍ෂ නායක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔබ දැන් කාගෙ පැත්තෙද හිටගන්නෙ?

මම හැමදාම හිටියෙ මහජනයාගෙ පැත්තෙ. ඒක ඉස්සරහටත් ඒ විදිහට ම සිද්ධවෙයි. කොහොමත් ටික කාලෙකට මං මේ හැම දේකින්ම ඈත්වෙලා නිදහසේ ඉන්නවා. මගේ මනස හදාගන්න ඔස්ටේ්‍රලියාවෙ ඉන්න අක්ක ළඟට ගිහින් ටික කාලයක් ඉන්නත් හිතාගෙන ඉන්නෙ.

කොහොමටත් දැන් මට ම කියලා ඉන්න තැනකුත් නැහැනෙ. මන්ත්‍රී නිල නිවාසෙත් අහිමි වෙලා. ඒත් මට ආදරේ කරන මිනිස්සු කතා කළා. මට යෝජනා කරලා තියනවා ගෙවල් 9ක් දෙන්න. ඒ හැමෝටම මං ස්තුති කරනවා. තාම මොකුත් හිතලා නැහැ. කොහෙද ඉන්නෙ කියලා.

නඩු තීන්දුව දුන්නට පස්සේ මට මගේ හැම දෙයක්ම අහිමි වුණා

පසුගිය 2021 වසරේ ජනවාරි 21 වැනිදා ඔබේ ජීවිතේ අමතක නොවන දවසක්. ඒ අමිහිරි සිදුවීම් මාලාව නැවත ආවර්ජනය කළොත්?

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වෙච්ච නඩුවට ඉදිරිපත් වෙන්න ජනවාරි 12 වැනිදා උදේ මම අධිකරණයට ආවා. එදා තීන්දුව දෙනවා කියලා කලින් දැනුම් දීමක් කරල තිබුණෙ නැහැ. එදා තිබුණෙ කරුණු පැහැදිලි කිරීමක් කරන්න.

මගේ ලෝයර් සුමන්දිරන් මහත්තයා අසනීප වෙලා හිටිය නිසා එයාගේ ජුනියස්ලා දෙන්නෙක් තමයි මං වෙනුවෙන් පෙනී සිටියෙ. අධිකරණයට ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සෙ පොලිස් නිලධාරියෙක් ඇවිත් මට කිව්වා ගරු අධිකරණයෙන් දැනුම්දීමක් කරලා තියනවා අද තීන්දුව දෙනවා කොහෙවත් යන්න එපා කියලා.

ඒක ඇහුවට පස්සෙ මාව කරකවල අතඇරිය වගේ වුණා. එදා දවසෙ තීණ්දුව දෙයි කියලා මං බලාපොරොත්තු වෙලා හිටියෙ නැහැ. කොටින්ම මම එදා හවස පාර්ලිමේන්තු යන්න යොදාගෙන හිටියෙ. තවත් වැඩ කීපයක් දාගෙන හිටිය. දැන් මොනව කරන්නද දෙන තීන්දුව භාර ගන්නවා කියලා බලාගෙන හිටියා.

විනාඩි 15කට විතර පස්සෙ ත්‍රීපුද්ගල මහෙස්ත්‍රාත් කමිටුව රැස්වුණා. තීන්දුව ප්‍රකාශයට පත් කළා. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වුණා.

ඇත්තටම මම ඒ වගේ දඬුවමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ නැහැ. මගේ ලෝයර් සුමන්දිරන් මහත්තයත් නැති නිසා මං මාර විදිහට අපහසුතාවට පත්වෙලා හිටියෙ.

තීන්දුවෙන් පස්සෙ මගේ සියලු දේවල් මට අහිමි වුණා. මගේ මන්ත්‍රීකම ප්‍රජා අයිතිය වසර 11කට අහිමි කළා. මගේ නිල නිවස නිල වාහනය ආරක්‍ෂාව මේ සේරම අහිමි වුණා. කොටින්ම මට මං ඇඳගෙන හිටිය ඇඳුම් ටික පවා අහිමි වුණා.

තීන්දුව දීලා ටික වෙලාවකදී මං ඇඳන් හිටිය ටයිකෝට් ගලවලා ජම්පරේ ඇන්දුවා. නඩු තීන්දුව අහලා මං හොල්මන් වුණා. කරන්න දෙයක් නැහැ. තීන්දුවට හිස නමලා මං හිරේ යන්න ලෑස් වුණා. ඒ වෙනකොට බන්ධනාගාරෙන් ලොකු ටීම් එකක් උසාවියට ගෙන්නලා තිබුණා. ඒ අය මාව කාමරේකට අරගෙන ගිහින් ටයි කෝට් ගලවලා ජම්පරේ අඳින්න කිව්වා. මං කිව්වා සරමයි ෂර්ට් එකයි අඳින්නම් කියලා. ඒත් ඒ අය බල කළා ජම්පරේ අඳින්න කියලා.

නඩු තීන්දුව දුන්නට පස්සේ මට මගේ හැම දෙයක්ම අහිමි වුණා

නඩුවෙ තීන්දුව එදා දෙනවා කියලා කලින් දැනුම් දීමක් කරලා නොතිබුණු නිසා අපේ පක්‍ෂයේ කවුරුත් උසාවි ඇවිත් හිටියෙ නැහැ. මට තීන්දුව දුන්නා කියලා ආරංචිවෙලා නලින් බණ්ඩාරයි, රංජිත් මද්දුමබණ්ඩාරයි උසාවියට දුවගෙන ආවා. ඒත් ඒ අයට මාව බලන්නවත් දුන්නෙ නැහැ.

මගේ ළඟ ඒ වෙලාවෙ තිබුණෙ ඩයරියයි, ඔරලෝසුවයි, රුපියල් 25,000ක් විතරයි. ඒක පරිස්සම් කරන්න කියලා ළඟ හිටිය නිලධාරියකුට භාර දුන්නා. ඒත් ඒවා ආපහු දෙනකොට රුපියල් පන්දාහක් අඩුවෙලා. මං ඇහුවා ඇයි ඒ කියලා. එතකොට ඒ නිලධාරියා කිව්වා බඩු ආරක්‍ෂා කළාට රුපියල් 5000ක් ගත්තා කියලා.

තීන්දුවෙන් පස්සෙ ඔබව වැලිකඩ බන්ධනාගාරයට ගෙනියන්නෙ නැතිව කෙලින්ම අරගෙන ගියේ මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

ඒ වෙනකොට කොවිඩ් වසංගතය පැතිර යමින් තිබිච්ච නිසා මාව දවස් 14ක් නිරෝධායනයට දැම්මා. පල්ලන්සේන කඳවුර අමු අපායක්. ඒකෙ එස්. පී. හිටියෙ ජීවක ප්‍රනාන්දු කියලා කෙනෙක්.

පල්ලන්සේන කඳවුරට ගෙනිච්ච ගමන් මගේ ෆොටෝ ගත්තා. ඒ අය කිව්වා හැම අපරාධකාරයකු ගෙම ඒ වගෙ ෆොටෝ ගන්නවා කියලා. ඊට පස්සෙ මට සිරකරු අංකයක් දුන්නා. ’-12516 සිරකරු අංකය දීලා මාව දැම්මා ගැමුණු කියන සිර මැදිරියට.

ඒක සාමාන්‍ය මිනිහෙකුට ඉන්න පුළුවන් තත්ත්වයේ තිබුණු සිර මැදිරියක් නෙවෙයි. ඒ සිර මැදිරියේ තව හිරකාරයෝ 25-30 ක් හිටියා. කුඩු ජාවාරම්කාරයෝ මිනීමරුවෝ. කුඩු ගහන අය මංකොල්ලකාරයෝ මේ සේරම එක්ක මාවත් ඒකට දැම්මා.

මේ හැම දෙයක්ම බොහොම සැලසුම් සහගතව වෙන බව මට තේරුණා. කාත්කවුරුත් නැති කිසිම හව්හරණක් නැති ලෝකෙක තනි වුණා වගේ මට දැනුණා.

ඒ සිර මැදිරියේ මිනිහෙකුට නිදාගන්නවා කියා එක විනාඩියක් ඉන්න පුළුවන් තත්ත්වයක තිබුණෙ නැහැනෙ. හැම තැනම මීයෝ කැරපොත්තො දුවනවා. මදුරු විමානයක්. බිත්ති දිගේ මකුණො එනවා.

ගැමුණු සිර කුටියේ නිදා ගන්න රෙදි කෑල්ලක්වත් දුන්නෙ නැහැ. කුඩුකාරයෝ සිර කුටිය හැම තැනම ජරා කරලා. බිත්තිවල පවා අසූචි තවරලා පුදුම දුර්ගන්ධයක් තිබුණෙ.

මට සංසාරෙත් එක්ක එපා වෙලා හිටියෙ. මට දැනුනෙ එක පාරට ම මාව අපායට ගෙනැත් දැම්මා වගේ කියලා.

ඒ වෙනකොට මගේ හිතවතුන් කීපදෙනෙක් මට ඕන කරන බඩු වගයක් අරන් පල්ලන්සේන කඳවුරට ඇවිත් හිටියා. ඒත් ඒ කිසි දෙයක් මට දුන්නෙ නැහැ. අඩුම තරමේ දත් මැදගන්න බ්‍රෂ් එකක්වත් දුන්නෙ නැහැ. ආපු අය සේරම හරවලා ඇරියා.

මීගමුව පල්ලන්සේන කියන්නෙ මගේ උපන් ගම. එහෙ මගෙ යාළුවෝ නෑදෑයෝ ඉන්නෙ. මගේම ගමේ මං හිරගතවෙලා අපාදුක් විඳගෙන ඉන්න වුණා.

මේ කාලසීමාව වෙනකොට ගෝඨාභය ආණ්ඩුව මාර පීක් එකේ හිටියෙ. හැටනව ලක්‍ෂයක් ඡන්දෙ අරන් බොහොම ප්‍රබල තැනක හිටියෙ. ඒ නිසා ම මේ නිරෝධායන මධ්‍යස්ථානෙ හිටිය බන්ධනාගාර නිලධාරීන් මට පුදුම විදිහට වධ දුන්නා. ඒ කියන්නෙ ගහලා බැනලා නෙවෙයි. මානසිකව අන්තයට වට්ටලා කිසිම පහසුකමක් නොදීමෙනුය.ි මට දුන්න පීඩනය දරාගන්න බැරිව ගියා.

ඒ වෙනකොට මං මානසිකව අන්තයට ම වැටිල හිටියෙ. එතැන රාජකාරි කරපු ජේලර්ලා වැඩි දෙනෙක් දේශපාලන පත්වීම්වලට ආව අය. ඒ අය මට දුක් දීලා තමන්ගෙ දේශපාලනඥයන්ව සතුටු කරන්න හදන බව මට තේරුණා.

එදා දවසෙම කෑමක් බීමක් නැති නිසා මං හොඳටම බඩගින්නෙ හැටියෙ. රෑ කෑමට පිළුණුවෙච්ච බත් ටිකකුයි පොල් කුඩුවලින් හදපු සම්බෝලෙකුයි ගෙනැත් දුන්නා. ඒවා මනුස්සයකුට තියා සතෙකුටවත් කන්න බැහැ. අධික බඩගින්න නිසා ම බත් කටවල් කීපයක් කෑවා.

ඒ වෙනකොට මං හිටියෙ දරාගන්න බැරි වේදනාවකින්. දුකකින්. මගේ මානසික මට්ටම අන්තයට ම පිරිහිලා. අඳුරු හිර කුටියෙ බිත්තියකට හේත්තුවෙලා මං ඔළුව ගහගෙන කල්පනා කරන්න ගත්තා.

මම මේ හිරගතවෙලා ඉන්නෙ මිනීමරලවත් හොරකම් කරලවත් කුඩු විකුණලවත් නෙවෙය,ි එහෙම කරලා හිරේ ගියා නම් හිත හදාගන්න තිබුණා. ඇත්ත කතා කරපු වරදට මට දුක් විඳිනව කියලා හිතුණම මට මහා දුකක් දැනුණා. මට හයියෙන් කෑගහලා කියන්න හිතුණා, ඒත් වැඩක් නැහැ මගේ දුක අහන්න තරම් මානුෂික හැඟීම් තියන කවුරුත් එතැන හිටියෙ නැහැ.

රෑ එළිවෙනකල් මදුරුවො තල තල හිටියා. බිත්ති දිගේ එන මකුණො ඇඟ පුරාම දුවනවා ලේ උරා බොනවා.

මට හයියෙන් අඬන්න තරම් හිතුණා. ඒත් ඒ හැම වේදනාවක්ම දරාගෙන ඉන්න උත්සාහ කළා. තව අවුරුදු 4ක් මේ විදිහට දුක් විඳින්න වෙයි කියලා හිතුණම මට ඒක දරාගන්න බැරිව ගියා. ඒ අස්සෙ එක එක හිරකාරයො ඇවිත් මට කියනවා සින්දුවක් කියන්න චිත්‍රපටයක කෑල්ලක් කරන්න කියලා. ඒ මිනිස්සු ඇත්තට ම මගේ රසිකයෝ. ඒත් ඒ වෙනකොට මං මානසිකව අන්තයටම ඇදවැටිලා ඉවරයි. පස්සෙ සින්දු කියන්නම් කියලා ඒ අය ෂේප් කර ගත්තා.

පල්ලන්සේන කඳවුරේ ගතකරපු පළමුවෙනි රාත්‍රිය බොහොම දීර්ඝ එකක් වුණා. පහුවදා එළිවෙනකල් නින්ද ගියේ නැහැ. මට කරන්න තිබ්ච්ච වැඩ ගැන ගෙවන්න තියන ලෝන්, මගේ ළඟ වැඩ කරපු අයගෙ අනාගතේ ගැන මේ හැම දෙයක් ගැනම සිහියට ආවා.

පහුවදා උදේ 6.00 වෙද්දී හිරකාරයෝ පෝලින් කළා. හැම හිරකාරයකුටම එක එක වැඩ පවරලායි තිබුණෙ. කුස්සි පාටි, ටොයිලට් පාටි, ඔෆිස් පාටි, අතුගාන පාටි ඒ විදිහට එක එක දේවල් කරන්න බෙදලා දීලා තියනවා. මං අතුගාන පාටියට ගියා. මේ කඳවුරේ පන්සලක් තිබුණා. මං ඒ පන්සල අතුගෑවා. මානසිකව ඇතිවෙලා තිබුණු පීඩනය ටිකක් හරි අඩුකර ගන්න හිතාගෙන. උදේ කෑම ගන්න බෙලෙක් පිඟානයි කෝප්පෙයි අරන් පෝලිමේ හිටියා. පාන් කාලකුයි සම්බෝල ටිකකුයි ලැබුණා. පාන්වල ගුල්ලොය,ි කූඹියි. සම්බෝලෙ පනුවො දඟලනවා පාන් කෑල්ලෙන් ටිකක් කාල විසිකළා.

උදේට වැසිකිළි යන එක යුද්ධයක් වගෙ. වතුර බාල්දියක් අරන් පෝලිමේ ඉන්න ඕනෙ. මේ කඳවුරේ නිරෝධායනය වන හිරකාරයෝ හයහත් සීයක් හිටියා. සේරම එකට හිටියෙ. කොරෝනා නැති අයටත් ඒකෙ ඉන්නකොට කොරෝනා හැදෙනවා.

නඩු තීන්දුව දුන්නට පස්සේ මට මගේ හැම දෙයක්ම අහිමි වුණා

මේ හැම දේටම දැන් පුරුදුවෙන්න ඕනෙ කියලා හිත හදා ගත්තා. කඳවුරේ ටීවී බලන්න තහනම්. එතැන ඔෆිස් එකක ටීවී එකක් දාලා තියනවා. මං එතැනින් යන එනකොට ඇහෙනවා නිවුස්වලට මං ගැන කියනවා.

පල්ලන්සේන කඳවුරේ නාන්න තිබුණෙ වතුර ටැංකියක්. ඒ වතුරවල දියසෙවල බැඳිලා ජරාවෙලා. ටොයිලට් යන අය වතුර ගන්නෙත් ඒකෙන්. ඒ වතුරවල අසූචි පවා මිශ්‍රවෙලා. මොනවා කරන්න ද ඒ වතුර නාන්න පුරුදු වුණා. මම දවසට තුන් හතර වතාවක් නාපු මිනිහෙක්. පල්ලන්සේන කඳවුරේ එක වතාවක් නෑවෙත් බොහොම අමාරුවෙන්.

ඔය විදිහට දවස් 14 ගෙවිලා ගියා. කිසිකෙනකුට මාව බලන්නවත් කතාකරන්නවත් අඩුම ගානේ වතුර බෝතලයක්වත් ගෙන්න ගන්න දුන්නෙ නැහැ.

නිරෝධායනයෙන් පස්සෙ මාව බන්ධනාගාරයකට ගෙනියන්න සූදානම් වුණා. මං හිතුවා මාව වැලිකඩට දායි කියලා. ඒත් ඒ අය මාව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙනියන්න හදන බව දැන ගන්න ලැබුණා.

අඟුණකොළපැලැස්ස ගෙනියන්න ඉස්සර වැනිදා රාත්‍රියෙ බන්ධනාගාර ඇමැති ලොහාන් රත්වත්තෙ කඳවුරේ තිබුණ සීඩීඑම්ඒ ෆෝන් එකට කෝල් කරලා මාව ගෙන්න ගත්තා.

මං එයාට කිව්වා කරුණාකරලා මාව වැලිකඩට දාන්න කියලා. එතකොට ලොහාන් කිව්වා ඔයාගෙ ආරක්‍ෂාව ගැන හිතලා තමයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දාන්න තීරණය කළේ කියලා. මං කිව්වා උපාධියක් කරන්න ඉන්නෙ. ඒක කරන්න කොළඹ ඉන්න ඕනෙ කියලා. එතකොට එයා කිව්වා උඹ දැනට පලයං පස්සෙ වැලිකඩට එමු කියලා. ඒ හිරගෙදර පිහිනුම් තටාක පවා තියනවා. ඒ නිසා උඹට එහෙ අල්ලලා යයි කිව්වා. පස්සෙ තමයි දැනගත්තෙ ඒ පිහිනුම් තටාක අනෙක් හැම පහසුකමක්ම තියෙන්නෙ බන්ධනාගාර නිලධාරීන්ට විතරයි කියලා.

අඳුරු වීදුරු දාපු වෑන් එකක මාව ගෙනියන්න සූදානම් කළා. කඳවුර ඉස්සරහට මගේ යාළුවො කීපදෙනෙක් ඇවිත් හිටියා මාව බලන්න. වාහනේ වීදුරුව ඇරලා ඒ අයගෙ මූණවත් බලන්න ඉඩ දුන්නෙ නැහැ.

පල්ලන්සේනෙ ඉඳලා මාව වෑන් එකක දාගෙන පැය 4කට වැඩි වෙලාවක් ගියා අඟුණකොළපැලැස්සට එන්න. අතරමඟදි මට වැසිකිළි යන්න අවශ්‍ය වුණා. මං ඒ අයට දෙතුන් වතාවක්ම කිව්වා. එ තැන ප්‍රධානියා මට තර්ජනය කළා. ඔයා මැරුණත් මඟ නතර කරන්නෙ නැහැ කියලා. මොනවා කරන්නද ඒ හැම අපහසුතාවක්ම විඳදරාගෙන බන්ධනාගාරයට ආවා.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය දරුණු අපරාධකාරයෝ රඳවලා තියෙන එකක්. පොලිස් විශේෂ කාර්ය බළකාය එහි ආරක්‍ෂාවට යොදවලා තියෙනවා. ඒ බන්ධනාගාරෙදි ඔබට විශේෂයක් දැක්වුවා ද?

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරෙ මට වෙනම සිර මැදිරියක් වෙනම වැසිකිළියක් තියෙනවා කියලා මට කලින් දැන ගන්න ලැබුණා. මාව ඒ සිර මැදිරියට අරගෙන යද්දී මා එක්ක ගිය ජේලර්ගේ සීඩීඑම්ඒ ෆෝන් එකට කෝල් එකක් ආවා. කතා කළේ කවුද දන්නෙ නැහැ. හැබැයි ඒ පුද්ගලයා කිව්වා මාව තනි සිර මැදිරියක තියන්න එපා කියලා.

මං ඉල්ලීමක් කළා, මාව වෙනම තියන්න. මට නිදහසේ ඉන්න ඕනෙ කියලා. එතකොට ජේලර්ස්ලා කිව්වා උඩින් ඕඩර් එකක් ආවා ඔයාට විශේෂයක් කරන්න එපා, කට්ටිය එක්ක එකට දාන්න කියලා.

මාව දැම්මෙ සිරකාරයෝ 60ක් විතර ඉන්න සිරමැදිරියකට. එතැන හිටිය වැඩි දෙනෙක් මහින්ද රාජපක්‍ෂ හොඳට දන්න කියන එයාගෙ ගම් පළාත්වල අය. ජුලම්පිටියෙ අමරේ තමයි එතැන ලීඩර් වගෙ හිටියෙ. අමරේ මහින්ද රාජපක්‍ෂ එක්ක ගොඩක් හිතවත් කියලා මං අහලා තිබුණා.

මට තේරුණා මාව මේ සිරකාරයෝ එක්ක දාලා මගේ ජීවිතේට මොනව හරි අනතුරක් කරන්න මේ අයට උවමනාවක් තියනවා කියලා.

ගිය දවසෙම ජුලම්පිටියෙ අමරේ ඇවිත් මට පාර්ට් එකක් දැම්මා ඔයා අපේ සර්ට හැමදාම බනිනවා නේද කියලා ඇහුවා. මට තේරුණා මේගොල්ලන්ගෙ ප්ලෑන් එක මොකක් ද කියලා.

ජුලම්පිටියෙ අමරේ කිව්වා මේකෙ හැම දෙයක්ම වෙන්නෙ අපට ඕනෙ විදිහට. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන පාඩුවෙ ඉන්න කියලා.

ඒ හිර මැදිරියෙ හැට හැත්තෑවක් මිනිස්සු එකට නිදාගන්නෙ. බිමට එලාගන්න රෙදි කෑල්ලක්වත් නැහැ. නිදා ගත්තම එහෙට මෙහෙට හැරෙන්නවත් බැහැ. රෑ එළිවෙනකල් මදුරුවොයි මකුණොයි එක්ක ෆයිට් කරනව ඇරෙන්න නිදාගන්න වෙලාවක් නැහැ.

මාවත් ජම්පරේ අන්දලා ඒ හිරකාරයෝ එක්ක එකට නිදාගන්න දැම්මා. මට එදා ලොකු බයක් දැනුණා. රෑට කට්ට කළුවරයි. කවුරුහරි ඇවිත් මට පිහි පාරක්වත් ගහලා යයි කියලා බයක් දැනුණා.

මොකද එතැන හිටියෙ වැඩි දෙනෙක් මිනීමැරුම් කරපු අය. ඒ අයට තව කෙනෙක් මරණ එක බොහොම පොඩි දෙයක්. මට එක එක දේවල් හිතෙන්න ගත්තා. කුඩු ජාවාරම්කාරයන්ට පාතාලයට දේශපාලනඥයන්ට විරුද්ධව ලොකු සටනක් කරපු නිසා මට තරහාකාරයෝ ගොඩක් හිටියා. ඒ අය කාවහරි දම්මලා මට අනතුරක් කරයි කියලා හිතුණු වාර අනන්තයි. ඒ වෙනකොට මං කිසිම හව්හරණක් නැති මිනිහෙක්. මට තිබුණෙ මගේ ආත්ම විශ්වාසය විතරයි.

මුල් දවස් ටිකේ මං රෑ එළිවෙනකල් ඇහැරිලා හිටියෙ. පුදුම දුකක් වින්දෙ. ටික දවසක් යද්දී එතැන හිටිය අය මා එක්ක ගොඩක් හිතවත් වුණා.

අඟුණකොළේ ආව දාට පහුවදා උදේ 6.00 හිරකාරයෝ සේරම පෝලින් කළා. කඳවුරේ එක එක රාජකාරි හැමෝටම පවරලා මට දුන්නා මුළු හිරගෙදරම තිබුණු වැසිකිළි ටික හෝදන්න කියලා. කොකාකෝලා බෝතල්වලට සබන් වතුර පුරවගෙන මං උදේ ඉඳන් දවල් වෙනකල් වැසිකිළි හේදුවා.

මට ඒ දවස්වල පුදුම දුකක් දැනුණා. රටක් ආදරේ කරපු මාව ඇයි මේ තත්ත්වයට දැම්මෙ කියලා. මිනිස්සු මට කොයි තරම් ආදරේ කළා ද මා එක්ක ෆොටෝ ගන්න පොරකනවා. කොටින්ම මට පාරේ බැහැලා යන්න බැහැ. ඒ තරම් මිනිස්සු ආදරෙය.ි මං බොහොම සුන්දර විදිහට ජීවත් වෙච්ච කෙනෙක්. ඒත් ඒ වෙනකොට මං ටොයිලට් හෝද හෝද දුක් විඳිනවා කියලා හිතුණම මට පුදුම කලකිරීමක් ඇති වුණා.

විජේ මාමත් ඒ කාලෙ හිරේ ඉඳලා මේ විදිහට දුක් විඳින්න ඇති කියලා මට හිතුණා. හැමදාම ප්ලාස්ටික් පිඟාන අරන් උදේට දවල්ට රෑට කෑම පෝලිමේ ඉන්නවා. ඒ දෙන කෑම සාමාන්‍ය මනුස්සයකුට කන්න බැහැ. සම්බෝලයි පානුයි කාල මට දැන් ඒවා දකින කොටත් අප්පිරියයි.

නිදහසේ ඉන්න වෙලාවට චිත්‍ර ඇන්දා. පොත් කියෙව්වා. ලියුම් ලිව්වා. හිරේට ආව දවසෙ ඉඳලා වෙච්ච හැම දෙයක්ම මං ඩයරියෙ ලියන්න පුරුදු වුණා. මට වධ දුන්න නිලධාරීන්ගෙ නම් ගම් වගේම මට උදව් කරපු නිලධාරීන් ගැනත් මං මේ ඩයරියෙ ලියලා තියෙන්නෙ.

අඟුණකොළේ ඇවිත් මාස තුන හතරක් යනකල් මාව හිර මැදිරියෙන් එළියටවත් ගත්තෙ නැහැ. ජේලර්ලගෙන් කොච්චර ඉල්ලුවත් ඒ අය මාව එළියට ගත්තෙ නැහැ. ටික කාලයක් යද්දී දවසට පැයක් විතර එළිමහනෙ ඉර අව්ව දකින්න ඉඩ දුන්නා.

මාව බලන්න දුන්නෙ බොහොම සීමිත පිරිසකට විතරයි. ඒත් ඒ අයට මට කන්න බොන්න කිසි දෙයක් ගේන්න අවසර නැහැ. අනෙක් හිරකාරයන්ට ඒ තහනම තිබුණෙ නැහැ.

එක දවසක් ගීතා කුමාරසිංහ මාව බලන්න ආවා, කෑම බීම හදාගෙන. එතැන හිටිය එස්. පී, පල්ලෙතැන්න කිව්වා කෑම දෙන්න බැහැ කියලා. ගීතාට හොඳටම තරහා ගිහින් එයා එතැන රණ්ඩුකරගෙන ගෙනාව කෑම පොළොවෙ ගහන්න හදලා මේ ගැන පාර්ලිමේන්තුවෙත් කියනවා කියලා බැන්නට පස්සෙ තමයි එයා ගෙනාව කෑම ටික මට දුන්නෙ.

මාස ගාණකට පස්සෙ එදා තමයි කටට රහට කෑම ටිකක් කෑවෙ. ගීතාට පිං සිද්ධ වෙන්න.

හර්ෂණ රාජකරුණා මාව බලන්න ඇවිත් සෙල්ෆියක් ගහලා ඒක ෆේස්බුක් දැම්මා. අන්තිමේදී මට තමයි ඒකට දඬුවම් විඳින්න වුණේ. මං කිව්වා මං නෙවෙයි ෆොටෝ අරන් ෆේස්බුක් දැම්මෙ කියලා. ඒත් එතැන එස්පී මට කිව්වා ඔයා ෆොටෝ එකට හිටිය එක වරදක් ඒ නිසා දඬුවම විදිහට සති 2ක් කළුවර කාමරේක දාලා ලුණුයි බතුයි කන්න දෙනවා කියලා.

මං කිව්වා කමක් නැහැ. ඒකත් මට අත්දැකීමක් වෙයි. ඕනෙ දෙයක් කරන්න කියලා. කළුවර කාමරේ නොදැම්මත් ඒ අය මානව සති 2ක් කූඩු කරලා තිබ්බා. මේ සිද්ධිය වුණේ හරියටම මාර්තු 11 වැනිදා මගේ උපන් දිනය දවසෙ. එදා තමයි බන්ධනාගාරෙ අය මට දඬුවම් දුන්නෙ. මගේ උපන් දිනේට කේක් අරන් ගොඩක් අය ඇවිත් හිටියා මාව බලන්න. ඒත් ඒ කිසි දෙයක් මට දුන්නෙ නැහැ මාව කූඩුවෙ දාලා තිබ්බා නොකළ වරදකට.

මගේ දණහිස්වල අමාරුවක් තිබුණු නිසා මං වෙනම කොමඩ් එකක් ගෙන්න ගෙන පාවිච්චි කළා. මේ සෙල්ෆි සිද්ධියෙන් පස්සෙ ඒ කොමඩ් එකත් අයින් කරන්න තරම් නිලධාරීන් අකාරුණික වුණා.

මට මහා අපරාධයක් කරපු මිනිහෙකුට වගෙ තමයි ඒ අය මට සැලකුවෙ. මොනවා කරන්නද මං ඒ හැම දෙයක්ම ඉවසගෙන හිටියා. මේ නිලධාරීන් දේශපාලනඥයන්ට කොයි තරම් ගැතිවෙලා ද ඉන්නෙ කියලා දැක්කෙ මේ බන්ධනාගාරෙදි තමයි. දේශපාලනඥයෝ සතුටු කරන්න ඒ අය ඕනෙ දෙයක් කරනවා.

අඟුණකොළේ ඉන්නකොට ලොහාන් රත්වත්තෙ මට ඉඳලා හිටලා කෝල් කරනවා. මගේ සුවදුක් අහනවා. බන්ධනාගාරේ සීඩීඑම්ඒ ෆෝන් එකට තමයි කතා කරන්නෙ. එහෙම කෝල් කරපු වෙලාවෙ මං ලොහාන්ට කිව්වා මචං බිම නිදාගන්න අමාරුයි මෙට්ටයක් දෙන්න කියලා. එහෙම කියලා මෙට්ටයක් ඉල්ල ගත්තා. මගේ අධ්‍යාපන වැඩ කරන්න කොල, පෑන් ඉල්ල ගත්තා. ලොහාන් ඒවගෙ පොඩි පොඩි උදව් කරලා දුන්නා.

දවසක් ලොහාන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආවා. ඒ ආවෙ නිලධාරීන්ගෙ ත්‍යාග ප්‍රධාන උත්සවයට. ඒ වෙලාවෙ මාව ඔෆිස් එකට ගෙන්න ගත්තා. අනෝදා ජූස් එකකුයි කේක් කෑලි දෙකකුයි දුන්නා මට. ඒවා දිව්‍ය භෝජන වගේ.

මේ කාලේ මගේ මස්සිනාගෙ අම්මා නැති වුණා. ලේ ඥාතියකුගේ ඇරෙන්න වෙන කෙනකුගෙ මරණයකට යන්න හිරකාරයකුට අවසර නැහැ. ඒත් ලොහාන් මට ඒ මරණයට යන්න අවසර අරන් දුන්නා.

මං ලොහාන්ට කිව්වා O/L, A/L කරලා තියෙන්නෙ. මට ඩිග්රි එකක් ගන්න කොළඹ යන්න අවසර දෙන්න කියලා. ඒත් ඒක කළේ නැහැ. මං බලධාරීන්ට දිගටම ලිව්වා. මට යුනිවර්සිටි යන්න අවසර දෙන්න කියලා. ඒ අය කිව්වෙ වැලිකඩ මට ආරක්‍ෂාව නැහැ කියලා.

ඔන්න ඔය අතරේ තමයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරෙ කොවිඩ් වසංගතය පැතිරෙන්න පටන් ගත්තෙ. ඇතුළෙ හැම හිරකාරයකුටම කොවිඩ් හැදුණා. මමත් කොවිඩ්වලින් දුක් වින්දා.

කොවිඩ් නිසා හිරකාරයෝ වෙන් කරලා හිටියෙ. අඟුණකොළ හිරගෙදර කැලෑව පැත්තට වෙන්න අතඇරලා දාපු සිරකුටියක් තියනවා. බන්ධනාගාර නිලධාරීන් මාව සති කීපයකට ඒ හිර කුටියට දැම්මා.

ඒ සති කීපය මං පුදුම දුකක් වින්දෙ. කිසිම වෙලාවක මාව එළියට ගත්තෙ නැහැ. අඩුම ගානෙ හුලං ටිකක් වදින්න ඉර එළිය ටිකක් වැටෙන්න එළියට ගත්තෙ නැහැ. කිසි කෙනෙකුට මාව බලන්න දුන්නෙ නැහැ. පිටින් කෑම ටිකක් ගේන්න දුන්නෙත් නැහැ. කොටින්ම කිසි කෙනෙක් එක්ක කතා කරන්නවත් දුන්නෙ නැහැ. හිතන්නකො සති දෙක තුනක් මිනිහෙකුට එහෙම ඉන්න පුළුවන්ද කියලා. දෙන්න තියන හැම වධ බන්ධනයක්ම ඒ අය දුන්නා.

අඟුණකොළපැලැස්ස හිරගෙදර ඉන්න කාලෙ හිටි ගමන් රෑට බන්ධනාගාර නිලධාරීන් මාව චෙක් කරනවා. මේ අයට හිරකාරයෝ නම දාලා තියෙන්නෙ බන්දා පොලිස් කියලා.

කොළඹින් එන ටීම් එකක් තමයි මේ විදිහට මාව චෙක් කරන්නෙ. ඒ අය සතියකට දෙතුන් වතාවක් මං ඉන්න හිරකුටියට පැනලා මගේ බඩුමුට්ටු ඇඳුම් සේරම බිමට ඇදලා දානවා. ඉතාම නරක විදිහට මට සැලකුවෙ. ඒ අය හොයන්නෙ මගේ ළඟ ෆෝන් තියනවද කියලා. මං ටෙලිෆෝන් පාවිච්චි කළේ නැහැ. මේක මට මහ වධයක් වෙලා තිබුණෙ.

එතැන හිටිය මට හිතවත් පරණ හිරකාරයෙක් කිව්වා බන්දා පොලිසිය චෙක් කරන්න ආවම හැසිරෙන්න ඕන විදිහ. බැරිම තැන මං ඒ දේ කරලා බැලුවා ඒක හරිගියා. බන්දා පොලිසියෙන් ඇවිත් මගෙන් ප්‍රශ්න කළා. මගේ ළඟ 3G ෆෝන් එකක් තියනවද කියලා. ඒ අය කිව්වා තොරතුරු ලැබිලා තියන නිසයි චෙක් කළේ කියලා. අර හිරකාරය කිව්ව විදිහට මං වැඩේ කළා. මාව චෙක් කරන්න ආව නිලධාරිනුයි හිරකාරයොයි ඉදිරිපිට මං ඇඳුම් සේරම ගලවලා මේක තමයි මට තියන 3G එක කියලා කිව්වා.

බන්දා පොලිසිය ලැජ්ජාවට පත්වෙලා යන්න ගියා. එදායින් පස්සෙ කවුරුත් මාව චෙක් කරන්න ආවෙ නැහැ.

ඔය අතරේ මං රඳවලා හිටිය හිර මැදිරියට යාබද හිර මැදිරියේ ජෝසේ කියලා මත්කුඩු ජාවාරම්කාරයෙක් හිටියා. එයා ළඟ තිබුණු ෆෝන් එක මං රඳවලා ඉන්න හිර මැදිරිය ඉස්සරහා පොළොවෙ වළ දාලා තිබිලා අහුවුණා.

බන්ධනාගාර නිලධාරීන් කිව්වෙ ඒ ෆෝන් එක මගේ කියලා. ඒ ගැන මාධ්‍ය සන්දර්ශන පවා තියලා ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. අන්තිමේදී ඒ ෆෝන් එකේ නම්බර්ස් චෙක් කළාම ඒක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ගනුදෙනු කරපු ෆෝන් එකක් කියලා අහුවුණා. අන්තිමේදී ඒ ෆෝන් එක ජෝසෙගෙ කියලා හොයා ගත්තා. ඒත් නිලධාරීන් ලොකු ප්‍රසිද්ධියක් දීලා තිබුණෙ ඒක මගේ කියලා ඇත්ත නිවැරැදි කරන්න ඒ අය කටයුතු කළේ නැහැ.

රංගන ශිල්පියෙක් විදිහට ඔබ ශාරීරික අභ්‍යාසවල නිරත වෙච්ච කෙනෙක්. ඔබ ඔබේ ශරීරය ගැන බොහොම උනන්දුවෙනවා. වසරකුත් මාස අටක් හිරේ ඉඳලත් ඔබේ ශරීරය එදා රන්ජන්ගෙ තිබුණ ශරීරය ඒ අයුරින්ම පවත්වගෙන ගිහින් තියන බව පේනවා. හිරේදී ජිම් එකේ සෙල්ලම් කරන්න අවසර තිබුණද?

ඇත්තම කියනවනම් මං හිරේ හිටිය මේ දීර්ඝ කාලසීමාවෙ එක දවසක්වත් ජිම් එක පැත්ත පළාතට යන්න දුන්නෙ නැහැ.

මොන තරම් බාධක දුෂ්කරතා ආවත් මං හැමදාම මගේ හිරකුටියට වෙලා ශරීර අභ්‍යාසවල නිරත වුණා. ඩිප්ස් ගැහුවා එක තැන දිව්වා. ඇතුළෙ ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාමවල නිරත වුණා.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරෙන් වැලිකඩට එන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඔබට උපාධියක් හදාරන්නත් අවස්ථාව සලසලා දුන්නා කොහොමද ඒ තත්ත්වය උදාවුණේ.?

ඇත්තටම මං ලොකු ආසාවකින් හිටියෙ ඉගෙන ගන්න. මොකද මං දැනගෙන හිටියා හිරේ ඉන්න කාලසීමාවෙ මං මට වැදගත් වෙන මොනව හරි කරගන්න ඕන කියන එක. මං ඒකයි උපාධියක් හදාරන්න තෝර ගත්තෙ. වටිනා කාලය මට ඒ වෙනුවෙන් වැය කරන්න තෝර ගත්තා.

ඒත් මුලින් මට ඒ අවස්ථාව ලබා දුන්නෙ නැහැ. මුල් කාලසීමාවෙ ඒ කියන්නෙ අඟුණකොළ හිරගෙදර ඉන්න කාලෙ නිලධාරීන් මට දෙන්න තියන වධ තිස්දෙකම දුන්නා. මට මගේ ජීවිතේ පවා එපා වෙච්ච අවස්ථා තිබුණා.

හැම වෙලාවකම මං මානසිකව වැටෙන්නෙ නැතිව තව තව ශක්තිමත් වුණා. මං බන්ධනාගාර බලධාරීන්ට දිගින් දිගට ම ලිව්වා මට උපාධියක් හදාරන්න ඕනෙ ඒකට අවසර දෙන්න කියලා.

මං අධිකරණයෙන් පවා ඉල්ලීම් කළා කොහොම හරි අන්තිමේදී මට ඒ අවස්ථාව උදා වුණා. මාව වැලිකඩ අරන් යනවා කියලා අහපු දවසෙ මට ලොකු සතුටක් දැනුණා.

රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කිරීමෙන් පසු සිදුවූ බන්ධනාගාර ජීවිතය උඩු යටිකුරු විය.

රන්ජන්ගේ වැලිකඩ ජීවිතය ගැන ලබන සතියේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙන් බලාපොරොත්තු වන්න.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment