නත්තල් තෑග්ග

786

වැඩි ධර්ම දේශනා කුමටද? අමතර නත්තල් තෑගිත් කුමටද? මේ රටේ කිතුනුවන්ට මේ නත්තලේදී ඒ කිසිවක් අවැසි බවක් නොපෙනේ. පාස්කු ප‍්‍රහාරයේ පස්සා පැත්තේ සිටින අය අල්ලා දඬුවම් කළොත් ඊට වඩා නත්තල් තෑග්ගක් ඔවුන්ට නැත. මෙහිදී වැදගත් යමක් සටහන් කරමු. පාස්කු ප‍්‍රහාරකයන්ට දඬුවම් කරනවා යැයි කියන්නේ හතරවටේ සිටින දේශපාලන තරහකාරයන් අල්ලා උන්ගෙන් පලිගැනීම පිණිස අවුරුදු 5, අවුරුදු 10, අවුරුදු 15, අවුරුදු 20 යනාදී වශයෙන් දඟගෙයි ලෑම නොවේ. සිද්ධියට කෙලින්ම සම්බන්ධ අය සහ සිද්ධිය යථාර්ථයක් බවට පත්කිරීමට කුමන්ත‍්‍රණය කළ Perpetrators ලා අල්ලා එල්ලීම හෝ වෙනත් සුදුසු දඬුවමක් දීම පමණි. අරන්තලාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා කොටින් විසින් කැතිගාන ලද අවස්ථාවේදී බෞද්ධයන් සමග වැළපීමට වෙනත් අය නොසිටි බව ඇත්ත. දළදා මාලිගාවට බෝම්බ ගැසූ විට අප සමග දුක් වීමට අන් කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ඇත්ත. අප විසින් කරනු ලැබිය යුත්තේ කිසියම් ආගමික කණ්ඩායමක් මුල් කරගෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වනවිට ඒ ආගම අදහන සෙසු අය කොයි තරම් ශෝකයට පත්වන්නේද යන්න අප ලැබූ පෙර කී අත්දැකීම් අනුසාරයෙන් තේරුම් ගැනීම පමණි. එතැන් සිට දුකට පත්වූ අන්‍ය ආගමික අපේ සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට අපට පුළුවන. අපරාධකරුවන් ඇල්ලීමේ කාර්යයට සහය පළ කිරීමට ද අපට පුළුවන.

අප දන්නා පරිදි කිතු සමයේ වැදගත්ම දිනය කිතු සමිඳාණන් උපන් නත්තල් දිනය නොව උන්වහන්සේ මරණයෙන් පිබිදුණු පාස්කු ඉරිදා දවස ය. මෙය පොදුවේ ගත්කල ඉතාම තර්කානුකූල ය. කෙනෙක් ඉපදීම සුළු සිද්ධියකි. ඔහු හෝ ඇය මියයෑම වඩාත් සුළු සිද්ධියකි. එහෙත් ඔහු හෝ ඇය මළවුන් අතරින් පණ ලැබ යළි නැගී සිටියේ නම් එය කිසිසේත්ම සුළුකොට තැකිය යුතු සිද්ධියක් නොවේ. ඒ නිසා කිතුනුවන් මහත් වූ හද බැතියෙන් සහ සතුටින් සමරන ලොකුම දිනය ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගී සිට දෙව්ලොව බලා ගිය දිනයයි. මෙවැනි දිනයක් සමරනු පිණිස පල්ලියකට ගොස් වැඳ වැටී සිටි බැතිමතුන් පිරිසකට බෝම්බ ගැසූ විට ඇතිවන තත්ත්වය ඉතා බියකරු ය. මෙය සමාන වන්නේ සද්භාවයෙන් පිළියෙල කර දුගී මගී යාචකයන් සඳහා බෙදා දීමට සූදානම් වන දානයකට මී පාසානම් කලවම් කිරීමට ය. කුලඟන සමිතියක නායිකාව අල්ලා දූෂණය කිරීමට ය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නැගී සිටි ඉහළම චරිතය වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඉතා කලාතුරකින් පහළ විය හැකි දේව දරුවකු බව අපගේ වැටහීම ය. කාදිනල් මාලිගයට වී රැකවලූන් සහ බැතිමතුන් මැද ඉතා සුවපහසු දිවියක් ගත කිරීමේ හැකියාව තිබුණත් උන්වහන්සේ ඒ සියල්ල පැත්තකින් තබා පාස්කු මිනීමරුවන්ට දඬුවම් දිය හැකි සාධාරණ මාර්ගයක් වෙත යොමුව සිටිති. ඒ වූකලී මහත්මා ගාන්ධිගේ අහිංසාවාදී විරෝධය සහ නීතියේ පිළිසරණ අනුගමනය කිරීමය. පාස්කු ප‍්‍රහාරය ක‍්‍රියාවට නැංවූවෝ සහරාන් සහ ගෝලයෝ ය. ඉස්ලාම් අන්තවාදයෙන් මොළය සෝදාගත් ගැහැනු ද පිරිමි ද මේ ප‍්‍රහාරයට එක්ව සිටියහ. ආගම මුල් කරගෙන ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් කතෝලිකයන් මැරීමේ පලිය ලෙයින් ගත යුතු බව කාදිනල්තුමා කිසිසේත්ම දේශනා කළේ නැත. උන්වහන්සේ සෑම කල්හිම කියන්නේ නීතියේ පිහිට මත අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු බවය.

ගිය අවුරුද්දේ මේ රටේ නත්තල් උත්සවයක් තිබුණේ නැත. මේ රටේ පමණක් නොව රටවල් බොහොමයක තත්ත්වය එයම විය. කොරෝනාව නිසා රට වසා තිබීම හේතුවෙන් එළියට බැස ගැනීමට නොහැකි වූ මේ රටේ සියලූ ආගමිකයෝ තම තමන්ගේ ගෙවල් තුළට වී ස්වකීය ආගමික උත්සව සැමරූහ. මේ නත්තල තුළත් කොරෝනා තිබුණත් එහා මෙහා යෑමේ නිදහස ඇත. තවදුරටත් රට වසා නැත. එහෙත් මේ නත්තලේදී බෝංචි කිලෝවක් රුපියල් 600 කි. කැරට් රුපියල් 500 කි. අර්තාපල් රුපියල් 300 කි. සහල් රුපියල් 200 කි. ගෑස් නැත, භූමිතෙල් නැත යනාදී වශයෙන් නැති බඩු ගැන කතා කරන්නට ගියොත් පිස්සු දෙගුණ වේ. මේ තීරුව අදට මෙතකින් නවතී. ඊළඟ නත්තල වඩාත් යහපත් වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment