නත්තල අරුත් ගන්වන කාදිනල්තුමන්ගේ ඉල්ලීම

502

නත්තල් සැමරුමට ඇත්තේ තව දින කීපයක් පමණි. මුළු ලොවම නත්තල් සිරියෙන් ඇලලුනද අපට එහි චමත්කාරයක් විඳ ගැනීමට නොහැකි තරමට රට දිළිඳු වී තිබේ. රට දිළිඳු වීම අහම්බයක් නොවන අතර මෙතෙක් අප රට මෙහෙය වූ පාලකයෝ ඊට වගකිවයුතුය. රට දිළිඳු වුවද අප රටේ අතළොස්සකට එහි බරපතළකමක් නොදැනෙන්නේ මේ අය රට උලා කා තම මඩිය තරකරගෙන ඇති බැවිනි. ඔවුනගේ හත්මුතු පරම්පරාවකට ඔවුන් සොරා කෑ මුදල් ප්‍රමාණවත්ය. වේදිකාවල කොතෙක් කෑ මොර දුන්නද, ඡන්ද කාලයේදී හොරුන් අල්ලන බවට වහසි බස් දෙඩුවද ඒ කිසිවක් අප පොළව මත යථාර්ථයක් වන්නේ නැත. සාතන්ගේ පුත්‍රයන් විසින් විනාශ කළ මේ රටේ බහුතරයකට හිමිව ඇත්තේ දුක කඳුළ වේදනාව පමණි. එවන් පසුබිමක නත්තලේ සැබෑ අසිරිය විඳ ගැනීමට නොහැකි වූවන්, පීඩාවට පත් දිළින්දන් වෙනුවෙන් ආධ්‍යාත්මය පිරිසිදු ඔබට යමක් කළ හැකිය. එයට ආරම්භයක් ගැනීම සඳහා උචිතම කාලය පැමිණි ඇති බව පසක් කරදෙනු කැමැත්තෙමු.

අද කතුවැකිය සඳහා අපට මෙවැනි ආරම්භයක් ගැනීමට සිත්වූයේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් මෙරට කතෝලික ජනතාවගෙන් මෙන්ම අන් සියලු රට වැසියන්ගෙන් කර ඇති ඉල්ලීමක් නිසාවෙනි. උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙවර නත්තල වෙනුවෙන් රට පුරා සිදුකෙරෙන සැරසිලි, විදුලි ආලෝක, ප්‍රිය සාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර ඒ සඳහා වැයවෙන මුදල් මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැයකරන ලෙසයි. රට පත්ව ඇති තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවත් උන්වහන්සේ කියා සිටිති. එසේ වැය කරන මුදල් මේ රටේ අසරණයන් වෙනුවෙන් මෙන්ම අධික ලෙස පාසල් උපකරණ මිල ඉහළ යෑමෙන් අසරණව සිටින පාසල් දරුවන් වෙනුවෙන් කැපකරන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.

කාදිනල්තුමන්ගේ මෙම ඉල්ලීම පක්‍ෂ පාට ආගමික භේදයකින් තොරව අප රටේ අන් සෑම ජන කොට්ඨාසයක්ම වැළඳ ගතහොත් එයත් මහානිසංස ලබාදෙන උතුම් පිංකමක් වනු ඇත.

සුද්දාගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ගෙවී ගිය වසර 74 ක කාලය තුළ අප රට වළපල්ලට ගියේ පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ මෙන්ම රට නිශ්චිත ඉලක්කයක් ඔස්සේ මෙහෙය වූයේ නැති නිසාවෙනි. අපට බොහෝ සෙයින් පිටුපස සිටි ඉතියෝපියාව වැනි රටවල්ද තිරසාර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට යද්දී අප රට ලෝකයෙන් හිඟමන් යදින රට බවට පත්වීම ගැන අප කම්පා විය යුතුය. එම තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා දැන්වත් නිශ්චිත ඉලක්කයන් ඔස්සේ අවංකව මේ රට මෙහෙයවීම පාලකයන්ගේ යුතුකමකි.

අද වන විට අප රටේ දූ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු හෙළි වෙද්දී අනෙක් පසෙන් ඇසෙන්නේ පාසල් දරුවන් පවා අයිස් වැනි භයානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීමට උත්සාහ ගන්නා බවකි. මේ අතර බෙන්තොටදී අයිස් සාදයකට සහභාගි වූ තරුණයන් 32 දෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ධර්මද්වීපයක් ලෙස හැඳින්වූ මේ පිං බිම පවට ඇද දැමීමේ පාපයට වගකිවයුත්තන් වහාම හෙළිදරව් කර ගත යුතුය. කුඩු ගසන්නන් අල්ලා හිරේ දමා කුඩු ගෙන්වන ව්‍යාපාරිකයන් ආරක්‍ෂා වන සමාජ වටපිටාවක් අප රට තුළ නිර්මාණය වීම අහම්බයක් නොවන අතර මේ පිටුපස සිටින පිරිස් හඳුනා ගැනීමකින් තොරව මෙම විපතින් අප රටට ගැලවුමක් නොවනු ඇත.

එක් පසකින් දිළින්ඳන් වැඩි වෙද්දී අනෙත් පසින් රට තුළ සිටින යෞවන පරම්පරාව ඇවිදින ඇටසැකිළි බවට පත්කරන මෙම මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් අතුගා දැමීමට කටයුතු නොකළහොත් අප රටේ හෙට දවස අඳුරෙන් අඳුරට යෑම වැළැක්වීමට නොහැක. අපේ රටට ආදරය කරන සෑම පුරවැසියකුම මනුෂ්‍යත්වයේ නාමයෙන් සෑම අතින්ම වැටී ඇති අප රට ගොඩගැනීම සඳහා ඉදිරියට පැමිණිය යුතුය. රට තුළ දිළින්දන් නොව ආර්ථික වශයෙන් ශක්තිමත් මිනිසුන් මෙන්ම මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් ගොඩනැඟීම අවැසි පසුබිම සැකසීම සඳහා ගන්නා සෑම උත්සාහයකටම අපේ ආශීර්වාදය පළ කරමු. දිළින්දන් වෙනුවෙන් කාදිනල්තුමන් කරන ඉල්ලීම සැබෑ නත්තල අරුත් ගන්වන බවට කිසිදු සැකයක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment