නන්දලාල් වීරසිංහ මහත්තයා යවලා මඟුල් ගෙදරකට ගිය ද්විත්ව පුරවැසියා  නැවත මහ බැංකු අධිපති කරන්න හදනවාද?

287

සජබ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි

රන්ජන්ට ලබාදී ඇත්තේ  නාමික නිදහසක්

මගුල් ගෙදරකට යනවා කියලා ගිය ද්විත්ව පුරවැසි අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකු අධිපතිධුරයට පත්කිරීමට සුදානම්වන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03දා) සමගි ජනබලවේගයේ අක්මීමන ආසන බලමණ්ඩල  රැස්වීමේදී ප්‍රශ්න කළේය.

නන්දලාල් වීරසිංහ මහත්තයා යවලා මඟුල් ගෙදරකට ගිය ද්විත්ව පුරවැසියා  නැවත මහ බැංකු අධිපති කරන්න හදනවාද?

සමගි ජනබලවේගයේ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීම ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් සංවිධානය කොට තිබිණි. ගාල්ල මිපාවල හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති ආසන බලමණ්ඩල රැස්වීමේදී විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

අර මගුල් ගෙදරකට යනවා කියලා ගිය ද්විත්ව පුරවැසි අධිපතිවරයා මහ බැංකුව කොල්ලකාපු අධිපතිවරයා මගුල් ගෙදර ගියා ගියාමයි පැත්ත පළාතක ඇවිත් නැහැ. ඔය හදන්නේ මගුල් ගෙදර ගියපු කෙනා ආපසු පත්කරගන්නද, ඊට පස්සේ පත්වූ අධිපතිවරයා මුළු රටම විනාශ කළා. රටට බොරු සපයපු අධිපතිවරයා එයාගේ විනෝදාංශය තමයි මුදල් අච්චි ගැසීම. ඒ මුදල් අච්චු ගැසීම නිසා අද අපේ රටේ අධි උද්ධමන රටක් බවට පත්වෙලා තියෙනවා. සල්ලි අච්චුගහලා උඩට යවපු පුද්ගලයා අධිපතිකරන්නද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්තයා යවන්න හදන්නේ. නන්දලාල් මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරන විට තමයි මෙයාව එලවිමේ පළමු වෙඩිමුරය පත්තු කළේ.

මේ වනවිට අලුත්ම සෙල්ලමක් ආණ්ඩුව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. විශ්‍රාම සුවයෙන් ඕස්ටේ්‍රලියාවේ හිටපු ආචාර්ය නන්දලාල් විරසිංහ මහත්තයා ලංකාවට ගෙන්වාගෙන මහ බංකු අධිපතිධුරය ලබාදීලා දැන් හීන් නූලෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මෙම කුමන්ත්‍රණය පටන්ගත්තේ බදාදා. පොහොට්ටුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආපු පැයවිසිහතර පුරා සිරිකොත ගැත්තෙක් බවට පත් වුනු පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අහනවා මහ බැංකු අධිපතිතුමාගෙන් ඔබ ද්විත්ව පුරවැසියෙක්ද කියා. මේ කරන්න හදන්නේ කුමක්ද? කථා හදලා කට කථා යවලා රක්ෂාව එපා කරවලා ඒ මනුස්සයා යවලා තමන්ගේ ගජ මිතුරකු පත් කරගන්න. මොනවාටද ගජ මිතුරන් පත් කරගන්නේ අධිපතිකම්ධුරවලට. ඊට පස්සේ ගාල්ලේ ඩීල් පප්පා පාර්ලිමේන්තුවේදී විනාඩි 20ක් පුරාවටම සෘජුව නොවෙන්න පුළුවන් වක්‍රව පසුබිම හදනවා නන්දලාල් විරසිංහ යවලා තමන්ගේ ගජ මිතුරු ඩීල්කාරයෙකු අධිපති කරවන්න. රටත් බංකොලාත් වෙලා ලක්ෂ 220ම අනාථ වෙලා. වැටුණු රටේ හැලිය රත්වුනු වෙලාවේ සුපුරුදු පරිදි ගජ මිතුරු සෙල්ලම් කරන ඒ කකුළුවෝ ටික නේද මේ ආණ්ඩුවේ ඉන්නේ? ඇයි මේ රටට විහිළු සපයන්නේ? ප්‍රතිසංස්කරණ සිද්ධවෙන්න ඕන. ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාත්මක වෙන්න ඕන. භූමිතෙල් මිල ඉහළ දමලා ධීවරයාට රක්ෂාව කරගෙන යන්න බැහැ. වතු ජනතාව නාගරික ජනතාව අනාථ වෙලා. ඒ අයට කිසිදු සහනයක් නැහැ. නිකන් වාක්‍යයක් විතරක් තියෙනවා. සහන දෙනවා කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කිසිදු සහනයක් නැහැ. ත්‍රිරෝද රථකරුවන්ගේ ලීංසි එකට ණය වාරික එකට කිසිදු සහනයක් නැහැ.

ලොකුවට අඬබෙර ගහලා කිවානේ අපි පැති මාරු කරන්නේ රන්ජන් රාමනායක නිදහස් කරගන්න කියලා. අනේ ඉතින් නමට නිදහස් වෙලා තියෙනවා. රන්ජන්ට කට අරින්න බැහැ. රන්ජන්ට දේශපාලනය කරන්න බැහැ. ඡන්දයක් ඉලන්න බැහැ. තමන්ගේ ආත්මය විකුණපු තුට්ටු දෙකේ දේශපාලන සිල්ලර වෙළඳුන් තමන්ගේ මඩි තර කරන්නට රන්ජන්වත් වික්කා. අපි එහෙම දේශපාලන වෙන්දෙසි කරන්නේ නැහැ. අපි ඉල්ලන හැම අවස්ථාවකම ඉල්ලුවේ පූර්ණ නිදහස අරික්කාලේ භාගේ හා තුන්කාලේ නිදහස නෙවෙයි. අපි ඉල්ලුවේ සම්පූරණ නිදහස. කොහොමද අපිත් ඇමැති මණ්ඩලයේ හිටියා නම්. වස්ත්‍රයක් ඇඳගෙන රන්ජන් ළඟට යන්නවත් පුළුවන්ද? රන්ජන්ගේ ඥාති හිතමිතුරන්ට කථාකරන්නවත් අපිට පුළුවන්ද? රන්ජන් වෙනුවෙන් කැපවුනු දශලක්ෂ සංඛ්‍යාත ජනතාවට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ බොරුකාර වංචාකාර නිදහස වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ රටේ හොරු අල්ලන නායකත්වය ගන්න සරත් පොන්සේකා හා රන්ජන් වහාම නිදහස් කරන්න. ජනදුක දන්න පොදුජන රජයකට සියලු දෙනා සූදානම් වන්න යැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද කථා කළ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුලාල්  බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ආචාර්ය ධනවර්ධන ගුරුගේ යන මහත්වරුද එක්ව සිටි අතර සමගිජන බලවේගයේ අක්මීමන ප්‍රධාන කාර්යාල විවෘත කිරීමද විපක්ෂ නායකවරයා විසින් සිදුකරනු ලැබිය. මෙම අවස්ථාවට පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment