නන්නත්තාර ටෙලි කලාවට අභියෝග කරන ‘නන්නත්තාර’

233

ටෙලි නාට්‍යය, චිත්‍රපටය හෝ වේදිකා නාට්‍යය වේවා ජයන්ත චන්ද්‍රසිරි සෑම විටකම තම කෘතිය සමග දෘශ්‍යමාන වන්නේ කලා නිර්මාණකරණය උදෙසා වූ ප්‍රධාන විශ්ව සාධකයක් කෙරෙහි අනුගත වෙමිනි. එනම් කෘතියෙන් ඉදිරිපත් කෙරෙන අත්දැකීම විශ්වය තරම් පැරණි වුවද, එය ඊළඟ නිමේෂය තරම් නැවුම් විය යුතුය යන්නය. මේ අනුව ඔහු හැම විටම පාහේ සිය කෘතිය අයත් මාධ්‍යය තුළින් නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සාහ ගනු ලබන්නේ පවතින ඒකාකාරී පෙළ ගැස්මෙන් ඉවතට පනිමිනි. එපමණක්ද නොවේ, ඔහු විසින්ම එතෙක් බිහි කරන ලද නිර්මාණ මොඩලයේ තවත් කෘතියක් බිහි කිරීමෙන් ද වැළකෙමිනි.

මෙම අස්ථානයේ රැඳී සිටිමින් ඔහු සිය ‘නන්නත්තාර’ ටෙලි නාට්‍යය මගින්ද අපව එදිනෙදා දන්නා කියන සමාජ සංස්ථාවන්ගෙන් ඔබ්බෙහි වූ වෙනත් වපසරියකට ප්‍රේක්ෂකයා කැඳවා ගෙන යයි.

ඒ ඩේවිඩ් කාටලය වෙතය.

ඩේවිඩ් කාටලය යනු ලිබර්ටි වත්ත නම් භූමි භාගයේ ගොඩ නඟන ලද, එනමින් යුත් භයානක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ රාජධානිය ලෙස සැලකිය හැකි බල ප්‍රදේශයකි.

කාටලයක් යනු මනාව සංවිධානය කරන ලද ආර්ථීක ලාභ ඉහළ දමා ගැනීම උදෙසා නිපැයුම් සහ සැපයුම් පාලනය කර ගැනීමට ඇතිකර ගන්නා සන්ධානයක් ලෙස ශබ්ද කෝෂයන්හි අරුත් ගන්වා ඇතත් වර්තමානයේදී එය හැඳින්වෙන්නේ හෙරොයින් ප්‍රමුඛ මත්ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිතව ගොඩ නැඟුණු අපරාධ සංස්කෘතියක් සහිත බල ඒකකයක් ලෙසටය. මෙම නිර්මාණය තුළද කතාබහට ලක්වන කොලොම්බියාවේ මෙඩ්ලින් නගරය ප්‍රමුඛ කොටගත් මෙඩ්ලින් කාටලය එයට හොඳම උදාහරණය වෙයි.

කාටලය අරබයා වූ මෙකී චිත්‍රය නන්නත්තාර ටෙලි වෘතාන්තය උදෙසා වඩාත් තීව්ර වන ලෙස වර්ණ ගන්වන ජයන්ත චන්ද්‍රසිරි එය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනු ලබන්නේ බලකොටුවක ආකෘතියකින් යුත් වෙනමම අවකාශයක් ලෙසය. එය ෆෙඩ්රික් ෆෝසෙයිත්ගේ ඇවෙන්ජර් නව කතාවේ කියවෙන ශාන්ත මාටින් දිවයිනෙහි වූ සොරාන් සිල්ක්ගේ කාටල බලකොටුව ජාතියේ එකකි.

නමුත් ජයන්ත චන්ද්‍රසිරි නන්නත්තාර තුළදී දරුණු අපරාධ සංස්කෘතියක පසුබිම පදනම ලෙස තබා ගනිමින්, එම වපසරියේ භූමිකාවන්ද, එයට අදාළ සිද්ධිදාමයන්ද තමන්ට රිසි පරිදි අපූර්ව මනඃකල්පිතයක් බවට පත්කර ගන්නට සමත් වෙයි.

ඔහු අපට ඉදිරිපත් කරන මෙම අවකාශය තුළ වෙනමම දැඩි නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, ඇතුළට පැමිණියෙකුට කිසි දිනක ආපසු හැරී යා නොහැකි වීම ඒ අතර ප්‍රධාන නීතිය වෙයි. එවැනි උත්සාහයක නිරතවන්නෙකුට යා හැකි උපරිම දුර වන්නේ මළ සිරුරක් ලෙස ලිබර්ටි වත්තේම වූ කනත්ත දක්වා යන ගමන පමණකි.

වහලුන් සේ කටයුතු කරන ගැහැනු පිරිමි සමූහයක් සේම, සිය ස්වාමියාගේ අණසක අකුරටම පිළිපදින ආරක්ෂක මැර හමුදාවකින්ද සමන්විත මෙම කාටලය තුළ වසන සෙසු පිරිස වන්නේ කාර්මිකයින්, විද්‍යාඥයින්, ලිපිකරුවන්, කංකානින් මෙන්ම කම්කරුවන් ආදීහුය. කාටලය තුළ ඩැඩී ඩේවිඩ්ගේ ආධිපත්‍යය කොතෙක්ද යත් සිය අණසකට එරෙහි වන්නන්ට එරෙහිව නඩු අසනු පිණිස උසාවියක්ද, දඬුවම් ලබන්නන් දැමීම පිණිස සිර ගෙයක්ද වෙයි. නඩු ඇසීම කරනු ලබන්නේ ඩැඩී ඩේවිඩ්ගේ උපදේශකයා වශයෙන් කටයුතු කරන වෛද්‍යවරයා විසින් වන අතර, මරණ දඬුවම නියම වූවන් උදෙසා වූ අළුගෝසු කාර්යය ඩැඩී ඩේවිඩ් විසින්ම ඉටු කරන ආකාරය දක්නට ලැබේ. මෙම කාටල රාජ්‍යය තුළ ඩැඩී ඩේවිඩ්ට නිල වශයෙන් භාර්යාවක් සිටිය ද ඔහුගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා විටින් විට එහි සේවයේ නියුතු තරුණියන් පැමිණිය යුතු වීමද නෛතිමය කරුණක් බවට පත්ව ඇති බව පෙනේ.

නන්නත්තාර ටෙලි කලාවට අභියෝග කරන 'නන්නත්තාර'

මෙවන් භෞතික සංයුතියකින් සැදුම් ලත් කාටල රාජධානිය තුළ සිදු කෙරෙන්නේ නවීන තාක්ෂණය මගින් fentanyl – x නම් එක්තරා මත් පෙත්තක් නිපදවීමේ කටයුත්තකි. එය නිපදවනවා පමණක් නොව දකුණු ආසියාව පුරා බෙදා හැරීම සිදු කරනු ලබන්නේද ඩේවිඩ් කාටලය විසිනි. නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණාගාර මීයන් ලෙස යොදා ගනු ලබන්නේ වහලුන් ලෙස සේවයේ යෙදී සිටින තරුණ සේවකයන්ය.

සුප්‍රකට ඉතාලි මාෆියා සංවිධානයේ ඩොන් නොහොත් ගෝඩ් ෆාදර්ගේ ප්‍රධාන උපදේශකයා වන කොන්සිග්ලියර් තනතුරට සමාන නිලයක් දරන වෛද්‍ය ගලප්පත්ති කාටලයේ ජාත්‍යන්තර නියෝජිතයා ලෙස ද කටයුතු කරන්නෙකු බව දැකගත හැකිය.

මෙවන් පරිසරයක් පසුබිම් කර ගනිමින් ගලා යන නන්නත්තාර ටෙලි නාට්‍යය අපට ලබා දෙන්නේ නිරන්තර අසා දැක පුරුදු, කන, බොන, අඳින පළඳින චර්යාවන්ගෙන් ඔබ්බට ගිය ආගන්තුක වූ අත්දැකීම් සමුදායක් විඳ ගැනීමේ අවස්ථාවකි.

මෙවැනි භයානක ජාවාරමක් උදෙසා අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු දේශපාලන අනුග්‍රහයද, ඇතැම් දූෂිත ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ සහයෝගයද සමග ක්‍රියාත්මක වන මෙම කාටල අධිරාජ්‍යය අපට පෙන්වා දෙන්නේ එය කිසි දිනක පුපුරවාලිය නොහැකි ප්‍රාකාරයකින් වට වී ඇති, ශක්තියෙන් අනූන වූවාක් බවය.

අධ්‍යක්ෂවරයාගේ උත්සාහය වී ඇත්තේ නීතියේ ඉහළම ආධිපත්‍යයෙන් පවා බිඳ හෙළිය නොහැකි වූ මේ ප්‍රකාරය, එකිනෙකාගේ චිත්ත අභ්‍යන්තරයෙන් මතුවන මනුෂ්‍යත්වය පිළිබඳ උදාර සංකල්පයන් විසින් ඇතුළතින්ම පුපුරා යන ආකාරය අපට පෙන්වා දීමය. ඇසට නොපෙනෙන පරමාණුවක න්‍යෂ්ටිය බිඳ හෙළීමෙන් අසීමිත ශක්තියක් නිපදවෙන්නා සේ එක් එක් භූමිකාවන්ගේ චිත්ත්‍යාභයන්තරයෙන් එල්ලවන මානුෂික හැඟීම්වල ශක්තිය හේතු කොට ගෙන ඔවුන්ගේ කාටල සන්නාහකයන් පුපුරා සුණු විසුණු වෙන්නට පටන් ගන්නා අයුරු අපට මෙහිදී දක්නට ලැබේ. පිටතින් සහ ඇතුළතින් ගොඩනැඟෙන භෞතික විප්ලවයන් සහ ආරක්ෂක අංශවල ප්‍රහාරයන් කෙතරම් බලවත් වුවද කාටලය බිඳ වැටෙන්නේ එකිනෙකාගේ ආධ්‍යාත්මය ආක්‍රමණය කරනු ලබන හැඟීම්වල බල මහිමය විසිනි. මෙහිදී ඒ සඳහා ප්‍රධාන වන්නේ ආත්මාර්ථයෙන් තොර ආදරය විනා අන් කිසිවක් නොවේ.

මේ හේතුකොටගෙන ඩේවිඩ් කාටලය අප ජීවත්වන මේ සමාජය තුළ කොතෙක් යථාර්ථවාදී ද නැද්ද යන්න තර්කයට හසුකර ගත යුක්තක් නොවන බව අපගේ අදහසයි. එය වූ කලී නිර්මාණකරුවාගේ ආත්ම ප්‍රකාශනය වඩාත් තීව්ර කරනු සඳහා වූ පසුබිමක් පමණක් සේ සැලකිය හැක්කකි. මතුවන උදාර මනුෂ්‍යත්වය වඩාත් දිදුලමින් කැපී පෙනෙන්නේ පසුබිමෙහි වූ ඒ අමානුෂික පසුබිම හේතුකොට ගෙන වන හෙයිනි.

මේ කාරණය ඉස්මතු කිරීම සඳහා නිර්මාණකරුවා විසින් ගොඩනඟා ඇත්තේ ඉතාමත් අපූර්ව සංයුතියකින් යුත් පවුලකි.

පවුලේ පියා ඩැඩී ඩේවිඩ් වන අතර, ඔහුගේ බිරිඳ ෂර්මිලා මමීය. ඊට අමතරව ලොකු පුතෙකු සහ පොඩි පුතෙකුද සිටිති. ප්‍රධාන සේවිකාව මාග්‍රට් ය. මෙහි කැපී පෙනෙන කරුණ වන්නේ මේ සියලු ඥාති සබඳතා වැටුපක්ද, අදාළ බලතල ද සහිත තනතුරු පමණක්ම වීමය. විධායක බලතල සහිත සභාපතිවරයෙක් යටතේ සිටින අධ්‍යක්ෂ මණ්ඩලයක් මෙනි. උදාහරණයක් වශයෙන් ලොකු පුතා යනු ඩැඩී ඩේවිඩ් නොහොත් කාටලයේ ඩොන් ළඟට බලතල ඇති පුද්ගලයාය. දෙවැනි පුත්‍රයා නම් තනතුර ඇති පුද්ගලයා, ඊළඟ බලවතාය. පවුලේ සාමාජිකයකු නොවූවද ප්‍රධාන උපදේශක තනතුර දරන වෛද්‍යවරයා ද ලොකු පුතාගේ අණට යටත් විය යුතුය. සේවිකාවන් අතර ප්‍රධානියා ලෙස කටයුතු කරන මාග්‍රට්, සේවක සේවිකාවන් අරබයා අධිකාරී බලයක් හිමිකරගෙන සිටින්නියකි. නමුත් යම්කිසි චෝදනාවක් හේතුකොට ගෙන මේ පවුල තුළ ඇති අම්මා, පුතා, අයියා, මල්ලි ආදී තනතුරු ක්ෂණයකින් වෙනස් වෙයි. ඒ අනුව අසුරු සැණක් තුළ මල්ලි අයියා වී, අයියා සිරගෙට නියම විය හැකි අතර, ප්‍රධාන සේවිකාව දරුවන්ගේ අම්මා බවට පත්වී, අම්මා සේවිකා තනතුරකට පත් විය හැක. විශේෂ කරුණ වන්නේ එසේ පත්වීම ලැබූ සැණින් අදාළ සියලු බලතල හිමිවීමත්, පහළට වැටුණ නිමේෂයේ සිට සියල්ල අහිමි වීමත්ය.

මේ දෙබස් ගැන අවධානය යොමු කරන්න.

මාග්‍රට්:- එයා අපිට හරියන්නේ නෑ මැඩම්.

මමී ෂර්මිලා:- වෙන්න බෑ. ඒත් ඒක එහෙම නම් ඒක තීරණය කරන්නේ උඹ නෙමෙයි ඩැඩී බොස්. ඒ මොනවා උනත් මතක තියා ගනින් මාග්‍රට්, ඒ අපේ ලේලි, උඹ අපේ සේවිකාව.

මාග්‍රට්:- නෑ මැඩම්, මම සේවකයින්ගේ නායිකාව.

ඒක තනතුරක්

මමී ෂර්මිලා:- උඹ දන්නවද අපි කරන්නෙත් තනතුරු කියලා

මාග්‍රට්:- ඔව් මැඩම්. මැඩම්, මමී කියන තනතුර. මනනන්ද බොස්, ලොකු පුතා කියන තනතුර. සිහින බොස්, පොඩි පුතා කියන තනතුර.

මමී ෂර්මිලා:- රම්බා?

මාග්‍රට්:- ලේලි කියන තනතුර

මමී ෂර්මිලා:- ඔව් ලේලි කියන තනතුර

මේ හැම දෙනා එවැනි ආකෘතියක රැඳී සිටියද කාලයත් සමග ඔවුන් එකට ගැට ගසනු ලබන්නේ, එහි ඇති නීතිරීති හෝ ස්වකීය ආත්මාර්ථය විසින් පමණක්ම නොවේ. ඔවුනට නොදැනීම ඉස්මතු වී ආ මානුෂීය බැඳීම් හේතුකොට ගෙන ඔව්හු එකිනෙකාට බැඳෙන්නට වෙයි. ඒ අනුව අප දකින්නේ එක් මොහොතක තනතුරින් ප්‍රධාන සේවිකාව වුවද, ඩැඩී ඩේවිඩ් කෙරෙහි අඛණ්ඩ ප්‍රේමයෙන් යුත් මාග්‍රට් ද, පවුලේ දෙවැනි පුතු තනතුර දරන සිහිනට මාතෘ ප්‍රේමයක් දක්වන මමී ෂර්මිලාද, ව්‍යාජ විවාහයකින් තම බිරිය කරගත් ගණිකා වෘත්තියේ යෙදුණ තරුණියට පවිත්‍ර ප්‍රේමයක් පුද කරන පවුලේ ලොකු පුතු මනනන්ද ද, කාටලයේ නියෝගයක් වරදවා තේරුම් ගැනීම නිසා, පවුලේ දෙවැනි පුතු වන සිහින වෙඩි කා මිය යෑමෙන් අනතුරුව සිහි විකල්ව මානසික රෝගියකු වන ඩැඩී ඩේවිඩ් ද අපට කියා පාන්නේ ප්‍රචණ්ඩත්වයේ බල මහිමයෙන් ශක්තිමත් ඒකකයක් වූ ඩේවිඩ් කාටලය මේ හේතු කොට ගෙන තැනින් තැන ලිහිල් වෙමින් ගල් ගැලවෙන්නට පටන් ගන්නා අයුරුය.

මෙවැනි මැර සංවිධානයක් මුල් කරගත් සියලු කතාන්තරවලට පොදු සිදුවීම් වන ආරක්ෂක අංශවල ක්‍රියාකාරකම් මෙන්ම, ස්පාටකස් යුගයේ සිට පැවති එන පරිදි වහලුන් කැරැල්ලක් සඳහා ඒකරාශි වීම ආදිය නන්නත්තාර තුළද දක්නට ලැබේ. එම චරිත නිරූපණය තුළ සහ ඉදිරිපත් කිරීමේ නැවුම් ස්වභාවයක් තිබුණද එම කාරණා දායකවන්නේ නන්නත්තාර වෘත්තාන්තය සඳහා සතුටුදායක අවසානයක් ඇතිකර දීම සඳහා පමණි.

නමුත් සිහිනගේ මරණයෙන් අනතුරුව කාටලයෙන් පලා යන ඩැඩී ඩේවිඩ්ගේ ආත්මය තුළ වූ යක්ෂයා ඉවත්වී මනුෂ්‍යයා ඉස්මතුවීම එම උමතුව තුළ වුවද ඊට වඩා සුන්දර අවසානයක් ලෙස අප හදවතට දැනේ.

ඩැඩී ඩේවිඩ්ගේ පමණක් නොව කාටලය තුළ වූ සෙසු බොහෝ චරිතද, සිය අවසානය කරා ළඟා වන්නේ තමා ගෙවන දිවි පෙවෙතට වඩා හාත්පසින්ම උසස් උත්තරීතර මනුෂ්‍යත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුවය. නිල වශයෙන් පමණක් අම්මා කෙනෙකු වීමෙන් අනතුරුව පවා දරු සෙනෙහසද, සැමියාගේ සෙනෙහසද අහිමිවූ ෂර්මිලා, රම්බාගේ ආරක්ෂක නිලධාරියා වූ වින් ඩීසල්, තම පෙම්වතිය උදෙසා උත්කෘෂ්ඨ ප්‍රේමයකින් බැඳුණු කාටලයේ අභිනව නායකයා වූ මනනන්ද, දෙවැනි පුතු වූ සිහින ආදීහු, ඩැඩී ඩේවිඩ් මෙන්ම තමා තුළ වූ මනුෂ්‍යයාගේ අවදිවීමත් සමග කාටලයේ මහා ප්‍රාකාරය දෙදරවීමට දායක වූවාහු වෙත්.

එම නිසා නන්නත්තාර ටෙලි නාට්‍යයේ කතා මාලාව තුළ වූ කූඨප්‍රාප්තිය කාටලය විසින් පොලිසිය වටලෑම සහ විජේ සහ රම්බා එකතුවීම පිළිබඳ සුඛාන්තයෙන් ඔබ්බට ගිය දෙයකි.

එය අහිමි වූ මව් සෙනෙහසක හිඩැස් පුරවා ගනු පිණිස ඉඩ ලැබුණු නිමේෂයක් තුළ ආත්ම පරිත්‍යාගයක යෙදෙන්නන්ගේ කතාවක් ලෙසද, විරල ගණයේ උත්කෘෂ්ඨ පෙම් කතාවක් ලෙසද, රටක දේශපාලන සදාචාරය සහ යථාර්ථය පිළිබඳ හරස් කඩක් ලෙසද, මිනිස් චිත්ත සන්තානයේ සංකීර්ණත්වය පිළිබඳ ප්‍රමාණාත්මක විවරණයක්ද වශයෙන් ද, ස්ත්‍රීවාදී කෘතියක් ලෙසද මාන කීපයක් ඔස්සේ විඳිය හැක්කකි.

සිය ජීවිතයෙන් සමුගන්නට පෙර කාටලයේ මවගේ තනතුර දැරූ ෂර්මිලා අභිනව ඩොන් වූ මනනන්දට පවසන මේ වැකිය තුළ ඒ සමස්ත අර්බූදය කැටි වී පෙනේ.

“…ඩැඩී බොස් ඉන්නේ ඇත්තයි බොරුවයි වෙන් කර ගන්න බැරි ලෝකෙක. අපි ඇත්තයි බොරුවයි එකතු කර ගන්න බැරිව එකතු වෙලා බලා ඉන්නවා.”

කාටලයේ ‘පවුල’ අවසානයට මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ එයයි. ෂර්මිලා එයට පිළිතුරු සොයා ගන්නේ හිසට වෙඩි තබා ගෙන දිවි නසා ගනිමිනි. අවසානයේ ඩොන් බවට පත් වුවද, මනනන්ද සිය ජීවිතය නැති කර ගන්නේ තමා ප්‍රේම කළ ගැහැනිය ඝාතනය කිරීමේ නියෝගයට අවනත නොවීම හේතුකොට ගෙනය. මුල සිටම ඝාතනයේ අණ දෙන්නා පමණක් නොව එය ක්‍රියාත්මක කරන්නකු බවට ද පත්ව සිටි ඩැඩී ඩේවිඩ් මරණ වරෙන්තුවට ලක්ව සිටින්නේ කාටලය අතහැර ඉබාගාතේ යෑම හේතුකොට ගෙනය.

නමුත් මේ සියල්ල මධ්‍යයේ කාටලය ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇදී යයි. එහි යාන්ත්‍රණය නැවතී නැති අතර, අදෘශ්‍යමාන මෙහෙය වන්නන් මගින් නව නායකයින් ස්ථානගත කෙරී සුපුරුදු වැඩ කටයුතු එපරිද්දෙන්ම සිදු වෙයි. මෙහෙයවන්නන් මෙන්ම ක්‍රියාත්මක වන ක්‍රමවේදය ද වෙනස් විය යුතු බැව් පෙනී යමින් නාට්‍යය අවසන් වෙයි.

ජයන්ත චන්ද්‍රසිරි නම් නිර්මාණකරුවා විසින් ඉදිරිපත් කරන ලද නන්නත්තාර ටෙලි නාට්‍යය හුදී ජන පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරනු උදෙසා ජ්‍යෙෂ්ඨ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළුව සියලු නළු නිළියන් සිය භූමිකා නිරූපණයෙන් ද, නිශාන්ත ප්‍රදීප් කැමරාකරණයෙන්ද, නවරත්න ගමගේ සංගීත නිර්මාණයෙන්ද ආදී වශයෙන් විශාල ශිල්පීය හමුදාවක් විසින් කරන ලද කැප කිරීම ඵල දරා ඇත.

ඒ අතරින් නැවත මෙම පේලියක් ලිවිය යුතු නමක් ලෙස මේඝ සූරිආරච්චි නම් තරුණ නළුවාගේ නම සඳහන් කළ යුතුව ඇත්තේ, ඔහු ජයන්ත චන්ද්‍රසිරිගේ හොඳම සොයා ගැනීමක් ලෙස විශිෂ්ට රංගනයක නිරත වන බැවිනි. සිය අභිනය උදෙසා සංකීර්ණ හැඟීම් කන්දරාවක් හැරුණු විට අන් කිසිවක් නොමැති ඔහු ඩේවිඩ් කාටලය තුළින් මෙම ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනකට පිය තබන්නෙක් බව පෙනේ. මීට වඩා සරල භූමිකාවක් සේ පෙනී ගියද ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ සිහිනගේ චරිතය රඟන තරුණ නළුවාද නන්නත්තාර තුළ අමතක නොකළ හැක. උදිත ගුණරත්න මීට වඩා එහා ගිය ප්‍රධාන චරිතයකට වුව සූදානම් බවට නන්තත්තාර තුළින් ඉඟි කරනු පෙනී යයි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment