නන්නත්තාර වින්ද්‍යාගේ ජීවිතය වෙනස් කරයි

438

ඩුබායිවල ගුරුවරියක් විදිහට  වැඩ කළා…
ඉස්සර මම මිනිස්සුත් එක්ක කතාකරන්න බයයි….

 

මේ දිනවල විකාශය වන නන්නත්තාර ටෙලි නාට්‍යයේිරම්බා. ගැන බොහෝ දෙනෙක් හොයනව. ඒ පුංචි තිරයට අලුත් මුහුණක් නිසා වෙන්න ඇති. ඇය නමින් වින්ද්‍යා දෙගල්දොරුව. වෘත්තියෙන් ඩුබායි රටේ ගුරුවරියක්. නමුත් දැන් ඇයගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙලා. වින්ද්‍යා මීවිතට කියූ තොරතුරු ඔබ වෙනුවෙන් මේ විදිහට පෙළගැසුණා.

නන්නත්තාර වින්ද්‍යාගේ ජීවිතය වෙනස් කරයි

වින්ද්‍යා, පෞද්ගලික තොරතුරු ටිකකින්ම  කතාව පටන්ගමු?
මගේ ගම මහනුවර වටපුළුව. පාසල් ගියේ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට. මගේ පවුලේ අම්මා” තාත්තා” මම සහ නංගී තමයි ඉන්නෙ. උසස් පෙළින් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙනව. ඉගෙනීමේ කටයුතුවලින් පස්සෙ ගුරුවරියක් විදිහට ඩුබායි රටේ වසර අටක් සේවය කරල නැවත ලංකාවට එනව. මාව ගොඩක් දෙනෙක් දන්නෙ ගායිකාවක් හැටියට. මගේ නංගිත් එහෙමයි. අපි වැඩිපුර හිටියෙ වේදිකාව. නමුත් දෙමවුපියො නම් කැමති වුණේ නැහැ අපි කලාව කරනවට.

ඇයි ඔබ ලංකාවට එන්නෙ?
කොරෝනා වසංගතයත් එක්ක මම සේවය කළ පාසල වහන්න සිද්ද වුණා. ඒ වගේම වංසගතය ලෝකය පුරාම පැතිරෙන්න පටන්ගත්ත නිසා මම නැවත ලංකාවට ආව.

ලංකාවට ඇවිත් මොකද කළේ?
ගොඩක් කල් පිටරට හිටපු නිසා මට පොඩි ගැටලුවක් තිබුණ කොහොමද මම ලංකාවෙ ගුරු වෘත්තියට හුරුවෙන්නෙ කියල. කොහොමහරි ජාත්‍යන්තර පාසලකට අයැදුම්පත් දාන්න සූදානම් වන කාලෙ වෙනකොට කොරෝනා වසංගතය දිගටම ව්‍යාප්ත වෙන්න පටන්ගත්ත. ලංකාවට ඇවිත් මම හෝටල් ව්‍යාපාරයක් කළා. මේ ගැටලුව නිසා ඒකත් නවත්තන්න සිද්ධ වුණා.

නන්නත්තාර වින්ද්‍යාගේ ජීවිතය වෙනස් කරයි

කලාවට සම්බන්ධ වෙන්නෙ කොතැනින්ද?
මම පිටරට ඉන්න කාලෙ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණ. ඒක නම් කරල තිබුණෙිසීක්‍රට් ඔෆ් ද රෝස්. කියල. 2019 වසරේදි මම ලංකාවට ඇවිත් ඒ චිත්‍රපටයේ රූගතකිරීම් කරල නැවත ගියා.

කොහොමද මේ ආරාධනය එන්නෙ?
මට මේ ආරාධනය එන්නෙ ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා. ඒ 2017 වසරේදි. මේකට පසුබිම වුණේ නුවර පැවැත්වුණිමිස් කැන්ඩි. තරගයෙන් මම ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ මගේ ෆොටෝස් ගොඩක් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න පටන්ගත්ත. මේ හරහා ඉරාන් ගොඩමුණේ කියන අධ්‍යක්‍ෂවරයා තමයි මට ඒ ආරාධනය කරන්නෙ. මුලදි පූජා උමාශංකර් තෝරාගෙන හිටියත් ඇය ඉන්දියාවට ගිය නිසා මට ඒ අවස්ථාව ලැබුණ. නමුත් මේ මට ලැබුණ ආරාධනා බොහොමයක් අතරින් එකක් විතරයි. කොච්චර ආරාධනා ලැබුණත් හිතට හරියන පිටපතක් ලැබෙනතුරු ඉවසීමෙන් බලාගෙන හිටිය.

සීක්‍රට් ඔෆ් ද රෝස්. තවම තිරගත වුණේ නැහැ?
මේ වසර අවසානයේදී මෙල්බර්න් නුවරදී මේ චිත්‍රපටය තිරගතවීමට නියමිතව තියෙනව.

ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නෙ නැද්ද?
ලංකාවේත් මේ චිත්‍රපටය තිරගත කරනව. නමුත් අපේ රටේ චිත්‍රපටයක් තිරගත කරන්න තවමත් අවධානමක් තියෙන නිසා ටිකක් පහු කළා. කොහොම වුණත් ලබන වසරේ මුලදි ලංකාවේත් තිරගත කරන්න සූදානමින් ඉන්නව.

නන්නත්තාර වින්ද්‍යාගේ ජීවිතය වෙනස් කරයි

‘නන්නත්තාර’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ මෙහෙමයි උදයකාන්න වර්ණකුලසූරිය මහත්මයා චිත්‍රපටයක් කරන්න සූදානම් වෙන මොහොතක මට හඳුනාගන්න ලැබෙනව. නමුත් ඒ වන විට චරිත සඳහා නළු නිළියන් තෝරාගෙන අවසානයි. ඒ නිසා එතුමා මාව ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට හඳුන්වා දෙනව. කොහොම වුණත් ජයන්ත මහත්මයාගේ  මිදුන විශ්වය චිත්‍රපටයේ මංගල දර්ශනය වෙලාවෙ මට එතුමාව මුණගැහිල තියෙනව. එදා මට නිකමට වගේ හිතුන මෙතුමාගේ නිර්මාණයක කවදා හරි රඟපාන්න ලැබෙනව නම් කියල. ඊට මාසෙකට විතර පස්සෙ එතුමාම මට කතාකරල කියනව මම නාට්‍යයක් කරන්න යනව ඒකට ඔයාගෙ පිංතූර ටිකක් එවන්න කියල. එහෙම තමයි මමිනන්නත්තාර. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.

රම්බා චරිතය ඔබට මොන වගේ අත්දැකීමක්ද?
මම කලින් චිත්‍රපටයකට සම්බන්ධ වුණාට එතනදි මට මගේ ශෛලියෙන්ම චරිතය කරන් තිබුණ නිසා ලොකු අභියෝගයක් වුණේ නැහැ. නමුත් මෙතනදි තමයි මම නියම අත්දැකීම ලබන්නෙ. මට පැවරුණේ දෙමවුපියන් නැති අනාත දරුවකුගෙ චරිතයක්. මෙතනදි මට තිබුණ ලොකු අභියෝගය වුණේ ආදරය ප්‍රේමය සහ සෙනෙහස වෙන වෙනම ඔප්පු කරන්න සිදුවීම. මේක ඇත්තටම මම විශ්වවිද්‍යාලයකට ගියා වගේ වැඩක්. ඉස්සර මම මිනිස්සුත් එක්ක කතාකරන්න බයයි. භාෂාවේ ගැටලුව නිසා. නමුත් දැන් මට තිබුණ ඒ ගැටලුවත් නැති වුණා.

රම්බාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනව. ටෙලි නාට්‍යය විකාශනය වෙන්නත් කලින් ඉඳන් බොහෝ දෙනෙක් කතාකරල මගෙන් චරිතයේ විස්තර ඇහුව.

ප්‍රවීණයන්ගෙන් ලැබුණ සහයෝගය?
ශ්‍රියන්ත මෙන්ඩිස්” කුසුම් රේණු, බුද්ධි විතානාරච්චි, සනත් ගුණතිලක වගේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ක තමයි මට රඟපාන්න ලැබුණෙ. විශේෂයෙන්ම කුසුම් රේණු මහත්මිය සහ අනුරාධා මහත්මිය ගැන මතක්කරන්නම ඕන. ඔවුන් මගේ පස්සෙන්ම ඉඳල උදව් කළා. මොකද මට ටෙක්නිකල් පැත්ත ගැන දැනුමක් ඇත්තෙම නැහැ. මේඝ සූරියආරච්චි මහත්මයාත් භාෂාව හැසිරවීම පටන් බොහෝ දේවල් ගැන මට කියල දුන්න.

වින්ද්‍යා වෘත්තීයමය නිළියක් වෙන්නද සූදානම?
ඇත්තටම කිව්වොත් මේක තමයි පොඩිකාලෙ ඉඳන් මගේ හදවතේ තිබුණ දේ. මම කලාවට ඉපදුන කෙනෙක්. මම සිංදු කියනව චිත්‍ර අඳිනව නර්ථනය කරනව සහ රංගනය කරනව. දෙමවුපියන්ගෙ උවමනාවට වෙනත් වෘත්තියක් කළාට මට දෙවියො දුන්න දේ කලාව කියලයි මම හිතන්නෙ.

රංගනයට ආවෙ ජනප්‍රියත්වය බලාගෙනද?
ඇත්තම කිවුවොත් මම ටිකක් විතර ජනප්‍රියත්වයට බයයි. ඒකට හේතුවක් කියන්න දන්නෙ නැහැ. නමුත් කලාවට ආසයි.

නැවත විදේශගත වෙනවද?
ඔව් මම  හිතාගෙන  හිටියෙ නැවතත් විදේශගතවෙලා ගුරු වෘත්තිය කරන්න. නමුත් දැන් මටම හිතෙනව මගේ අදහස වෙනස් වෙයි කියල. මම දැන් හරි සතුටින් ඉන්නෙ. එහෙම දෙයක් මට මීට කලින් දැනිල නැහැ. කලාව කියන්නෙ මගේ හදවතට සමීප දේ. ලංකාවට වෙලා මම ඒක ආදරෙන් වැළඳ ගන්නවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment