නපුරට යන ජනතා කෝපය

1449

අද වන විට රටේ ආර්ථික අර්බුදය නාහෙටත් උඩින් ගොස් ඇත. මේනිසා ජනතාවට මෙන්ම ආණ්ඩුවටද ගැලවෙන්නට කිසිම මාර්ගයක් තවත් ඉතිරිව නැත. ගෑස්, ඉන්ධන, විදුලි අර්බුද අභිභවා දරුණු ආහාර අර්බුදයක් ළඟ ළඟම එන බවට මේ අතර අනතුරු හඟවන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. නොසිතූ තත්ත්වයකට රට ඇදවැටීම වළක්වා ගැනීම පිණිස මෙන්ම සියලූ වාද භේද පසෙකලා රට මුහුණදී ඇති ආර්ථික බිඳවැටීම සඳහා මේ සතිය තුළ සාමූහික තීරණයක් ගන්නා ලෙසද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී. ඔහු එසේ කියන්නේ දින 2 ක්ම පාර්ලිමේන්තුව කැඳවා ප‍්‍රශ්නය ගැන කතාකර ධනාත්මක තීන්දුවක් ගන්නට අවස්ථාව ලබා දුන්නද මන්ත‍්‍රීවරුන් එක් එක් අයවළුන්ට ඇඟිලි දික්කරමින් බැන අඬගැසීම හැර ප‍්‍රශ්නයට විසඳුමක් හෝ එකඟතාවකට නොපැමිණීම හේතුවෙනි. මේ වනවිට දින 3 ක්ම ප‍්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ කතාකර ඇති නමුත්, ප‍්‍රශ්නය සඳහා ගත් සාමුහික එකඟතාවක් ඇත්තේම නැත. අඩුම තරමින් පක්ෂ නායක රැුස්වීමේදී හෝ මේ සඳහා එකඟතාවකට එන්නට නොහැකිවීම තවමත් පටු දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට රටේ දේශපාලකයන් කටයුතු කිරීමක් බව නොකිවමනාය. විපක්ෂ දේශපාලකයන් බොහෝ දෙනා උත්සාහ දරමින් සිටින්නේ බොර දියේ මාළු බෑම සඳහාය. නමුත් රටේ ජනතාවට මේ සියලූ දේශපාලකයන් දැන් වහ කදුරු ගානට තිත්ත වී ඇත. ජනාධිපති හා අගමැති රාජපක්ෂවරුන් පමණක් නොව, මන්ත‍්‍රීවරු 225 දෙනාම එළවා දැමිය යුතු යැයි ජනයා කියන්නේ එනිසාය.

බොහෝ විද්වතුන්ගේ අදහස වන්නේ දූෂිත දේශපාලකයන් පමණක් නොව, පවතින දූෂිත දේශපාලන ක‍්‍රමවේදයද පලවා හැර පවතින මේ සියලූ තනතුරු, තානාන්තරවල සිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දක්වා ප‍්‍රතිසංස්කරණයකට ලක්වූ නවතම (තාරුණ්‍ය) දේශපාලන විප්ලවයක් (Revolution) රට තුළ ඇතිකිරීමට මෙය කාලය වන බවයි. නමුත් සැබෑව නම්. පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට ඇති කෙටිකාලීන විසඳුම කුමක්ද යන්නය. අපට අවශ්‍ය වන්නේ ඉන්දියාවට හෝ වෙනයම් රටකට තව තවත් බිලියන ගණන් ණය වී ළඟ එන සිංහල අවුරුද්ද කෑම නොවේ. අර්බුදයට කෙටි කාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමය. පවතින කිසිම පක්ෂයකට එවන් විසඳුම් පෙනෙන තෙක් මානයකවත් නැත. ලෝකයට ණය නැතිව දෙන්නට ඇති කෙටිකාලීන විසඳුම නම් 45 වසරක් රටෙන් හොරා කෑ කෝටි ගණන් මුදල් දූෂිතයන්ගෙන් යළි අයකර ගැනීමට ක‍්‍රමවේදයකට යෑමය. ඒ සඳහා නම් තාරුණ්‍යයේ විප්ලවයක් අත්‍යවශ්‍යමය. නමුත් ඒ සඳහා සාම්ප‍්‍රදායක නොවන, නව්‍ය මුහුණුවරක්ද ඊට වුවමනාය.

සැබැවින්ම, මහජනයා වීදි බැසීම හුදෙක් අන්තවාදී කටයුත්තක් ලෙස යමෙකු හඳුන්වන්නේ නම් ඔහු අමනෝඥයෙකි. දැන් රටට, ජනතාවට මේ රැුවටිලිකාර, දූෂිත දේශපාලූවන් රොත්තම එපාවී ඇත. එබැවින් ජනතාව සිටින්නේ උඩරට රාජධානියේ දවසක සිදුවුණු ආකාරයෙන් මේ සියලූ දූෂිතයන් අල්ලා වංගෙඩි තුළ දමා කොටන තරමේ කෝපයකින් හෝ අල්ලා දියේ ගිල්වන තරම් කෝපයකිනි. එවන් විටෙක ඔවුන්ගේ නිවෙස් අසලට ගොස් ඇතැමුන් සිදුකරන ලද කෑකෝ ගැසීම්, ගිනි තැබීම් හා දේපළවලට හානි කිරීම් නොගිනිය හැකි තරමේ දේවල් බව අපගේ හැඟීමයි. එයින් අදහස් වන්නේ මේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අප අනුමත කරන බවක් නම් නොවේ. දුක් විඳින ජනයාගේ වේදනාව, දුක්ඛ, දෝමනස්සයන් දේශපාලකයාට නොදැනෙන තාක් කල් ජනතාව මීහරක් යැයි දේශපාලකයෝ සලකති. නමුත් ජනතාව එසේ පිං ගොනුන් නොවන බව ජනතාව දැන් දේශපාලකයන්ට ඒත්තු ගන්වා ඇත. යම් හෙයකින් කථානායකවරයා කියන පරිදි දරුණු ආහාර හිඟයක්ද රට තුළ නුදුරේදීම ඇතිවුවහොත් කුමකින් කුමක් වේදැයි කවුරුන්ට නම් කිව හැකිද…? එබැවින් පාර්ලිමේන්තුව තුළ බෝල පාස් කර කාලය කාදැමීමට මේ කාලය නොවේ. වහා විසඳුම් ලැබිය යුතුව ඇත. එය තනිව ආණ්ඩුව විසින්ද, විපක්ෂය සමග එක්වද, සර්ව පාක්ෂික එකඟතාවකින්ද යන්න ජනතාවට කිසිසේත් අදාළ නැත. තත්ත්වය ඉහට උඩින් යන්නට පෙර පියවර ගැනීම සඳහා තවත් ඉතා පොඩි කාලයක් පමණක් අපට ඉතිරිව ඇත.

සැබවින්ම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුවත් ඞීසල්, පෙට‍්‍රල්, ගෑස් පෝලිම්වල ඉන්නවා අප දැක නැත. ඔවුන් තම අවශ්‍යතා සපුරාගන්නේ කෙලෙසද යන්න අපටද (ජනතාවට) ප‍්‍රහේලිකාවකි. මේ අතර ඇතැම් ඞීසල් පෝලිම්වල සමහරු සිටින්නේ දින 5-6 ක කාලයක සිටය. එසේ කල් ගතකරන කන්ටේනර්, ට‍්‍රක් රථ රියැදුරන් පෝලිම් තුළ සිටිමින්ම මහ පාරේ, තම වාහන යටම සිට ආහාර පිසගෙන කන ප‍්‍රවෘත්තියක් අද දිවයින වාර්තා කරයි. මෙසේ ඔවුන් කරන්නේ කිසිදු ආශාවකට නොවේ. කරන්නට දෙයක් නැති නිසාය. අද තෙල් එයි, හෙට තෙල් එයි කියමින් ඔවුන් දින ගණන් පාරේ පහන් කරයි. රටට වැඩක් ඇති මිනිස් ශ‍්‍රමය අද මහ පාරේ නිකරුනේ ගෙවී යයි. සංවර්ධනයට උර දුන් ප‍්‍රවාහන මාධ්‍යය සියයට 50 ක් පමණම පෝලිම් තුළ ගාල් කර ඇත. පැරණි බර කරත්ත යුගයට දැන් නැවත රට ගොස් ඇත. දින දින ඞීසල් පෝලිම් දිගුවනවා මිස අඩුවක් නැත. ගෑස් පෝලිම්ද එසේමය. අවම තරමින් නිවසේ අඳුර මකන්නට, ආහාර ටිකක් පිසින්නට භූමිතෙල් ටිකක් ගැනවත් ජනතාවට බලාපොරොත්තුවක් නැත. එසේ නම් රට අඳුරට ඇද දැමූ පාලකයන් පිළිබඳව ජනතාවට කළකිරීමක් හා කෝපයක් ඇති බව සාධාරණ නොවේද? එවන් වටපිටාවක මේ දැවෙන ප‍්‍රශ්න සඳහා ඉක්මන් විසඳුම් ජනයා බලාපොරොත්තුව සිටිති. ඒ වෙනුවට බෝල පාස් කිරීම ජනතා කෝපය තව තවත් අවුළුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment