නයා සහ පොළඟා!

455

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයේ වූ සුවිශාල තුඹසක් රෙන්ට් එකට අරගෙන නයෙක් සහ පොළෙඟක් ෆුල් ෆ්‍රෙන්ඞ්ෂිප් එකෙන් වාසය කළා! තුඹසේ අයිතිකාරයා වේයෙක් !වේයා පොඩි වුණාට රියල් වැඩ කාරයා ! වැඩ කාරයා කියන්නේ මෑන්ස්ට අද හිතුනොත් හුඹස් කොම්ප්ලෙක්ස් එකක් මෙතන ගහන්න ඕනැ කියලා කෙළින්ම වේලායුදන් ටීම් එකට කෝල් කරනවා පට් ගාන කොට ෆවුන්ඞ්ඬේෂන් දාලා වැඩ පටන් ගන්නවා සුමානෙන් වැඩ ඉවරයි !ඊළඟ සුමානේ කුලියට දීලත් ඉවරයි ! කොටින්ම කියන්නේ මේ වේලායුදන්ගේ හුඹස් කම්ප්ලෙක්ස් වල එපාර්ට්මන්ට්ස් කුලියට ගන්න, තදියටම මැරි කරපු එවුන් පොරකනවා ! මොකද කියනව නම් දැන් ඉන්න එවුන් යාන්තං ජොබ්ස් කට්ටක් මාට්ටු වුන ගමන් කල්පනා කරන්නේ මොන මලදැරැහැවක් හරි කරේ එල්ලා ගන්නනේ ! ඕන්න ඊට පස්සේ තමයි ඉන්න හිටින තැනක් ඕනැයි කියලා කල්පනා වෙන්නේ ! අද වනාන්තරේ දිහා බලපුවාම ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වෙලා තියන්නේ නිවාස ප‍්‍රශ්නය !ඉතිං හුඹස් වලට මාර මාකට් එකක් තියෙන්නේ !

ඉතිං මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තු වේලායුදන් වනාන්තරේ පුරාම එක හුඹසක වැඩ ඉවර වෙනකොට අනිත් එක පටන් ගන්නවා. වේ – ලාස් රියල් එස්ටේට් කොම්පැනි කියපුවාම අතේ තියෙන ගානට නවාතැන් සපයන කොම්පැනියක් ! මේ විදිහට දැන් වේලායුදන් රට පුරාම හුඹස් බඳිනවා ! ආණ්ඩුව බලයට ගේන්න මෑන්ස් සෑහෙන්න සපෝට් එකක් දීපු හින්දා ඒකට සැලකිල්ලක් හැටියට කැමති ඕනෑ තැනක ඕනෑ විදියට හුඹස් බැඳගන්නට වේලායුදන්ට ආයෙත් ඔය පරිසර නීති වන සංරක්ෂණ නීති නගර නිර්මාණ නීති වලට අනුව බලපත‍්‍ර, අනුමැතිය ගන්න ඕනෑ නෑ මොකද ඒවට ඕන ක‍්‍රම සහ විධි ඔක්කොම ආණ්ඩුවෙන්ම මෑන්ස්ට දීලා තියෙන්නේ. පරිසර නීති වලට අනුව තහනම් ප‍්‍රදේශ අති සංවේදී ස්ථාන කියලා ජාතියක් තිබුණත් වේලායුදන්ට ඒ නීති බලපාන්නේ නෑ ! මෑන්ස්ට හිතුනා නම් ඕනෑ දේපලක හුඹස් බඳිනවා. ? එළි වෙනකොට වැඬේ දීලා ඉවර කරනවා ! ගංගා ඇළදොළ වහන්න හිතුනා නම් පට් ගාන කොට ගේම දෙනවා ! හුඹස් බඳින්න වැලි අඩුපාඩුවක් මැටි අඩුවක් තියෙනවා නම් එක ටෙලිෆෝන් එකෙන් නිකම්ම බඩු ටික සයිට් එකටම එනවා ඒ විතරද? මෑන්ස්ට ඕන නම් කැලෑ කපන්න ගල් කඩන්න ? එළි වෙන කොට ගැසට් එකකින්ම බලය ගන්න පුළුවන් ! වේලායුදන් කියන්නේ ඒ තරම්ම බල සම්පන්න පවර්ෆුල් පොරක් !

ඉතිං වේලායුදන්ට තියෙන මේ දේශපාලන බලය හින්දාම රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වෙනත් ඕනෑම ආයතනයක හුඹස් බඳින්න ආයෙත් කාගෙන්වත් අවසර ඕනේ නෑ !. හිතුනද බැන්දා ! හිසට වහලක් හිතට නිවනක් හොයාගෙන තැන් තැන් වළ ගිහිං නෝන්ඩි වුණ පොරවල්, බඳින්න ඉස්සෙල්ලා සෙටල් වෙන්න තැනක් හොයන පැඟිරි ජෝඩු වේලායුදන්ව හොයාගෙන එනවා අලූත් ප්‍රොජෙක්ට් වලින් එපාර්ට්මන්ට්ස් ඉල්ලාගෙන ! කොටින්ම ප්‍රොජෙක්ට් එකක වැඩ ඉවර වෙන කොට ඔක්කොම එපාර්ට්මන්ට්ස් බුක් වෙලා ඉවරයි !

ඉතිං ඔය විදිහට හදාපු අලූත්ම රෙසිඩන්ස් එකක තමයි මේ නයයි පොළඟයි දැන් පදිංචි වෙලා ඉන්නේ ! දෙන්නම නම ගිය වැඩර්ලා! ඒ කියන්නේ මේ ඩබල වැඩ කරන්නේ දේශපාලනඥයෝ දෙන්නෙක් ගාව. නයා ආණ්ඩුවේ දේශපාලනඥයෙක් ගාව කෝඩිනේටිං සෙකටරි ! පොළඟා විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ ප‍්‍රයිවට් සෙකටරි !දේශපාලන ප‍්‍රතිපත්ති වලට අනුව උඩින් ජල්බරි දා ගත්තාට පොර ටෝක්ස් කොර ටෝක්ස් දැම්මාට මේ දෙන්නා ඇතුළෙන් එකට මල්පැනි වඩියේ රස බලන ජිල් පිට් යාළුවෝ !ඒකනේ එකම ගේ කුලියට අරගෙන පක්ෂ දෙකක වුණාට ෂේප් එකේ ඉන්නේ!

මේක වනාන්තරයේ ඉන්න අනිත් එවුන්ට හොඳ ආදර්ශයක්! මුං නිකං සාමාන්‍ය සත්තුන්ට පේන්න සංදර්ශන දානවා ! අරූට කැපිල්ල දානවා මූට කැපිල්ල දානවා ඒ වුණාට හැන්දෑවට එකට එකතු වෙලා දිවෙන් දිව ගා ගෙන බෝතල් පාටිය දානවා ! ඕක දන්නේ නෑ මේ මෝඩ බූරු, හරක්, එළු, නරි රැළ !. ඔය මොනවා කිව්වත් කෙරුවත් ඔක්කොම එකම රැළේ කට්ටිය ! ඒකනේ මෙච්චර කාලයකට ඔය මොන වංචා දූෂණ කෙරුවත් තවම එකෙක්වත් කෑලෑ නීතියට අනුව හරි වරද කාරයෙක් කරලා මහ උළුගෙදර පදිංචියට යවලා නැත්තේ ! අරුන් ආපුවම මුන්ව රකිනවා මුං ඉන්න කොට අරුන්ව රකිනවා ! මේක තමා ඔය කවුරුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලනය කියලා බොහොම රැස්පට් ලෙවෙල් එකෙන් විග‍්‍රහ කරන්නේ

ඉතිං නයයි පොළඟයි දෙන්නා මේ හයි ක්ලාස් ස්පොට් එකේ ෂපාන් එකෙන් ඉන්න ගමන් දවසක් පොළඟා නයාට මෙහෙම කිව්වා !

මචං … අපිට මේ හුඹස් කෝටේජ් එකට හැමදාම බර කුලියක් ගෙවන්න බෑනේ ගෙවල්කුලී දීමනාව කියලා සැලරි එකට එකතු කරන තුට්ටු දෙක වගේ දහ ගුණයක් මූ අපෙන් කුලිය හැටියට ගන්නවා මං ඇමැතිතුමාට කියලා කොහොම හරි මේකේ සින්නක්කර අයිතිය ගන්න ට‍්‍රයි කරනවා.

හෙහ් හෙහ් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ ගෙවල් කුලී නීතිය කියලා එකක් තියෙනවනේ ඒකට අනුව වේලායුදන්ට හිතුන හිතුන විදිහට අපිව එළවන්න බෑ… කුලිය ගෙවනවා නම්…. අපිට ඉන්න තැනකුත් නැත්තම්… වලකජ්ජ ගහනකං හරි අපිට මේකේ ඉන්න දෙන්න ඕනේ.

නෑනේ බං ඌ මේක අපිට දීලා තියෙන්නේ බද්දටනේ බදු ගිවිසුම ඉවර වුණා නම් අපි අකුලගෙන යන්න ඕනේ.

අපි වේලායුදන්ට ටෝක්ස් එකක් දීලා බලමු හරි ගියොත් එහෙමයි නැත්තං එහෙමයි, නයාත් පොළඟාත් කතිකා කර ගත් පරිදි වේලායුදන්ව මුණ ගැහිලා පොඩි ටෝක්ස් එකක් දැම්මා ! ම්හු! වැඬේ ටිකක් දුර ගියා! මෑන්ස් කිව්වා බදු ගිවිසුම අවලංගු වෙලා සුමානයක් ඇතුළත කොටේජ් එකෙන් ලාන්ත‍්‍රාස් වෙන්න කියලා ! ගෙවල් හිමියා නොහොත් වේලායුදන්ගේ ඩෝසර් ටෝක් එකට පොළඟාට මළපැන්නා !

හරි ! අපි නොගියොත් තෝ මොකද කරන්නේ.

කරන්නෙද? ඒක මම දන්නවා ! ඔයිට වැඩිය හයි ෆයි මුචලින්ද වගේ නයි පොරවලූත් මට ගෙම්බර් ටෝක්ස් දාලා තියෙනවා අන්තිමට මට කුලියත් ඩබල් ගෙවලා යන්නං අයියා කියලා සැලියුට් පාරකුත් ගහලා ගියේ වේලායුදන්ගේ ගෙම්බර් ටෝක්ස් නිසාම නයාත් පොළඟාත් ගෙවල් කුලිය දීම නැවැත්තුවා !මුං දෙන්නාගේ මේ රෙන්ටල් ෆී‍්‍රස් ක‍්‍රියාව නිසා වේලායුදන් හුඹස් පස් පස් කරලා ගේම දෙන්නට ප්ලෑන් කළා ! වනාතෙන් ගැන්සියක් ගෙන්නලා කන්ට‍්‍රැක්ට් එක දුන්නා! මුං දෙන්නව එළියට ඇදලා දාන්න නෙමෙයි සදාකාලිකවම ඇතුළේ ඉන්න! මොනවද කියන්නේ වේලායුදන්ගේ බැටෑලියන් එක ආවා නයයි පොළඟයි දෙන්නා කොටේජ් එකේ පාක් කරන්න ඇතුළට රිංගන වෙලාව බලබලා හිටියා ! කම් ඕ ගෝ චිකාගෝ කියලා ටූ අවර්ස් ඔපරේෂන් එක දෙන්න පටන් ගත්තා. පැය දෙකක ඔපරේෂන් එකක් කිව්වට පැයෙන් වැඬේ ඉවරයි! හරියට ෆිනෑන්ස් කොම්පැනියක සල්ලි දාලා ආපහු ගන්න බැරුව යනවා වගේ නයාටයි පොළ`ගාටයි එළියට එන්න බැරුව යන්න හුඹසේ කට බැඳලා සීල් කරලා දැම්මා !

ආදර්ශය: වේයන්ගේ හුඹස් කුලියට ගෙන ඒවා අයිති කර ගන්න දඟලන නයි පොළොංගු ඒ හුඹස් තුළම මිහිදන් වෙති !.

සරත්චන්ද්‍ර පත්තඬුවන

advertistmentadvertistment
advertistmentadvertistment