නයිට්‍රෝ රාජා මගඩිය සොයන්න කමිටුවක්

71

2021 වසරේදී යල කන්නය සඳහා නයිට්‍රෝ රාජා නමැති නැනෝ දියර පොහොර ගෙන්වීම මගින් සිදුව ඇති වංචාව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඉදිරි දින කිහිපයේදී අදාළ කමිටුව වහාම පත් කරන බව ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ෆාම්ස් ට්‍රස්ට් නමැති ගොවි සංවිධානය මගින් නැනෝ දියර පොහොර ලීටර් ලක්ෂ 40ක් ගෙන්වීමට අමෙරිකානු ඩොලර් මිලියන 1250ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් අදාළ සංවිධානයේ මෙරට නියෝජිත පෞද්ගලික සමාගම වෙත ගෙවා ඇත.

ගෙන්වා ඇත්තේ ලීටර් ලක්ෂ 32ක් බව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එසේම එම දියර පොහොර ලීටරයක් වෙළෙඳ පොළේ රුපියල් 500ක්ව තිබියදී එම සංවිධානය හරහා ගෙන්වා ඇත්තේ රුපියල් 1000 බැගින් යැයි ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. එසේම මෙම පොහොර රජයේ පොහොර සමාගම් දෙක හරහා ගෙන්වීමට හැකියාව තිබියදී පෞද්ගලික සමාගමක් හරහා ගෙන්වීම ගැන ද සැකයක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම පොහොර ගෙන්වීම සඳහා අනුමැතිය දී ඇත්තේ එවකට කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වන බවට එවකට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ද මෙතෙක් එවැනි පරීක්ෂණයක් සිදුව නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment