නයි විසෙන් බිරිය මැරූ අපූරු සැමියෙක්

1313

අම්මා කාමරයට එනවිට උත්රා අප‍්‍රාණිකව සයනයේ වැතිර උන්නාය. ඇගේ බාහුවක ලේ පැල්ලම් කිහිපයක් විය. නිවසේ සාමාජිකයන් එක්ව උත්රාව රෝහලට ගෙන ගියහ. එහෙත් ඒ වන විටත් ඒ විසිපස් හැවිරිදි තරුණිය මියගොස් සිටියාය. 2020 මැයි 07 වනදා ලබාදුන් ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියැවුණේ ඇය මියගොස් තිබුණේ ඊට පැය කිහිපයකට පෙර සිදු වුණු උග‍්‍ර විෂ සහිත ඉන්දියානු නාගයෙකුගේ දෂ්ඨ කිරීමක් හේතුවෙන් බවය.

නාග විෂ හේතුවෙන් කෙනෙකු මරණයට පත්වීම ඉන්දියාව වැනි රටකට අමුතු සිදුවීමක් නොවේ. එහෙත් මේ මරණය නම් ඉන්දියාව පමණක් නොව ලෝකයම කම්පාවට පත්කළ, දරුණු බියකරු මිනීමැරුමක් බව තහවුරු වන්නට වැඩි කලක් ගියේ නැත. ඒ මිනීමැරුම සිදුකර තිබුණේ උග‍්‍ර විෂ සහිත ඉන්දියානු නාගයෙකු විසින් නොව අහිංසක උත්රා මහත් සේ ආදරය කළ ඇගේම සැමියා විසිනි.

උත්රා, දකුණු ඉන්දියානු ප‍්‍රාන්තයක් වූ කේරලයේ කොල්ලම් නගරයේ ජීවත් වුණු තරුණියකි. උපතින්ම ඇතිවුණු ස්නායු සම්බන්ධ රෝගයක් නිසා ඇය ඉගෙනීමට නොහැකි ආබාධයකින් පෙළුණු කෙනෙකු වූවාය. ඇය තරුණ වයසට එළඹි විට, ඇයට සුදුසු විවාහයක් සිදුකොට දෙන්නට ඇගේ පියාත්, වැඩිමල් සොයුරා වූ විෂූත් උත්සුක වූහ. ඔවුන්ට උවමනා වූයේ අහිංසක ආබාධිත තරුණියක වූ උත්රාව ජීවිත කාලයටම බලාගන්නට හැකි හොඳ තරුණයෙකු සොයා දෙන්නටය.

ඒ අනුව ඔවුන්ට සුරාජ් කුමාර්ව මුණ ගැසෙන්නේ මංගල යෝජනාවක් හරහාය. විසිහත් හැවිරිදි බැංකු ලිපිකරුවෙකු වූ සුරාජ් කුමාර්, දුප්පත් පවුලක තරුණයෙකි. ඔහුගේ පියා රික්ෂෝ රියදුරෙකි. මව රැකියාවක් කරන්නේ නැත.

නයි විසෙන් බිරිය මැරූ අපූරු සැමියෙක්

සුරාජ් කුමාර් උත්රාව විවාහ කරගන්නට කැමති වූයේ, ඇය වෙනුවෙන් ලැබෙන දෑවැද්ද සලකාගෙන විය යුතුය. 2018 වර්ෂයේ මාර්තු මාසයේදී ඔවුන්ගේ විවාහය සිදුවන විට උත්රාගේ දෑවැද්ද ලෙසින් සුරාජ්ට ග‍්‍රෑම් 720 ක රත්රන් ආභරණද, සුසුකි සෙඩාන් මෝටර් රථයක්ද, ඉන්දියානු රුපියල් ලක්ෂ පහක්ද ලැබිණ.

විවාහයේ පළමු මාස කීපය කිසිදු විශේෂත්වයක් නැතිව ගෙවී ගියේය. විවාහය ප‍්‍රීතිමත් එකක් නොවූ මුත් කියන්නට තරම් ගැටලූවක් තිබුණේද නැත. එහෙත් වසරක් ඇවෑමෙන් ඔවුන්ට පුතෙකු ලැබුණු පසුව සුරාජ්ගේ දෙමාපියන්ට තම ලේලියගෙන් ලැබුණු දෑවැද්ද මදි විය. ඔවුහු තමන්ගේ ගෙදර නවීකරණය කරගන්නට උත්රාගේ දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා සිටියහ. තම දියණියගේ ආබාධිත බව ගැන සිතූ උත්රාගේ දෙමාපියෝ ඒ මුදල් ඔවුන්ට දුන්හ. සුරාජ්ගේ පවුලේ අය එතෙකින් නැවතුණේ නැත. නවීකරණය කළ නිවසට ගෘහ භාණ්ඩත්, අනෙකුත් ගෘහ උපකරණත් ඔවුන්ට උවමනා විය. ඒවා ලැබුණු පසුව අලූත් මෝටර් රථයක්ද උත්රාගේ දෙමාපියන් ලවාම මිලදී ගත්හ. එයිනුදු නොනැවතී සුරාජ්ගේ නැගණියගේ එම්.බී.ඒ පාඨමාලාවේ ඇතුලත්වීමේ ගාස්තුවද ඔවුන්ගෙන්ම ලබා ගත්හ.

කිසිවෙකුගේ දුර්ගුණයක් දකින්නට තරම් අවබෝධයක් නැති උත්රා, තමන්ගේ සැමියාගේ පවුල විසින් තමන්ව පාවිච්චි කරන බව දැන උන්නේ නැත. ඉළඟට සුරාජ් තම මාමණ්ඩියගෙන් තවත් ඉල්ලීමක් කළේය. ඒ උත්රාගේ විය හියදම් වෙනුවෙන් ඇගේ පියා විසින් මාසිකව තමාට යම් මුදලක් ලබාදිය යුතු බවය. අන්තිමේදී ඒ වෙනුවෙන් මාසිකව ඉන්දියානු රුපියල් අටදහසක මුදලක් සුරාජ්ට ගෙවන්නටත් උත්රාගේ පියා එකග වූයේය.

ඒ සියල්ල දුන්නත්, උත්රා ගැන සෑහීමකට පත් වෙන්නට සුරාජ් කුමාර්ට බැරි විය. ඔහු උත්රාව මරා දමන්නට සැලසුම් කරන්නට පටන් ගත්තේය. 2019 වසරේ අග භාගය වනවිට සුරාජ් කුමාර් සර්පයින් ගැන මහත් උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේය. සර්පයින් හැසිරවීමේ අති දක්ෂයෙකු වූ ”වාවා සුරේෂ්” ගේ යූ ටියුබ් වීඩියෝ බලමින්, අන්තර්ජාලයේ සැරිසරමින් සුරේෂ් පැය ගණන් ගත කළේය.

ග‍්‍රාහකයින් 270,000 කට අධික සංඛ්‍යාවක් සිටින වාවා සුරේෂ්ගේ යූ ටියුබ් චැනලයේ ඔහු උග‍්‍ර විෂ සහිත ඉන්දියානු තිත් පොළගුන් හසුරුවන වීඩියෝවක්ද වූයේය. මෙම සර්ප වර්ගය ආසියාවේ සිටින බිහිසුණුම සර්ප වර්ග කිහිපයෙන් එකකි.

මේ වීඩියෝව නැරඹූ සුරාජ් කුමාර් පෙබරවාරි 26 වෙනිදා වාවා සුරේෂ්ට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් නාගයින් හසුරුවන්නෙකුගෙන් ඉන්දියානු රුපියල් 10,000කට එම වර්ගයේ තිත් පොළගෙකුව මිලදී ගත්තේය.

ඊට පසුවදා ඔහු ඒ තිත් පොළගාව ඔහුගේ නිවසේ උඩුමහලට යන පියගැටපෙළේ තැබුවේය. ඉන්පසු උඩුමහලේ නිදන කාමරයේ ඇති තම ජංගම දුරකථනය ගෙන එන්නැයි ඔහු උත්රාට කීවේ ඇය එහි යන විට තිත් පොළගා ඇයට දෂ්ඨ කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. තිත් පොළගාව දුටු උත්රා මහ හඩින් කෑ ගැසුවාය. නිවැසියන් එතැනට එකතු වූ බැවින් තිත් පොළගාව අල්ලා එතැනින් ඉවත් කරන්නට සුරාජ් කුමාර්ට සිදුවිය. ඔහු ඌව කැලයට අත අරින ව්‍යාජයෙන්, ඌව ප්ලාස්ටික් බෑගයක දමා සගවා තැබුවේ පසුව ප‍්‍රයෝජනයට ගනු පිණිසය.

ඉන්පසු මාර්තු 02 වෙනිදා රාත‍්‍රියේ ඔහු යළිත් උත්සාහ කළේය. එදින ඔහු උත්රාට මත් ද්‍රව්‍යයක් මිශ‍්‍ර කළ බීම වීදුරුවක් බොන්නට දී ඇයට නිදාගන්නට සැලැස්වූයේය. ඇය නින්දට වැටුණු විට ඔහු තිත් පොළගා ලවා ඇයට දෂ්ඨ කරවා ඉක්මනින් ඌව කැලෑවට විසි කොට ඉතිරි සාක්ෂිද විනාශ කොට දැමුවේය. එහෙත් මෙවරද එය අසාර්ථක විය. තිත් පොළගා කෑ වේදනාව නිසා උත්රා කෑ ගසමින් අවදි වූවාය. ඇයව රෝහලකට ගෙනයාම හැකිතාක් පමාකළ සුරාජ් ඇයට හොඳටම අමාරු වූ පසුව රෝහලට ගෙන ගියේ, රෑ බෝවීමෙන් පසුව එළිමහනේ රෙදි සෝදන්නට ගොස් ඇයව සර්පයෙක් කා ඇතැයි පවසමිනි.

එහෙත් රෝහලේදී උත්රා කීවේ වෙන කතාවකි. තමා කවදාවත් රෑ බෝවුණු පසුව රෙදි සෝදන්නේ නැති බවත්, රෙදි සෝදන්නට නිවසින් පිටතට යාම නම් කෙසේවත් නොකරන බවත්ය. උත්රාගේ දෙමාපියන්ට මේ ගැන යම් සැකයක් ඇති වුවද, ඒ වෙලාවේ කළ යුත්තේ තම දියණියව සුවපත් කරගැනීම බැවින් ඔවුන් සැකය පසුපස හඹා යන්නට වෙලාව නාස්ති කළේ නැත. තම බිරිඳව රෝහලේ තබා නිවසට ගිය සුරාජ් කුමාර් පසුවදාම තම ඊළඟ මෙහෙයුමට සූදානම් වෙන්නට පටන් ගත්තේය. මෙවර ඔහු අන්තර්ජාලයේ සෙව්වේ නාගයින් ගැනය.

කේරලයේ තිරුවල්ලා නගරයේ පුෂ්පගිරි රෝහලේ දින පනස් දෙකක් තිස්සේ ප‍්‍රතිකාර ලැබූ උත්රා යන්තමින් සුවපත් වී තම දෙමාපියන්ගේ නිවසට පැමිණියාය. ඒ වනවිට ඇගේ ඇවිදීමේ හැකියාවද අහිමිව ගොස් තිබිණ. ඇයට ඇදටම වී ඉන්නට සිදුවිය. තම ඊළඟ මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්නට සිතූ සුරාජ්, මැයි 06 වෙනිදා චවරුකාවු සුරේෂ් නම් සර්පයින් හීලෑ කරන්නා වෙතින් නාගයෙක් මිලදී ගත්තේය. සුරාජ් කලින් වතාවේ තිත් පොළගාව මිලදීගෙන තිබුණේද මේ පුද්ගලයාගෙන්මය. නාගයාවත් රැගෙන උත්රාගේ දෙමාපියන්ගේ නිවසේ උන් උත්රාව බලන්නට ගිය සුරාජ්, එදා නින්දට යන්නට පෙර උත්රාට මත් බෙහෙත් මිශ‍්‍ර කළ බීම වීදුරුවක් දුන්නේය. ඉන්පසු ඇයට නින්ද ගිය පසුව නාගයාව ඇගේ සිරුර මතට විසි කළේය. එහෙත් නාගයා ඇයට දෂ්ඨ කළේ නැත. ඉවසුම් නැතිව ගිය සුරාජ් නාගයාව අල්ලා බලෙන්ම උගේ කට විවර කොට, උත්රාට උගේ දත් වලින් දෂ්ඨ කරවූයේය. මේ අයුරින් දෙවරක්ම සර්පයාගේ දත් උත්රාගේ අතට කා වැද්දීමෙන් අනතුරුව සියල්ල සාර්ථකව සිදු වී යැයි ඔහු සිතුවද ඔහු නොසිතූ අත්වැරැද්දක් සිදු වී තිබිණ.

උත්රා නාග විෂෙන් මිය ගියාය. එහෙත් උත්රාගේ අතේ තිබුණු සර්ප දෂ්ඨනයේ තුවාලය සාමාන්‍ය එකක් නොවන බව මරණ පරීක්ෂණයේදී තහවුරු විය. නාගයාගේ දත් බලහත්කාරයෙන් ඇගේ සමට කා වැද්දූ හෙයින් එය සාමාන්‍ය සර්ප දෂ්ඨනයක තුවාලයකට වඩා ප‍්‍රමාණයෙන් විශාල වීය. ඒ සැකය නිසා මේ පිළිබඳව සොයා බලන්නටත්, නඩු පවරන්නටත් තීරණය කෙරිණ. මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ප‍්‍රධාන පොලිස් නිලධාරියා වන හරි ශන්කර් අධිකරණයේදී ප්ලාස්ටික් කාන්තා අනුරුවක් හා ඒ වර්ගයේ නාගයෙක් යොදාගෙන අධිකරණයට මෙම සිදුවීම විස්තර කර දුන්නේය. ඒ ප්ලාස්ටික් කාන්තා අනුරුව වෙත කීප වතාවක්ම නාගයාව විසි කළද ඌ ඒ කාන්තා අනුරුවට දෂ්ඨ කළේ නැත. ඌ සෙමෙන් එයින් බැස ගියේය.

”මේ වර්ගයේ නාගයෝ දැඩි ප‍්‍රකෝප කිරීමකින් තොරව මිනිසුන්ට දෂ්ඨ කරන්නේ නෑ. ඒ වගේම රාත‍්‍රී අටෙන් විතර පස්සේ මේ වර්ගයේ නාගයෝ අක‍්‍රියව ඉන්න උත්සාහ කරනවා. අනිත් කාරණය තමයි නාගයින්ට සිරස් අතට ගමන් කරන්න පුළුවන් උගේ දිග ප‍්‍රමාණයෙන් තුනෙන් එකක උසකට පමණයි. ඒ කියන්නේ මේ තරුණිය හිටපු කාමරයේ ජනේලයට ලං වෙන්න ඌට හැකියාවක් නෑ. කාමරයේ දොර වසා තිබුණ නිසා එයින් ඇතුළු වෙන්න හැකියාවකුත් නෑ. කවුරුහරි ඌව කාමරයට ගෙනත් දැම්මොත් මිසක්..”

නයි විසෙන් බිරිය මැරූ අපූරු සැමියෙක්

සුරාජ් කුමාර් නිරන්තරවම නැරඹූ යූ ටියුබ් චැනලයේ හිමිකරු වාවා සුරේෂ්ද මේ නඩු විභාගයේදී සාක්ෂි සඳහා කැඳවනු ලැබීය. ”මම සෑහෙන කාලයක් තිස්සෙ සර්පයින් ගැන පරික්ෂණ කරනවා. ආසියානු තිත් පොළගුන් සාමාන්‍යයෙන් ඉන්න කැමති වියළි බිමක. ඒත් මේ කියන තරුණිය සර්ප දෂ්ඨනය වෙලාවෙ හිටපු නිවස වගුරුබිම් ආශ‍්‍රිත නිවසක් නිසා ඒ බිමේ තිත් පොළගුන් ඉන්න විදිහක් නෑ. ඒ වගේම මේ සර්පයින් වර්ග දෙකම දෂ්ඨ කිරීමේදී අධික වේදනාවක් දැනෙනවා. ඇය මත්වෙලා හිටියේ නැතිනම් සර්පයින් දෂ්ඨ කරපු වහාම ඇය නැගිටීවි..”

එහෙත් ඒ වනවිට සුරාජ් විසින් සියලූ සාක්ෂි විනාශ කොට දමා, ඔහුගේ දුරකථනයේ ඇමතුම් ඉතිහාසයද මකාදමා තිබිණ. උත්රාට දෙවන වර සර්ප දෂ්ඨනය සිදුවූ අවස්ථාවේ ඒ නාගයා නිවස තුළ සිටියදී උත්රාගේ වැඩිමල් සොයුරාට හමු වී තිබුණු අතර ඔහු ඒ නාගයාව මරා වලදමා තිබිණ. අධිකරණයේ නියෝගය අනුව නාගයාගේ සිරුර ගොඩ ගැනිණ. සර්ප දෂ්ඨනය වන අවස්ථාවේ නාගයාගේ කුස තුළ කිසිවක්ම තිබී නැති බව පරික්ෂණ වලින් තහවුරු විය.

”නාගයින්ගේ ආහාර සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙලා කුස හිස් වෙන්න දින හතක්වත් ගත වෙනවා. ඒත් ස්වාභාවික පරිසරයේ ඉන්න නාගයෙක් දවසකට දෙවතාවක්වත් කෑම සොයා ගන්නවා. මේ සර්පයාට දින හතකින් ආහාරයක් ලැබිලා නෑ. ඒ කියන්නේ ඌ ඉදලා තියෙන්නෙ කූඩුවක..” පොලිස් නිලධාරී ශංකර් උසාවියට ඒ පිළිබඳව කරුණු දැක්වීය. මේ අතර සුරාජ්ට සර්පයින් විකිණූ චවරුකාවු සුරේෂ්, උත්රාගේ මරණය සම්බන්ධ කතාව පුවත්පතක පළවී තිබී කියැවූයේය. ඔහු වහා සිදුව ඇති දෙය වටහා ගත්තේය. එසැණින්ම ඔහු සුරාජ්ට දුරකථන ඇමතුමක් ගත්තේය.

”ඒ වගේ දරුණු පාපයක් කළේ ඇයි මහත්තයා?” ඔහු සුරාජ්ගෙන් ඇසුවේය.

”මේ ගැන කාටවත්ම කියලා තිබුණොත් බලා ගන්නම්. එතකොට තමුසෙවත් මේ වැඬේට පැටලෙනවා..” සුරාජ් ඔහුට තර්ජනය කළේය. සර්ප වෙළෙන්දා එවෙලේ නිහඩව උන් නමුත්, ඔහුට සැනසීමෙන් සිටින්නට නම් නොහැකි විය. මෙවැනි පාපයකට දායක වූ හෙයින් ”නාගයින්ගේ ශාපය” තමාව හඹා එනු ඇතැයි ඔහු සිතුවේය.

”නාගයින්ගේ ශාපය” කේරල වැසියන් අතර ප‍්‍රචලිත විශ්වාසයකි. නාගයින්ට ගරු නොකරන අයගේ මුළු පවුලම අවාසනාවන්ත ලෙස මිය යන බව ඔවුහු විශ්වාස කරති. සර්ප වෙළෙන්දා සියල්ල පොලිසියට කියන්නට තීරණය කළේ නාග ශාපයෙන් යන්තම් හෝ සමාවක් ලබනු පිණිසය. මේ මිනීමැරුමේ ම කොටස් කාරයෙකු ලෙසින් අත්අඩංගුවට පත්වෙන්නට ඔහුට සිදුවූ මුත්, මිනීමැරුමට ඔහුගේ සම්බන්ධයක් නැතැයි ඔප්පු වීමෙන් පසුව නිදහස් විය. කෙසේ වුවත් ඔහුගේ සාක්ෂියද මේ නඩු විභාගයේදී බෙහෙවින් වැදගත් වීය. උග‍්‍ර විෂ සහිත සර්පයින් යොදාගනිමින් තම බිරිඳව ඝාතනය කළ සුරාජ් කුමාර්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය. සර්ප දෂ්ඨන නිසා සිදුවන මරණ ඉන්දියාවේ දුර්ලභ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව 2000 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ඉන්දියාවේ සර්ප විෂෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 1.2 කි. මේ මරණ වලින් 99.9% ක්ම හදිසි අනතුරු හා අහම්බයන් ලෙස සටහන් වෙයි.

”ඒත් මේ මරණ වලින් කීයක් මිනීමැරුම් වෙන්නට ඇතිද කියලා කියන්න බෑ. සර්පයින් යොදාගෙන තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීම රාජස්ථානයේ ප‍්‍රචලිත ක‍්‍රමයක්..” සූරියා කාන්ට් නම් විනිසුරුවරයා භෘඔඪ වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

නිම්මි මුදිතා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment