නරක්වූ මාළු කන්ටේනර් 25 කරවල වෙලාද… – වෙච්ච දෙය තවම රහසක්

292

කොළඹ වරායට ආසන්න මුහුදේදී කාර්මික දෝෂයට ලක්වූ නෞකාවක තිබූ රුපියල් කෝටි 122කට අධික වටිනාකමින් යුත් බලයා සහ කෙළවල්ලා කන්ටේනර් 98න් කන්ටේනර් 25ක් පමණ නිදහස් කර ගැනීම තවමත් රහසක් බවට පත්ව තිබේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන අතර ඊට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය කරවලවලට හෝ සැමන් නිෂ්පාදනයට යොදා ගැනීමට ඉඩ ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණිලි ලැබී ඇත.

සීෂෙල්ස්වල සිට තායිලන්තය බලා යමින් තිබූ මෙම නෞකාව තුළ බලයා සහ කෙළවල්ලා මසුන් අඩංගු කන්ටේනර් 98ක් තිබී ඇත. එම නෞකාව කාර්මික දෝෂයට ලක්වූ පසු ඉකුත් පෙබරවාරි 13 වැනිදා එය කොළඹ වරායට ගෙනැවිත් ඇත.

මෙම මසුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු නිසා ඒවා විනාශ කර දමන ලෙසට නිර්දදේශ කර තිබුණත් ඉහළින් ආ මෙම මසුන් අඩංගු කන්ටේනර් 98න් 25 25ක් පමණ එක්තරා ව්‍යාපාරිකයකුට ලබාදී ඇත.

දියර පොහොර නිෂ්පාදනය සඳහා ඒවා භාවිතා කරන බව කියමින් මෙම නරක් වූ මත්ස්‍ය තොගය මදුරන්කුලිය ප්‍රදේශයට ගෙන යෑමට රේගුව අවසර ලබා දී ඇත.

පරිභෝජනයට නුසුදුසු මෙම මසුන් තොගය විනාශ නොකර නිදහස් කිරීම පිළිබඳ ධීවර සංගම් ද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳ සංගමයට පැමිණි කළ බව ඒ පිළිබඳව කළ විමසීමේදී එම වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ද ‘දිවයින’ට පැවසීය. මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය වෙළෙඳපොළට පැමිණියහොත් එය බරපතළ ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතාගෙන් විමසීමට ‘දිවයින’ උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ දැනට හෙළි වී ඇති කරුණුවලට අමතරව කිසිවක් නොදන්නා බවය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment