නරක ආණ්ඩු හොඳ මිනිස්සු සහ ලේ විල්

2461

ඇමරිකා එකසත් ජනපදය යනු සෑම කල්හිම ආක‍්‍රමණශීලී සහ ව්‍යාප්තවාදී නරක ආණ්ඩු විසින් පාලනය කරන ලද, එහෙත් ඉතාම හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවක් සිටින භූමියකි. මේ රට සොයා ගන්නා ලද්දේ සුප‍්‍රසිද්ධ ස්ත‍්‍රී දූෂකයකු සහ මුහුදු කොල්ලකරුවකු වූ ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් ය. ඔහු ස්පාඤ්ඤයේ රැජින සහ රජු රවටා ඔවුන්ගෙන් මුදල් ගසා කා ඒවා වියදම් කරමින් රටවල් සොයා යන ව්‍යාජයෙන් මුහුදු කොල්ලකෑමේ නිරත විය. කොලොම්බස් යනු නූතන ඇමරිකාවේ වීරයෙකි. එහෙත් ඇත්තම කතාව නම් ඇමරිකාව සොයා ගන්නා ලද්දේ කොලොම්බස් නොව අමරිගෝ වෙස්පූසී නමැති ඉතාලි ජාතිකයා බවය. ඇමරිකා යන නම අමෙරිගෝ යන නමේ වර්තනයකි. එහෙත් වඩාත් ගැඹුරින් සොයා බලන කළ පෙනී යන්නේ මේ දෙදෙනාටම කලින් එම භූමිය සොයාගත් කෙනකු සිටින බවය. මධ්‍යකාලීන යුගයේ විසූ චීන අධිරාජ්‍යයාගේ ප‍්‍රධාන නපුංසකයා මෙන්ම Admiral of the Fleets (සියලූ චීන නැව් හමුදාවල අණ දෙන නිලධාරියා) වූ ෂෙන් හේ නැමැත්තෙකි. මේ කියන ෂෙන් හේ වතාවක් ලංකාවට පැමිණ එවකට මෙහි සිටි රජතුමාට කනට දෙකක් ගසා චීනයට කුදලාගෙන ගොස් ඇත. කෙසේ හෝ වේවා දේශගවේෂකයන් විසින් කරන ලද නරකම සොයා ගැනීම ඇමරිකානු භූමිය සොයා ගැනීම විය යුතුය. එසේ සොයාගත් භූමියට පසුකාලයේ දී සංක‍්‍රමණය වූ බි‍්‍රතාන්‍ය වැසියන් රොත්තක් ඇමරිකා එක්සත් ජනපදය පිහිට වූහ. මුල් කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය යනු බි‍්‍රතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ භූමියකි. ඇමරිකාව විසින් බි‍්‍රතාන්‍ය කිරීටයට බදු ගෙවන ලදී. සැතපුම් දහස් ගණනක් ඔබ්බෙහි පිහිටි වනාන්තරගත භූමියක් හෙළි පෙහෙළි කර සරු සාර රටක් බිහිකර එහි උපයන මුදලින් බි‍්‍රතාන්‍ය රාජ පරම්පරාවට සැප දෙන්නේ මොන මගුලකට දැයි කල්පනා කළ ඇමරිකානුවෝ 1976 ජූලි 4 දා නිදහස් ඇමරිකාවක් ප‍්‍රකාශයට පත් කළහ. ආරම්භයේදී ඇමරිකාව ඉතා කුඩා රටකි. එය වටේටම තිබුණේ ප‍්‍රංශයේ නැපෝලියන් බොනපාට් අල්ලාගත් රටවල් ය. ඇමරිකානුවෝ මේ රටවල් සියල්ලම පාහේ අක්කරය ඩොලර් සත 25 බැගින් ගෙවා නැපෝලියන්ගෙන් මිලට ගෙන තම රට විශාල කරගත්හ. එදා පටන්ම ඇමරිකාව යනු ලෝකයට වාතයක් වූ රටකි. ඔවුහු සෑම කල්හිම පිට රටවල් ආක‍්‍රමණය කර මහත් විනාශයක් කළහ. ඔවුන්ගේ ආක‍්‍රමණික විනාශයේ අලූත්ම ප‍්‍රතිඵලය ඇෆ්ගනිස්ථානය යි. ඒ කතාව මෙසේය.

ඇමරිකාවේම නිෂ්පාදනයක් වූ සුප‍්‍රකට කුලී සොල්දාදු ඔසාමා බින් ලාදින් 2001 සැප්තැම්බර් 11 දා නිව්යෝර්ක් නුවර පිහිටි උසම ගොඩනැගිලි දෙකට පහර දී ඇෆ්ගනිස්ථානයට ගොස් සැඟවිණ. එවකට සිටි ඇමරිකන් ජනාධිපති වූ ජෝර්ජ් බුෂ් (කනිෂ්ට) ඔසාමා බින් ලාදින් ඇමරිකාවට පිටුවහල් කරන ලෙස එවකට ඇෆ්ගනිස්ථානය පාලනය කළ තලෙයිබාන් සංවිධනයෙන් ඉල්ලූවේය. එහෙත් තලෙයිබාන් ලොක්කා වූ එකැස් ත‍්‍රස්තවාදී මුල්ලා මොහොමඞ් ඔමාර් එයට විරුද්ධ විය. එවිට 2001 ඔක්තෝබර් 7 දා ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කරන ලද්දේ ය. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට පළමුවන බෝම්බය වැටෙන විටම මෝටර් බයිසිකලයක පස්සා සීට් එකේ ඔසාමා බින් ලාදින් තබාගත් මුල්ලා මොහොමඞ් ඔමාර් දේශ සීමාව හරහා යාබද පකිස්ථානයට පළා ගියේය. එතැන් සිට ඇෆ්ගනිස්ථානය ලේ විලක් බවට පත්විය. ඇමරිකන් යුද හමුදාව දස දහස් ගණනින් ඇෆ්ගනිස්ථානයට පැමිණ එහි කඳවුරු බැඳ තලෙයිබානුවන් සමග සටන් කරන්නට වන්හ. ඇෆ්ගන්කාරයන්ගෙන් වැඩි දෙනා ඉතා දුප්පත් මිනිස්සුය. ඔවුුන්ට අතේ සතේ නැත. ඇමරිකන් ඩොලර් සීයක් අතට දී සිය දිවි නසා ගන්නැයි කීවොත් ගෙදරට ඒ සල්ලි දී සිය කාලකණ්ණි ජීවිතය අත්හැර දැමීමට ඇෆ්ගන්කාරයෝ කැමැත්තාහ. ඇමරිකාව ඇෆ්ගනිස්ථානය සමග කළ යුද්ධයේදී එක ඇෆ්ගන් ජාතිකයකු මැරීමට සාමාන්‍යයක් වශයෙන් ඩොලර් දස දහසක් වැය කළේය. ඒ ආකාරයෙන් ඔවුහු ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන් සමග විසි අවුරුද්දක් යුද කළහ. තලෙයිබානුවා යනු අංක එකේ මූලධර්මවාදියෙකි. ඔවුහු සංගීතයට, කලාවට සහ සාහිත්‍යට විරුද්ධ ය. ගෑනු ළමයින් අකුරු ඉගෙනගන්නවාට විරුද්ධ ය. ඔවුන් කියන්නේ කුරානය කියවීමට තරමට අකුරු ඉගනගැනීම ප‍්‍රමාණවත් බවයි. මෙයට විරුද්ධ වන සෑම දෙනාම මරා දමනු ලැබේ. ඇමරිකාව හැප්පුනේ මෙබඳු ගොන් වාහෙලා පිරිසක් සමග ය. විසි අවුරුද්දක් යුධ කිරීමෙන් පසු හොඳටම නන්නත්තාර වූ ඇමරිකාව පසුගියදා ඇෆ්ගනිස්ථානය අත්හැර ගියේය. මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ තනි බලය නැවත වතාවක් තලෙයිබාන් සංවිධානයට ලැබී ඇත. ඇමරිකන් හමුදාව සමග විසි අවුරුද්දක් තිස්සේ ගනුදෙනු කළ බවට සැක කෙරෙන සියලූම ඇෆ්ගන් ජාතිකයන් මේ මොහොතේදී සංහාරය කරනු ලැබේ. මෙය තනිකරම ඇමරිකාව විසින් දමන ලද ලෙඩකි. විසි අවුරුද්දකට පෙර ඇමරිකාව එහි නොගියා නම් මේ මළ කරදර එකක්වත් නැත. ඇමරිකාව මේ කැත වැඬේම ලිබියාවටත් කළේය. මෙයට වසර කිහිපයකට පෙර ලිබියාවේ ගඩාෆි මරා දැමීමට මුල්වූ කැරැල්ලට මුදල් වියදම් කරන ලද්දේ ඇමරිකාවයි. ගඩාෆිගේ මරණයෙන් පසු ඇමරිකාව, ලිබියාවෙන් ඉවත්ව ගිය අතර රටට නායකයකු නොවීම නිසා ලිබියාව කුඩා කැබලි වලට කැඞී ගෝත‍්‍රික රාජ්‍ය රැසක් බිහිවිය. ඇමරිකාව මේ ටිකම ඉරාකයට ද කළේය. ඉරාකයේ තෙල් ළිං ටික අල්ලා ගැනීම සඳහා එරට ආක‍්‍රමණය කළ ඇමරිකානුවෝ ගඩාෆි මරා එම රට අත්හැර දැමීමෙන් එම රට තුළ සදාකාලික සිවිල් යුද්ධයක් ඇතිවිය. ඇමරිකාවේ මේ දුෂ්ට ව්‍යාප්තවාදී කෙරුවාවට මුළු ලෝකයම විරුද්ධ විය යුතුය. ඔවුන් වියට්නාමයට කළ විනාශය ද අධ්‍යයනය කළ යුතුය. එක් අතකට එසේ විරුද්ධ වූවායි කියා කුමක් කරන්නද? ඇමරිකාවෙන් බෝම්බ පාරක් කන්නද? බොහෝ දිගට කිව යුතු කතාවක් අපි මෙසේ කෙටියෙන් අවසන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment