නරින්ද්‍රයාගේ කන්ඩ පින!

160

එක්තරා විශාල වනාන්තරයෙක්හි ප‍්‍රාන්ත රාජ්‍යයෙක පාලකයා වශයෙන් හිටියේ නරියෙක්! මේ නරින්ද්‍රයා ඔය වෙන නරි වගේ නෙමේ! හරිම ධර්මිෂ්ඨයි! ධර්මිෂ්ඨයි කියන්නේ පිං අතේ වැඩමයි කරන්නේ! ලක්ෂ ගණන් වියදම් කරලා දාන දෙනවා…

එහෙම දෙන දානවලට ප‍්‍රධාන අමුත්තා හැටියට සහභාගි වෙනවා. හැම පෝයකටම ධර්ම දේශනා පවත්වනවා! පහන් පූජා සුවඳ දුම් ඖෂධ පූජාවන් පවත්වනවා! ධර්ම ශාලා දාගැබ් ආගමික ස්ථාන ගොඩනංවනවා… විවෘත කරනවා! සිල් රෙදි බෙදා දෙනවා නැති බැරි උන්ට කෑම බීම වියළි ආහාර බෙදා දෙනවා! එක එක පුණ්‍ය ක‍්‍රියා! කොටින්ම කියනව නම් මුළු වනාන්තරයට ම මෙතෙක් කාලයකට බිහිවුණ ධර්මිෂ්ඨම පාලකයා මේ නරින්ද්‍රයා තමයි කියලා හැමෝම කියන්නේ! ඒ කාලේ ඔය හාල් නොමිලේ දුන්න උදවියට බත් දුන් පියා, නොමිලේ අධ්‍යාපනයක් දෙන්න කටයුතු කළ උදවියට අධ්‍යාපනයේ පියා ආදි වශයෙන් කිව්වා වගේ පිං අතේ වැඩ කරන හින්දා මේ නරින්ද්‍රයාට දැන් වනාන්තරේ හැමෝම කියන්නේ පිං පියා කියලායි! ඒ වගේම මේ නරින්ද්‍රයා වටා ඉන්නවා කැචර් ලා ගැන්සියක්! මී හරක්, කුළු හරක්, ඌරු මීයන්, වල් ඌරන්, අවිච්චියන්, වටුවන්, ඔටුවන් කොටින්ම වනාන්තරයේ භාගයක්ම මේ නරින්ද්‍රයාගේ කැචර් ලා.

හැබැයි ඉතිං මේ වනාන්තරය නියම වණයක් කරන්නේ මේ කැචර් ගැන්සිය තමා!

ඔන්න මේ පෝයටත් දස දහස් ගණනකට මෙගා දානයක් දෙන්න කැචර් ලා ගැන්සිය නරින්ද්‍රයාට යෝජනාවක් ගෙනාවා! මොකද ඉතිං පිනට බර පින්බර දානයට ලැදි දානපති දහමට ලැදි දහම් සොඬ නරින්ද්‍රයා මේ වැඬේට වන්ෂොට් ඇපෘවල් එක දුන්නා.

දැන් ඔන්න කැචර් ගැන්සිය ඕනෑ මල දානයක් වෙච්ච දෙන් කියලා වැඬේට බැස්සා! වනාන්තරේ පුරාම බැනර් කටවුට් පෝස්ටර් වැදුනා! ප‍්‍රාන්ත මහ ඇමති නරින්ද්‍රතුමාගේ සුරතින් පිදෙන මහා දානය සඳහා පිං කැමති හැමෝටම සහභාගි වෙන්න කියලා!

මේ නරින්ද්‍ර තෙමේට හිටියා නියම කන්සල්ටන් ලා ටීම් එකක්! බොහෝම දැනුම පලපුරුද්ද තියෙන අත්දැකීමී බහුල මේ පොරවල් ටික තමා හැම තිස්සේම හැම වැඩකදීම නරින්ද්‍රයාට උපදෙස් දෙන්නේ! මේ පුරෝහිත ටීම් එකට පස් දෙනයි. ටීම් ලීඩර් බූරුවෙක්! ඉතිරි හතර දෙනා, මී හරක් දෙන්නෙක් සහ ඌරන් දෙන්නෙක්! කැචර් ලා ගැන්සියත් කන්සල්ටන්ට් ලා හතර දෙනෙකුත් මේ මහා දාන කටයුත්තට වන්ෂොට් කැමැත්ත දෙද්දී ටීමී ලීඩර් බූරුවා විතරක් පස්ස ගැහීම ගැන නරින්ද්‍රයාට මල පැන්නා!

”මොකද බූරුවෝ! මේ වගේ පිං පෙරෙන වැඩකට තොප්පිය දාන්න හදන්නේ…

”මෙහෙමනේ ඇමැතිතුමා දක්ෂිණාවිභංග සූත‍්‍රයේ කියන හැටියට මේ වගේ වැඩකින් කොහොමද පිං ලැබෙන්නේ! ඕවා නිකං සෝබන වැඩ… සංදර්ශන! මේවාලින් සිදුවන්නේ පිනක් නෙමේ පවක්!!

”යකෝ… දේශපාලනේ කරන්න පුළුවන්ද සෝබන නැතුව සංදර්ශන නැතුව…! තෝ දන්න පින පව!! තෝ මගේ උපදේශකයෙක් වුණාට වඩා හොඳයි මගේ හන්ඩ‍්‍රඞ් ඒකර් ස්ටේට් එකේ වොචර් වුණානං.

”මෙහෙමනේ ඇමැතිතුමා! දානයක් සම්පූර්ණ වෙන්න… එයින් කුසලයක් උපදින්න කරුණු ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෑ. එහෙම නැතුව ඔය කැචර්ලාට කන්න දුන්න පලියට පිං ලැබෙන්නේ නෑ!.

”කියාපිය බලන්න!

”එක! දානය සඳහා පිං සිතක් ඇතිවෙන්න ඕනෑ එහෙම හිතක් දැන් ඇමැතිතුමාගේ නෑනේ!

”දානය පිරිනැමීම සඳහා සුදුසු පාර්ශ්වයන් තෝරා ගන්න ඕනෑ…

”ඇයි බූරුවෝ ඔය ඕන තරම් ඉන්නේ!

”කවුද මේ කැචර් ලා ද… මුන්ට දානේ දීලාද පිං ලැබෙන්නේ කසිප්පු ගැලූම් ගණන් කටේ හලා ගෙන පෝස්ටර් අලෝපු මුන්ට දානේ දීලා පිං ලැබෙනවා නම් හරක් එළුවෝ මරණ එවුන්ටත් පිං පිරෙයිනේ. තව මොකටද ඒ ගැන කතා! අනිත් වැදගත් කාරණාව තමයි දානයක් සම්පූර්ණ වෙන්න… දැහමෙන් උපයා ගත් දෙයක් වෙන්න ඕන! දැන් ඇමැතිතුමා! මේ දානෙට වියදම් කරන්නේ කොමිස් … කප්පම් කොන්තරාත්වලින් ගහපු සල්ලිනේ! ඒවා වියදම් කරලා ග‍්‍රෑන්ඞ් දානයක් දුන්නා කියලා කොහොමද පිං ලැබෙන්නේ හැම පෝයටම බණ සංදර්ශන දානවා වනාන්තරයේ එවුන්ගේ සල්ලිවලින් ඒවාට පිං ලැබෙන්නේ කොහොමද?

”තෝ දන්න කෙංගෙඩිය! සෝබනේට හරි සංදර්ශනයක් විදිහට හරි ජොලියට හරි තෝ කියන විදිහට කොමිස්වලින් කප්පම්වලින් හරි මේ වනාන්තරේ එවුන්ගේ සල්ලිවලින් හරි දෙන දානකින් හරි පිං ලැබෙන්නේ නෑ කියලා තෝ කියනවා නම් කොහොමද බොල මං මෙච්චර කාලයක් මේ තානාන්තරේ ඉන්නේ!… ඒක පින නෙමෙයිද, තවත් කිසිවක් නොදෙඩුු බූරුවා, හ්ම් කන්ඩ පින!! යැයි තමාටම කියා ගනිමින් නරින්ද්‍රයාගෙන් ෂේප් වෙලා යන්න ගියා!

ආදර්ශය: දාන මාන බණ භාවනාවලින් පිං නොලැබුණත් කන්ඩ පින තියෙන නරින්ට ජීවිත කාලයේම වුණත් තනතුරේ සිටිය හැකිය!

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment