නලින්ද ජයතිස්සට,ජවිපෙට වෙනිසුලාව අමතක වීම

400

දැන් උදා වී ඇත්තේ කාල් මාක්ස් යනු දාර්ශනිකයෙක් ද එසේත් නොමැති නම් ලෝක පොලිස් නිලධාරියෙක් ද යන්න තේරුම් ගත නොහැකි සංකීර්ණ තත්ත්වයකි. එබඳු තත්ත්වයක් උදා වී ඇත්තේ කලක සිට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කට ඇරියොත් හොරු ඇල්ලීම පිළිබඳවම කතා කරන බැවිනි. එසේම වංචාවෙන් දූෂණයෙන් හොර පාලනයක් පිළිබඳවම කතා කළත් මාක්ස්වාදයේ සඳහන් සුරාකෑම, අපෝහත භෞතිකවාදය, පන්ති සටන පිළිබඳව වචනයක් හෝ කතා නොකරන බැවිනි.

එසේ වුව ද ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ප‍්‍රතිපත්තිය, අරමුණ කුමක් ද යන්න පසක් කරන අවස්ථාවක් පසුගියදා උදා විය. එම අවස්ථාව උදා වූයේ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ ප‍්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද වන නලින්ද ජයතිස්ස මහතා ජනහමුවක් අමතමින් කළ කතාවක් හේතුවෙනි.

ටෙ‍්‍රඩින් ඉකොනොමිස්ට් නම් වෙබ් අඩවියක් විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස ලෝකයේ ආහාර උද්ධමනය ගණනය කර ඇත. ඒ පිළිබඳ ප‍්‍රවෘත්තියක් හිරු විද්‍යුත් මාධ්‍ය මගින් පසුගිය මස ජනවාරි 24 වැනි දින විකාශය කළ අතර, එම ප‍්‍රවෘත්තියෙන් ප‍්‍රකාශ වූයේ ලෝකයේ ආහාර උද්ධමනය අතින් ශී‍්‍ර ලංකාව 12වන ස්ථානයට පත් වී ඇති බවකි. එම ප‍්‍රවෘත්තිය මගින් වැඩිදුරටත් ශී‍්‍ර ලංකාවට වඩා ආහාර උද්ධමනය අතින් ඉදිරියෙන් සිටින රටවල් 11 පිළිබඳව ද සඳහන් කළ අතර, එම රටවල් අතරින් පළමු ස්ථානයේ පසු වූයේ වෙනිසියුලාව ය. ආහාර උද්ධමනය අතින් දෙවන ස්ථානයේ ලෙබනනය පසු වන බව වාර්තා කළ එම ප‍්‍රවෘත්තියේ ශී‍්‍ර ලංකාට ඉදිරියෙන් සිටින සෙසු රටවල් 10 ලෙස පිළිවෙළින් සුරිනාම්, සිම්බාබ්වේ, ආජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව, හයිටිය යන රටවල් පිළිබඳව ද සඳහන් කළේය.

එම ප‍්‍රවෘත්තිය විකාශනය වී දින කිහිපයකට පසු එනම් පසුගිය ජනවාරි 31 වැනි දින ජනතා විමුකති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා අපේ රට 12 වන ස්ථානයට පත් වී ඇති බව සඳහන් කළ ප‍්‍රවෘත්තියක් ද හිරු විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශනය විය. එම ප‍්‍රවෘත්ති සේවය මගින් විකාශනය කළ නලින්ද ජයතිස්ස මහතා ජනහමුවක් අමතමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

‘‘පොහොට්ටුවේ සභාපති ජී. එල්. පීරිස් ගියා මල්වතු මහාවිහාරය ට. මම දැක්කා ප‍්‍රවෘත්තියක් යනවා. හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ යන්තන් අවුරුද්ද කන්න පුළුවන් චීනෙන් හාල් ටික හම්වෙච්ච නිසා. ඔන්න අපේ රටේ නායකයන් අද අපිව වට්ටලා තිබෙන තැන. අපි ඉන්නේ ලෝකයේ නරකම 12 වැනියාට. අපිට වඩා නරක රටවල් ලෝකයේ තිබෙන්නේ 11යි. අපිට වඩා නරක මොනවා ද? ඉතියෝපියාව, සිම්බාබ්වේ, හයිටිය ඔය වගේ රටවල්.

නලින්ද ජයතිස්ස මහතාගේ එම අදහස් දැක්වීම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ ආහාර උද්ධමනය අතින් ඉදිරියෙන්ම සිටින වෙනිසියුලාව පිළිබඳව සඳහන් කිරීමෙන් ඔහු වැළකී සිටියේ ඇයි ද යන්න පිළිබඳව ය. ජයතිස්ස මහතා වෙනිසුලාව පිළිබඳව සඳහන් කිරීම චේතනාන්විතවම මඟ හැර ඇති බව පෙනී යන අතර, ඔහුට එම රට කිසිසෙත්ම මඟහැරුණු බවක් නම් විශ්වාස කළ නොහැක. එසේ නම් ජයතිස්ස මහතා වෙනිසුලාව පිළිබඳව සඳහන් කිරීම චේතනාන්විතවම මඟහැරියේ ඇයි?

එම ප‍්‍රශ්නයට නිසි පිළිතුර මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නිරන්තරයෙන්ම කරන ප‍්‍රකාශයක් තුළින්ම සපයා ගතහැක. එම පක්ෂයේ නායකයන් මේ දිනවල නිරන්තරයෙන්ම ප‍්‍රකාශ කරන්නේ ‘‘බලය අපටත් දීලා බලන්න’’ කියන කතාවය. ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු, ප‍්‍රතිපත්ති පිළිබඳව දන්නා අයට නම් දීලා බලන්න දෙයක් නොමැති වුවත්, එසේ නොවන අයට නම් දීලා බලන්න ඕන කියා සිතෙන්න බැරි නැත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව දන්නා අය එම පක්ෂයේ අරමුණ, ප‍්‍රතිපත්ති පිළිබඳව මෙන්ම ඔවුන් පරමාදර්ශී රටවල් ලෙස සලකන්නේ මොන රටවල් ද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. එම පක්ෂයේ පරමාදර්ශීම රට කියුබාව වන අතර, සෙසු රටවල් වන්නේ උතුරු කොරියාව, වෙනිසුලාව වැනි රටවල්ය.

එබඳු පසුබිමක් තුළ නලින්ද ජයතිස්ස මහතා කෙසේ නම් ආහාර උද්ධමනය අතින් වෙනිසුලාව ලෝකයේ නරකම රට එසෙත් නොමැති නම් පළමු ස්ථානයට පත් වී ඇති බව පවසන්න ද? තමන් පරමාදර්ශයට ගන්නා රටක් ලෝකයේ නරකම ස්ථානයකට පත් වී තිබිය දී ලෝකයෙන්ම 12 වන ස්ථානයට පත් වී ඇති රටේ බලය තමන් කෙසේ නම් ඉල්ලන්න ද?

එබැවින් කිසියම් පුද්ලයකුට ජනතා විමුක්ති පෙරමුණට දීලා බලන්න හිතෙනවා නම් ඊට පළමුව කළ යුතුව ඇත්තේ වෙනිසිසුලාව, කියුබාව සහ උතුරු කොරියාව දෙස බැලීමය. එවිට ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බලයට පත් වුවහොත් මේ රට පත්වන තත්ත්වය අවබෝධ කර ගතහැක.

ජ. වි. පෙරමුණේ නායකයන්ගේ පරමාදර්ශී රාජ්‍යය වන කියුබාවේ පසුගිය මාසවල දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වුණි. එම උද්ඝෝෂණ සඳහා ආසන්නම හේතු සාධකයක් වී ඇත්තේ දරිද්‍රතාවය මෙන්ම කොවිඞ් වසංගතය නිසි පරිදි පාලනය කිරීමට එම රාජ්‍යය අසමත් වීමය. එරට දරිද්‍රතාවය, විරැකියාව යන සාධකයන් ඉහළ යෑමට සාපේක්ෂව එරට ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. එබැවින් මේ වනවිට කියුබාව සල්ලාල සංචාරයන්ගේ ගමනාන්තයක් බවට ද පත් වී ඇත. එරට පාලකයන් විසින් උද්ඝෝෂණයක් පාලනය කර ඇත්තේ උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදුණ සියලූ දෙනාම සිරගත කිරීම මගිනි. එරට පාලකයන් මේ ආකාරයට දිගින් දිගට ම කටයුතු කළහොත් දෙවන බැස්ටිලය එරට තුළ නිර්මාණය වීම නොවැළැක්විය හැක. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී රාජ්‍යයේ යථාස්වභාවය එය වන එබැවිනි. උතුරු කොරියාව පිළිබඳව මෙහ ිදී වැඩිදුරටත් සඳහන් කිරීමට අවශ්‍යව වන්නේ නැත.

තම පරමාදර්ශයන්ට අත් වී ඇති එම ඉරණම පිළිබඳව නිසි අවබෝධයක් ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඒ පිළිබඳව සඳහන් නොකර දැන් බලය ලබාගැනීම සඳහා නව න්‍යායක් සූත‍්‍ර ගතකර ඇත. එම න්‍යායට අනුව රටට සෞභාග්‍ය උදා කිරීමට නම් පෙර ආණ්ඩුවල සිටි සොරුන් ඇල්ලිය යුතු අතර වංචාවෙන් සහ දූෂණයෙන් තොරව රට පාලනය කළ යුතුය. එම නව න්‍යාය මාක්ස් – ලෙනින්වාදය අනුව යමින් සූත‍්‍රගත කළ එකක් විය නොහැක. ඒ බව පැහැදිලිව ම සඳහන් කළ හැක්කේ ලෙනින්ගේ කිසිදු කෘතියක ‘සාර්’ රජ පවුලේ සොරකම් සඳහා දඬුවම් කළ සැනින් රුසියාවට සෞභාග්‍ය උදාවන බව සඳහන් නොවන බැවිනි.

එබැවින් මෙම නව න්‍යාය ද නලින්ද ජයතිස්ස මහතා වෙනිසුලාව ගැන සඳහන් නොකර ලංකාවේ ආහාර උද්ධමනය පිළිබඳව සඳහන් කළ ආකාරයේම එකක් විය යුතුය. කාල් මාක්ස් දාර්ශනිකයකුගේ මට්ටමේ සිට පොලිස් නිලධාරියකුගේ මට්ටම ට වැටී ඇත්තේ ද එම න්‍යාය නිසා ය.

එම නව න්‍යායට අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මතවාදී අරගලය වෙනුවට දැන් මතවාදී තක්කඩිකම හොරා ගෙන ඇත. බුද්ධාගම විඥානවාදී ආගමක් ලෙස හඳුන්වන ජනතා විමුක්ති පෙරමුණේ භෞතිකවාදී නායකයන් විසින් ජාතික භික්ෂු පෙරමුණ වැනි සංවිධාන පිහිටුවා ඇත්තේ ඒ සඳහාය. සැදැහැවත් බෞද්ධයන් සිවුුපසයෙන් භික්ෂුන් වහන්සේලාට සංග‍්‍රහ කරන්නේ උන්වහ්නසේලාගේ සසර ගමන කෙටි කර ගැනීමට සහ ශාසනික කටයුතුවල යෙදීම සඳහාය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් උන්වහන්සේලා කිහිප නමක්ම කාල් මාක්ස්ට කඬේ යෑම සඳහා යොදා ගෙන ඇත.

තමාගේ දේශපාලන දර්ශනය නොසඟවා ජනතාව හමුවේ නොතැබීම, තමාගේ පරමාදර්ශී රටවල්වල සැබෑ තත්ත්වය ජනතාවට සැඟවීම, තමාගේ දේශපාලන දර්ශනයට සපුරා පටහැනි වූ බුද්ධාගමේ භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව මුලා කිරීම සඳහා යොදා ගැනීම වංචාවක් නොවන්නේද? සොරකමක් නොවෙන්නේද? එබැවින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ අවබෝධයක් නොමැති ජනතාව ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය’ යන ආප්තෝපදේශය සිහියේ තබා ගෙන ජ. වි. පෙරමුණේ නායකයන් කරන කතාවලට සවන්දිය යුතු බව නලින්ද ජයතිස්ස මහතාගේ කතාව විසින් පෙන්වා දී ඇත.

එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment