නවක පුහුණුකරුගේ පළමු අභියෝගය හෙට බංග්ලාදේශයේදී ආරම්භ වේ

364

කුෂාන් සුබසිංහ

නවක ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (15 වෙනිදා) ආරම්භ වේ.

2021 – 2023 ලෝක ශුරතාඞ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන එම තරගය බංගලිදේශයේ චිතගොන් හි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

සිල්වර්වුඩ් මහතාගේ සහාය පුහුණුකරු ලෙස නවීඩ් නවාස් මහතා කටයුතු කරන අතර එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිට බංග්ලාදේශයට පැමිණි දිමුත් කරුණාරත්න විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි. මොමිනුල් හක් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර නවක ක්‍රීඩකයන් දෙදෙනකු ලෙස ඩිල්ශාන් මධුසංඛ සහ කමිල් මිෂාර ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති. එමෙන්ම කලකට පසුව ඕෂධ ප්‍රනාන්දු ද කණ්ඩායම ට කැඳවා තිබෙන අතර ශ්‍රී ලංකාව සතුව සිටින මුල් පෙළ පිතිකරුවකු වන පැතුම් නිශ්ශංක ආබාධ තත්ත්වයට ලක් වීම හේතුවෙන් ඔහුගේ අඩුව පිරවීමට ඕෂධ කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 17කම ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබේ. බංග්ලාදේශය ජයග්‍රහණය කර ඇති එකම තරගය වන්නේ 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකි. ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ දී ටෙස්ට් තරගාවලි හතරකට සහභාගි වී ඇති අතර එහිදී තරග 6ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකාව එහිදී කිසිදු තරගයක් පරාජයට පත් වී නොමැත. තමන් සතු වටිනාම ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන් කොවිඩ් රෝගියෙකු ලෙස හුදෙකලාව ගත කරමින් සිටියදී මේ තරගයට මුහුණ දීමට සිදු වීම බංග්ලාදේශයට මෙහිදී අත් වන ප්‍රබල පාඩුවක් වේ. එමෙන්ම කණ්ඩායමේ සිටින විශේෂ දඟ පන්දු යවන්නා වන මෙහෙදි හසන් මිරාස් ගේ සේවය ද මේ තරගයේදී කණ්ඩායමට නොලැබෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ට මේ තරගය පමණක් නොව ආබාධ තත්ත්වයන් හේතුවෙන් තරගාවලියම අහිමි වෙයි.

ශකීබ් අල් හසන් යනු බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ජයගත් එකම ටෙස්ට් තරගයේ ශතකයක් සහ කඩුලු 5ක් දවා ගනිමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙය වූ ක්‍රීඩකයාය. කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී බංග්ලාදේශය කඩුලු හතරකින් ජයගත් අතර තරගාවලියේ වීරයා බවට ද මේ අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයා පත්වූයේය.

ඒ අනුව ශකීබ්, මෙහෙදි සහ ටස්කින් බංග්ලාදේශයට මේ තරගයේදී අහිමිවීම ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස බලපාන අතර පැතුම් නොමැති වීමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සූදානම් කර තිබූ පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18කට පමණක් සීමා වීමත් ශ්‍රී ලංකාවට සිදුවූ අවාසියකි.

එහෙත් සිය රට තුළදී ඕනෑම කණ්ඩායමකට අභියෝග කිරීමේ හැකියාවක් තමන් සතු බව හිටපු බංග්ලාදේශ ක්‍රීඩක මොර්ටාසා පසුගියදා ප්‍රකාශ කර තිබූ අතර එනිසා මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමේ හැකියාව ද තම කණ්ඩායම සතු බවට ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment