නවක වධයට විරුද්ධ වුණ නිසා මගේ දරුවට පහරදිලා

331

පහර කෑමට ලක්වූ තෙවැනි වසර සිසුවාගේ මව කියයි

මගේ දරුවා පහර කෑමට ලක් වුණේ නවක වධයට විරුද්ධ වීම නිසා යැයි දංකොටුව රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ.ඞී.සී. සෙනවිරත්න මහත්මිය ‘දිවයින’ට ඊයේ (02දා* පැවසුවාය.

රාගම වෛද්‍ය පීඨයේ 04 වන වසරේ සිසුන්ගෙන් පහරකෑමට ලක්ව යොහාන් කවිරත්න පරණවිතාන වන තම පුත‍්‍රයා මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ද ඇය කීවාය.

විශේෂඥ වෛද්‍ය සෙනෙවිරත්න මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවාය.

‘‘මගේ දරුවා ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයේ. ඔහු වෛද්‍ය පීඨයට ඇතුල් වූ දා සිටම නවක වධයට විරුද්ධව කටයුතු කළා. පළමුවෙනි වසරේදී ඔහු නවක වධයට ලක් වූවත් එම කාලයේ පටන්ම නවක වධයට විරුද්ධයි.

පෙරේදා (01දා* රාත‍්‍රී මගෙ පුතාගේ යාලූවෝ කීප දෙනකුට 04 වසරේ සිසුන් පහරදෙන බවට මිතුරෙක් පුතාට පවසා තිබෙනවා. ඒ අනුව පුතා එම ස්ථානයට ගියාම 50 කටත් වැඩි සිසුන් පිරිසක් ‘උඹ ඇයි මෙතනට ආවේ’ කියා පුතාටත් පහර දී තිබෙනවා. ඒ අවස්ථාවේ පුතාගේ මිතුරන් තවත් මිතුරෙකුට කතා කර තිබෙනවා. ඔහු ඔහුගේ රියදුරා සමග එම ස්ථානයට පැමිණි විට 04 වසර සිසුන් එම මිතුරාට ද පහර දී තිබෙනවා.

ඔවුන්ට පහර දෙන අයුරු දැකපු මෝටර් රථයේ රියැදුරු දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේ එම රියැදුරාට ද පහර දී ඔහුගේ මුදල් පසුම්බිය පැහැර ගෙන තිබෙනවා. මම පසුව එම රියැදුරාගෙන් ඔයා එතනට ගියේ ඇයිද කියා ඇහුවම පුතාලට ගහන විදිය බලන් ඉන්න බැරුව ඔවුන්ව බේරා ගැනීමට ඉදිරිපත් වුණා කියලා කිව්වා.

අපේ ළමයි මැර ළමයින් නෙමේ. හතර පස් දෙනෙකුට පනහකට වැඩි පිරිසක් එකතුවී පහරදීම කොතරම් නුසුදුසුද? විශේෂයෙන් වෛද්‍ය සිසුන් මේ විදියට හැසිරීම කොහෙත්ම සිතා ගන්න අපහසුයි. දරුවා මිතුරන් කිහිපදෙනෙක් ඇසුරු කරන නිසා කොයි අය ආවද කියලා මම හරියට දන්නෙ නෑ.

මගේ ළමයට මේ දේ වුණේ නවක වධයට විරුද්ධ වීම නිසයි. පුතාට දැඩි ලෙස පහර දීලා තියෙනවා. ඔහුගේ ඔලූවේ ගෙඩියක් විදිහට ඉදිමිලා තිබෙනවා. ඇඟ පුරාම තැලූම් පහරවල් තිබෙනවා. මම කියන්නේ මේ වගේ දේවල් විශ්වවිද්‍යාල තුළ සිදු වීම මෙතනින් හෝ නැවැත්විය යුතුයි. දරුවෝ විශ්වවිද්‍යාලයට එවන්නෙ කොතරම් අමාරුවෙන්ද? එහෙම එවලත් මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් දෙමව්පියන් වශයෙන් අපිට විශාල බයක් දැනෙනවා. එම නිසා නවක වධය විශ්වවිද්‍යාල තුළින් ඉවත් කිරීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුයි.’’

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment